වරකාපිටියේ දුම්රිය විරුවනි; “ජසාකල්ලාහු ඛයිරන්”


තම ජීවිතය වෙනුවෙන් විවිධ අවස්ථාවලදී උදව් උපකාර හා කැපකිරීම් කළවුන් හට හදවතින්ම කෘතඥ වීම සහ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීම ඉස්ලාමීය ඉගැන්වීම්වල එන උතුම් ආගමික චාරිත්‍රයකි. “මිනිසුන්ට ස්තූතිවන්ත නොවන අයට දෙවියන්ට ද ස්තූතිවන්ත විය නොහැක” යන්න ඉස්ලාමයේ මූලික පදනමයි. එබැවින්, සුවිශේෂී උපකාර කළ අය වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් “ජසාකල්ලාහු ඛයිරන්” (අල්ලාහ් දෙවියන් ඔබට මෙයට වඩා උතුම් වූ යහපත් ප්‍රතිඵල ලබා දෙත්වා!) යනුවෙන් ප්‍රාර්ථනා කරති.

දුම්රිය රියදුරු ජයම්පති මඩිගසේකර

විශේෂයෙන්ම, ප්‍රාර්ථනාවන් කිසිසේත් ප්‍රතික්ෂේප නොවන දිනයක් ලෙස සැලකෙන හජ් (අරෆා) දිනයේදී, ලෝකවාසී ඉස්ලාමිකයන් තමන්ට උදව් කළවුන්, රෝගීන් මෙන්ම සමස්ත මානව සංහතිය වෙනුවෙන් ද මෙවන් ප්‍රාර්ථනා කරති. එලෙස රහසින් අනුන් වෙනුවෙන් ආයාචනා කරන විට දේවදූතයන් ද ඊට ආශීර්වාද කරන බව ඉස්ලාමීය විශ්වාසයයි. හජ් මහෝත්තම දිනයේ දී ප්‍රධාන වශයෙන්ම උපකාර කළවුන්ගේ පාපයන්ට සමාව (මඝ්ෆිරහ්), නිරෝගී දීර්ඝ ආයුෂ, සරු ජීවනෝපායක් (රිස්ක්) මෙන්ම මරණින් මතු ස්වර්ගය (ජන්නාහ්) හිමිවේවායි පරෝපකාරී චේතනාවෙන් ප්‍රාර්ථනා කෙරේ. ඒ අනුව, හජ් දිනයේදී අන් අය වෙනුවෙන් දේව ආශීර්වාදය අයැදීම හුදෙක් සිරිතක්ම නොව, එය කෘතඥතාව, ආදරය සහ සහෝදරත්වය විදහා දක්වන උතුම් පුණ්‍යකර්මයක් (ඉබාදත්) වේ.

කෙසේ වෙතත් “ජසාකල්ලාහු ඛයිරන්” යන්න හජ් දිනයට පමණක් සීමා වූවක් නොවේ. එය ඕනෑම වෙලාවක කළ හැකි ස්තුති පූර්වක ආශීර්වාදයකි. මුස්ලිම් නොවන අයෙකුට ස්තූති කිරීම ඉස්ලාමයේ අගය කරන නමුත්, ඒ සඳහා “ජසාකල්ලාහු ඛයිරන්” යන්නට වඩා සාමාන්‍ය ස්තූති කිරීමේ වචන භාවිත කිරීම වඩාත් පොදු සිරිතයි.

නමුත්, පසුගිය හජ් කාලයේ මේ උතුම් ආශීර්වාදයට පාත්‍ර වූ සුවිශේෂී සිව් දෙනෙක් වූහ. 2025 නොවැම්බර් මස 27 වනදා ලක් දුම්රිය ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු වීරත්වයේ කතාවක ප්‍රධාන භූමිකාව හෙබවූ එම දුම්රියේ දුම්රිය රියදුරු ජයම්පති මඩිගසේකර මහතා එහි ප්‍රධානියා වන අතර ප්‍රධාන නියාමක එස්.එම්.ජේ.එස්. සමරකෝන්, උප නියාමක කේ.එම්.ඒ. බණ්ඩාර සහ රියදුරු සහායක වී.එම්.ඒ. දිසානායක යන මහත්වරු සෙසු භූමිකාවන් හොබවති.

උඩරට දුම්රිය මාර්ගයේ තැඹිලිගල උප දුම්රිය ස්ථානයත් නාවලපිටිය ප්‍රධාන දුම්රිය ස්ථානයත් අතර, අගනුවර සිට කිලෝමීටර් 131ක් දුරින් පිහිටි වරකාපිටිය දුම්රිය නැවතුම්පළ (Train Halt) අසල පිටිසරබද ප්‍රදේශයක, නිහඬව නතර වී ඇති දුම්රියක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මාස හතකට අධික කාලයක් පුරා තවමත් එම ස්ථානයේම රඳවා ඇති මෙම දුම්රිය කට්ටලයේ පසුබිමේ ඇත්තේ අතිශය බිහිසුණු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ සිය ගණනක් මගීන්ගේ ජීවිත මෙන්ම රුපියල් කෝටි ගණනක් වටිනා රාජ්‍ය දේපළක් බේරාගැනීම සඳහා දුම්රිය කාර්ය මණ්ඩලය කළ සාමූහික පරිශ්‍රමයක ත්‍රාසජනක අතීතාවර්ජනයයි.

මේ එම නිහඬ විරුවන් සිව්දෙනා උදෙසා පිදෙන අපගේ “ජසාකල්ලාහු ඛයිරන්” ආශීර්වාදයට මුල් වූ ඒ ත්‍රාසජනක සිදුවීම පෙළගැසෙන අයුරුයි.

උඩරට දුම්රිය මාර්ගයේ තැඹිලිගල උප දුම්රිය ස්ථානයත් නාවලපිටිය ප්‍රධාන දුම්රිය ස්ථානයත් අතර, අගනුවර සිට කිලෝමීටර් 131ක් දුරින් පිහිටි වරකාපිටිය දුම්රිය නැවතුම්පළ (Train Halt) අසල පිටිසරබද ප්‍රදේශයක, නිහඬව නතර වී ඇති දුම්රියක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මාස හතකට අධික කාලයක් පුරා තවමත් එම ස්ථානයේම රඳවා ඇති මෙම දුම්රිය කට්ටලයේ පසුබිමේ ඇත්තේ අතිශය බිහිසුණු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ සිය ගණනක් මගීන්ගේ ජීවිත මෙන්ම රුපියල් කෝටි ගණනක් වටිනා රාජ්‍ය දේපළක් බේරාගැනීම සඳහා දුම්රිය කාර්ය මණ්ඩලය කළ සාමූහික පරිශ්‍රමයක ත්‍රාසජනක අතීතාවර්ජනයයි.

දිනය 2025 නොවැම්බර් මස 27 වනදා ය. එදින පස්වරු 2.06 ට පමණ මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ S12 පන්තියේ MFE 934 කට්ටලය / අංක 1153 දරන ප්‍රාදේශීය මගී දුම්රිය මහනුවරින් ගමන් ආරම්භ කළේ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇද හැලුණු දරුණු වර්ෂාව මධ්‍යයේ ය. දුම්රිය ඇන්ජිම හා අනෙක් අන්තයේ වූ ඩමිය ද ඇතුළත් මැදිරි හතරකින් සමන්විත, මගීන් 150ක් පමණ සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනා රැගත් මෙම දුම්රියේ එදින රියදුරු වගකීම පැවරුණේ 1982 වසරේ සිට උඩරට මාර්ගයේ දිගු සේවා කාලයක් සපුරාලූ, වසර 44 ක දීර්ඝ වෘත්තීය පළපුරුද්දක් සහිත, විශ්‍රාම ලැබීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සේවය කළ විශේෂ පන්ති දුම්රිය රියැදුරු ජයම්පති මඩිගසේකර මහතාට ය. අතිශය අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ගම්පොළ දුම්රිය ස්ථානයෙන් පිටත්ව වරකාපිටිය උප දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු, දුම්රිය උලපනේ සීමාව දෙසට ඉදිරියට යද්දී තත්ත්වය වඩාත් බියකරු විය. ඒ සම්බන්ධයෙන් රියැදුරු මහතා පවසා ඇත්තේ මෙවැන්නකි.

“ඒ වෙලාවේ මුළු පළාතම කළුවර වෙලා තිබුණේ. ලොකු වැස්සකුයි හුළඟකුයි එක්ක ඉස්සරහින් පාර සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ. මේ වගේ නරක කාලගුණික තත්ත්වයක් මීට කලින් මගේ වෘත්තීය ජීවිතයේ තිබුණේම නැහැ. ඔය අතරේ ඉස්සරහ කන්ද නාය ගිහින් රේල් පාරටම කඩා වැටිලා. දැන් මට කර ගන්න දෙයක් නැහැ. තව මීටර් 100ක් විතර ඉස්සරහට ගියා නම් මුළු කෝච්චියම පස් කන්දට යටවෙනවා. ඒ වෙලාවේ මගීන් 100 ත් 150 ත් අතර ගණනක් කෝච්චියේ සිටියා. එකපාරටම ලොකු පස් කන්දක් කඩාගෙන ඇවිත් කෝච්චියේ වැදුණා. මට කෝච්චිය නවත්තන්න වෙලාවක් තිබුණේ නැහැ, කෝච්චියේ ඉස්සරහ කොටස පස් කන්ද ඇතුළට කාගෙන ගියා,” රියැදුරු මඩිගසේකර මහතා පැවසීය. වැස්ස, මීදුම සහ නායයාම් රටාවන් පිළිබඳව රියැදුරු මඩිගසේකර මහතාට තිබුණේ වෘත්තීය දැනුමකට එහා ගිය සහජ ඥානයකි.

ඉදිරියේ ඇති මාරක අවදානම ක්ෂණයකින් වටහාගත් ජයම්පති මහතා වහාම හදිසි තිරිංග (Emergency Brakes) ක්‍රියාත්මක කොට දුම්රිය කට්ටලය නතර කර ගත්තේය. ඒ සමඟම අඩි 40 ක් පමණ උසැති මහා වෘක්ෂයන් දෙකක් තමන් දෙසට කඩා වැටෙන බව ඉවෙන් මෙන් වටහාගත් රියැදුරුවරයා, වහාම ක්‍රියාත්මක වී දුම්රිය කට්ටලය පසුපසට ගැනීමට (Set Back) තීරණය කරන විටත් දුම්රියේ ඉදිරිපස ආරක්ෂිත ‘කුල්ල’ (Cow Catcher) කොටස ගැලවී පස් අතරේ සිරවී ඇති අයුරක් ඔහුට වැටහිණි.

ඔහු වහාම නාවලපිටිය ප්‍රධාන දුම්රිය පාලක රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සම්බන්ධ කරගෙන තත්ත්වය පැහැදිලි කළ අතර, ප්‍රධාන නියාමක (Head Guard) සමරකෝන් මහතා අමතා මගීන් සියල්ලන්ම වහාම පිටුපස මැදිරි වෙත යොමු කරන ලෙස උපදෙස් දුන්නේ ය. ඔවුන් ගත් ඒකාබද්ධ ක්ෂණික තීරණය වූයේ එම අවදානම් කලාපයෙන් දුම්රිය වහාම ආපසු ආරක්ෂිත ස්ථානයකට ගැනීමයි. කෙසේ හෝ දුම්රිය පසුපසට ගෙන ආ කාර්ය මණ්ඩලය, වරකාපිටිය නැවතුමෙන් මගීන් සියල්ලන්ම නිරුපද්‍රිතව බස්සවා බස් රථ මගින් පිටත් කර හැරීමට කටයුතු කළහ. එලෙස මෙම දුම්රියෙන් පැමිණ දිවි ගලවා ගත් පිරිස අතර අප ඥාති පවුලක් ද විය. ගඟසිරිපුර හෙවත් ගම්පොළ යුගයේ සිට එම ප්‍රදේශවලට උරුමකම් කියන මුස්ලිම් ප්‍රජාවක් තවමත් එහි සිටිති. මෙලෙස මගීන් බස්සවා නැවත එය ගම්පොළ තෙක් ධාවනය කිරීමට නාවලපිටිය ප්‍රධාන දුම්රිය පාලක වෙතින් සංඥා ද ඉල්ලා ගත්තේය. නමුදු තවත් මීටර් 200 ක් දුම්රිය ආපස්සට ගන්නවාත් සමඟම, ඔවුන් සිටි ස්ථානයට පිටුපසින් දුම්රිය මාර්ගයට තවත් මහා පස් කන්දක් කඩා වැටුණේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමිනි. සවස් වන විට තත්ත්වය වඩාත් දරුණු විය. තමන් මෙතෙක් ජීවිතයට නොදුටු මහා වැස්සකට මුහුණ දෙමින්, රියැදුරු මඩිගසේකර මහතා දුම්රිය ආරක්ෂිතම ස්ථානයක නතර කළේය. ඒ අතරේ ඔහු රාත්‍රී 8 ට පමණ දුම්රිය බලධාරීන්ට ද කතා කර රඹුක්කනින් ඉදිරියෙන් වන උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නතර කරන ලෙස දැනුම් දුන්නේ එම මාර්ගයට බොහෝ තැන්වලින් පස් කඳු කඩා වැටීමේ හා මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව තම වෘත්තීය නිපුනත්වය මඟින් වටහා ගනිමිනි.

රාත්‍රී 10.30 ට පමණ ප්‍රදේශයේ විදුලි බලය සහ සියලු සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. පසුදින අලුයම 5 ට පමණ බලද්දී දුම්රියට අඩි කිහිපයක් පහළින් වූ අවහිර වූ බෝක්කුව කඩා බිඳ දමමින් ජල කඳක් ගලා යමින් තිබුණි. ඒ අනුව එදින උදෑසන 5.45 ට දුම්රිය තවත් ආරක්ෂිත, ගස් කඩා වැටීමේ අවදානම අඩු ස්ථානයකට ගැනීමට රියැදුරු මඩිගසේකර මහතා සමත් විය.

පසුදින ගොස් බලද්දී එම දැවැන්ත නායයාම නිසා දුම්රිය පස් කන්දේ හැපුණු ස්ථානයේ දුම්රිය මාර්ගය අඩි 40 ක් පමණ ප්‍රපාතයකට කඩා වැටී එල්ලෙමින් තිබුණේ “පතෝල මැස්සක්” මෙනි. තව මිනිත්තු කිහිපයක් දුම්රිය ඉදිරියට ගියේ නම්, එය මගීන් ද සමඟ ප්‍රපාතයකට පෙරළී ගොස් පස් කන්ද යට මඟීන් සමඟම වැළලී යාමට ඉඩ තිබුණි. ඉංග්‍රීසි ජාතිකයන් අප රටේ දුම්රිය මාර්ග තනා ඇත්තේ ඇතැම් තැන්වල පස් ටොන් දස දහස් ගණන් යොදා සිදු කළ විශාල පස් පිරවුම් ද යොදමිනි. මෙම පස් පිරවුම් මත ඉදි කළ දුම්රිය මාර්ග යටින් දිය පහරවල්, ජලාපවහන කාණු, වැසි ජලය ආරක්ෂිතව එක් පැත්තක සිට අනෙක් පැත්තට ගලා යාමට හෝ ගමන් කිරීමට සැලැස්වීම සඳහා, දුම්රිය මාර්ග බැම්ම යටින් ඉදි කරනු ලබන සංවෘත උමං ව්‍යුහයන් දුම්රිය බෝක්කු (Railway Culvert) ලෙස හැඳින්වේ. ජලය එක්රැස් වීම හේතුවෙන් දුම්රිය මාර්ගයට යටින් ඇති පස සහ ගල් ස්ථරය දුර්වල වීම හෝ සෝදාපාළුවට ලක්වීම වළක්වාලමින්, දුම්රිය මාර්ගයේ ව්‍යුහාත්මක ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මේවා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඇතැම් විට දුම්රිය මාර්ගයේ සිට අඩි තිහ හතළිහක් හෝ ඊටත් ගැඹුරින් ඇති මෙම දුම්රිය බෝක්කු බොහොමයක් මේ වන විට වල් බිහි වී ඇති අතර වරකාපිටිය ප්‍රදේශවාසීන් පවසනුයේ ඉහත ආපදාව සිදු වූ ස්ථානයේ ද දීර්ඝ කාලයක් පුරා වල් බිහිවීමෙන් අවහිර වූ එවන් බෝක්කුවක් තිබූ බව ය. එක් වරම පියවි ඇසට හසු නොවන එවන් බෝක්කු දුම්රිය බලධාරීන් විසින් නඩත්තු කරනු තබා ඒවා ඇති ස්ථාන පවා එම ප්‍රදේශවාසීන් මිස වත්මන් දුම්රිය බලධාරීන් නොදන්නා බව එම ප්‍රදේශවල පැරණි ගැමියෝ කියති. මෙය ද අප රටේ දුම්රිය සේවය සම්බන්ධ අවදානම් සහගත තත්ත්වයක් බව ඒකාන්ත ය.

ගම්වැසියන් පවසන පරිදි එදින ගම්පොළ නගරය අඩි 30-40 ක් පමණ ජලයෙන් යටවී තිබුණි. “අපි එදා රෑ ගම්පොළට යන්නයි හැදුවේ. ගම්පොළට ගියා නම් කෝච්චියත් යට වෙනවා. දෙවැනි සැරේට කඩා වැටුණු පස් කන්දට පින් සිද්ධ වෙන්න දෙවැනි පාරටත් කෝච්චිය බේරුණා” යැයි ජයම්පති මහතා පසුව කීය.

දුම්රියට සහ අවට ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබුණ ද, වගකීම පැහැර නොහළ දුම්රිය කාර්ය මණ්ඩලය වන රියැදුරු, සහායක රියැදුරු සහ නියාමකවරුන් දෙදෙනා සිය රාජකාරීවලින් බැහැර නොවී දුම්රිය ආරක්ෂා කරමින් දින තුනක්ම දුම්රිය මැදිරි තුළ රාත්‍රිය ගත කිරීම ද විශේෂත්වයකි. එමෙන්ම එම ස්ථානයේ සිට බස් මාර්ගයට පැමිණෙන මාර්ගය ද මුළුමනින් නාය ගොස් තිබුණි.

එම සිදුවීමත් සමඟ කිසිදු සන්නිවේදනයක් නොමැතිව අඳුරේ සිටි ඔවුන්ට පිහිට වූයේ වරකාපිටිය උඩගම ගම්වැසියන් ය. ඔවුහු මහා වැසි මැද පැමිණ දුම්රිය කාර්ය මණ්ඩලයට බිස්කට්, තේ, කෝපි සහ ආහාර පාන සපයා දෙමින් සිය මනුස්සකම ප්‍රදර්ශනය කළහ.

අප රටේ දුම්රිය සේවය ඇරඹූ ඉංග්‍රීසි ජාතිකයන් දුම්රිය ස්ථානවලට අමතරව මෙම දුම්රිය නැවතුම්පළවල් තනා ඇත්තේ මාර්ග පහසුකම් නොමැති ගැමි සහ වතු කම්කරු ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමට ය. ඒ අනුව මෙම ආපදාවට ලක් වූ දුම්රිය පාසල් සිසුන්, කාර්යාල සේවකයන් සහ සාමාන්‍ය මඟී ජනතාව වෙනුවෙන් උපරිම මෙහෙවරක යෙදුණු අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව එම ප්‍රවාහන පහසුව නොමැති ජීවිත දහස් ගණනකගේ ජීවිත අද වන විටත් කබලෙන් ලිපට වැටී තිබේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ ‘දිට්වා’ සුළි කුණාටුවට හසු වූ නිවසක් රජයේ වන්දි මුදලින් නැවත තනා ගෙවදීමේ උත්සවයකට එක් වෙමිනි. එය එක් අතකින් යහපත් වුව ද ‘දිට්වා’ සුළි කුණාටුව මුල් කොට ඉහත සඳහන් ආපදාවට පත් වූ දහස් ගණනකගේ ජීවිත සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් නොවීම ගැන අපට කෙසේ වත් සතුටු විය නොහැක.

සිව්වන දිනයේ සන්නිවේදන සබඳතා යථා තත්ත්වයට පත්වීමෙන් පසු, ප්‍රධානීන්ගේ උපදෙස් මත ඔවුහු දුම්රියෙන් නික්ම නාවලපිටිය දුම්රිය ස්ථානයට ගොස් එම සිදුවීම වාර්තා කළහ. තවමත් මෙම වටිනා දුම්රිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු එහි යොදවා තිබේ. එමෙන්ම එහි එන්ජිම මුළුමනින් අක්‍රිය නොවනු පිණිස වරින් වර එය පණ ගන්වන බව ද කියනු ලැබේ. අප රටේ දුම්රිය සේවය ඇරඹූ ඉංග්‍රීසි ජාතිකයන් දුම්රිය ස්ථානවලට අමතරව මෙම දුම්රිය නැවතුම්පළවල් තනා ඇත්තේ මාර්ග පහසුකම් නොමැති ගැමි සහ වතු කම්කරු ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමට ය. ඒ අනුව මෙම ආපදාවට ලක් වූ දුම්රිය පාසල් සිසුන්, කාර්යාල සේවකයන් සහ සාමාන්‍ය මඟී ජනතාව වෙනුවෙන් උපරිම මෙහෙවරක යෙදුණු අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව එම ප්‍රවාහන පහසුව නොමැති ජීවිත දහස් ගණනකගේ ජීවිත අද වන විටත් කබලෙන් ලිපට වැටී තිබේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ ‘දිට්වා’ සුළි කුණාටුවට හසු වූ නිවසක් රජයේ වන්දි මුදලින් නැවත තනා ගෙවදීමේ උත්සවයකට එක් වෙමිනි. එය එක් අතකින් යහපත් වුව ද ‘දිට්වා’ සුළි කුණාටුව මුල් කොට ඉහත සඳහන් ආපදාවට පත් වූ දහස් ගණනකගේ ජීවිත සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් නොවීම ගැන අපට කෙසේ වත් සතුටු විය නොහැක.

ඒ කෙසේ හෝ තමන්ගේ වෘත්තියට සහ මගී ජීවිතවලට උපරිම භක්තියෙන් සේවය කළ ජයම්පති මඩිගසේකර මහතා ප්‍රමුඛ දුම්රිය කාර්ය මණ්ඩලය, ‘දිට්වා’ සුළි කුණාටු ඉතිහාසයට එක් කළේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වටිනා වීර කතාවකි. එසේ නොමැති නම් සුනාමි දුම්රිය ඛේදවාචකය මෙන් දිට්වා දුම්රිය ඛේදවාචකය ද ඉතිහාසයට එක් විය හැකිව තිබිණි. ඔවුන්ගේ ඒ වීරකම දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු වැඩක් නැති වුව ද ඔවුන් වෙනුවෙන් සමස්ත ජාතියේම ප්‍රණාමය පුදකරන අතර අපි “ජසාකල්ලාහු ඛයිරන්” යනුවෙන් හදවතින්ම ඔවුන්ට ආශීර්වාද කරමු!

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර