බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ බාප්පා වුවද, වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් ඔහු සමඟ වඩාත් සමීපව කටයුතු කරන ඔහුගේ මිතුරන් බැවින්, ඔහු පිළිබඳව තොරතුරු තමන්ගෙන් විමසනවාට වඩා ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් විමසා දැනගැනීම වඩාත් සුදුසු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය:”2005 වසරේ ඉඳන් මේ ආණ්ඩුවේ ඉන්න අය මට වඩා හුඟක් ළඟින් බැසිල් රාජපක්ෂ මහතා එක්ක ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් ඒ අය එතුමා ලංකාවට එන්නේ කවදාද කියලා මගෙන් අහන්නේ නැතුව ඒ අයගෙන්ම අහලා දැනගත්තොත් හොඳයි. මොකද මට එතුමා වෙන්නේ බාප්පා. හැබැයි එතුමා මේ ආණ්ඩුවේ ඉන්න අයගෙ යාළුවෙක්.”වත්මන් රජයේ ප්‍රධානීන් සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින දීර්ඝකාලීන දේශපාලන සබඳතා පිළිබඳව සිහිපත් කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.