යාපනයේ සිට කතරගම දක්වා මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පා ගමනින් යන ඓතිහාසික පාද යාත්‍රාවට එක්ව සිටින ‘සුබ්‍රමනියම්’ නම් සුනඛයා සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ. ඔකඳ සිට කතරගම දක්වා වූ ගමන් මාර්ගයේදී බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානය සහ යාල ජාතික වනෝද්‍යානය හරහා ගමන් කිරීමට හැකි වුව ද, ‘සුබ්‍රමනියම්’ එම වනෝද්‍යාන දෙකෙන් කිසිවක් තුළින් පා ගමනින් නොයන බව දෙපාර්තමේන්තුව තහවුරු කරයි.මෙම තීරණයට ප්‍රධාන හේතුව වන්නේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති මඟින් ජාතික වනෝද්‍යාන තුළට සුනඛයන් වැනි ගෘහස්ථ සතුන් පිවිසවීම සපුරා තහනම් කොට තිබීමයි. එමෙන්ම කුමන-යාල වන කලාපය අලි, දිවියන්, වලසුන්, කිඹුලන්, පිඹුරන් ඇතුළු විලෝපිකයන් බහුල කලාපයක් බැවින්, සුනඛයකු එවැනි පරිසරයක ගමන් කිරීමේදී සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීම ද මෙහි අරමුණ වී ඇත. ඒ අනුව වනෝද්‍යාන කලාපය ආරම්භ වන ස්ථානයේ සිට එය අවසන් වන තුරු, සුබ්‍රමනියම්ව ඒ සඳහාම වෙන් කරන ලද විශේෂිත වාහනයකින් ආරක්ෂිතව රැගෙන යාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබේ. දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාමාර්ගය සත්ව ලෝලීන්ගේ හා මහජනතාවගේ අතිශය ප්‍රසාදයට හේතු වී ඇත.කතරගම පාද යාත්‍රාව ඔකඳ දේවාලයෙන් ආරම්භ වී කුමන ජාතික වනෝද්‍යානයට පිවිස, පසුව කුඹුක්කන් ඔය තරණය කර යාල කලාප 02 හෙවත් වඩාත් ආරක්ෂිත කලාපය හරහා, මැණික් ගඟ ඔස්සේ වරහන හරහා කටගමුව දක්වා දින 4-6 ක පමණ කාලයක් පා ගමනින් යයි. සමස්තයක් ලෙස බැතිමතුන් වනෝද්‍යාන හරහා කිලෝමීටර 110ක් පමණ දුර ගෙවා කතරගම පුදබිමට ළඟා විය යුතු වේ.මේ අතර යාපනයේ සිට පැමිණෙන සුබ්‍රමනියම් ඇතුළු බැතිමතුන් කණ්ඩායම කතරගමදී මහත් හරසරින් පිළිගැනීමට සත්ව හිමිකම් සංවිධාන සහ සත්ව ලෝලීන් විශාල පිරිසක් මේ වන විටත් සූදානමින් සිටිති. මීට පෙර කල්මුණේදී සුබ්‍රමනියම්ට එල්ල වූ අමානුෂික පහරදීමේ සිද්ධියෙන් පසු, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි මහජන විරෝධයක් මතුවූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සිදුවීමෙන් පසුව ද සුබ්‍රමනියම් නොපසුබටව යළි පාද යාත්‍රාවට එක් විය.‘සුබ්‍රමනියම්’ නම් සුනඛයා ද එක් වන මෙම පාද යාත්‍රාව පිළිබඳ පුවත මේ වන විට ලොව පුරා වෙසෙන හින්දු ප්‍රජාව අතර ප්‍රචලිත වෙමින් පවතින අතර, එය ජනවාර්ගික හා ආගමික සංහිඳියාව, සත්ව කරුණාව සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය කෙරෙහි සාධනීය ලෙස බලපාන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. කතරගම දේවාලය හින්දු, බෞද්ධ, මුස්ලිම් සහ වැදි ප්‍රජාවන් විසින් වන්දනාමාන කරනු ලබන පොදු පුදබිමක් ලෙස සැලකේ.මෙම ආදර්ශමත් පියවර තුළින් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම මිනිසා සහ සතා අතර බැඳීම පිළිබඳව ලෝකයට මහඟු පණිවිඩයක් ලබා දෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.