
අත්තනගල්ලේ, අලවල, දේවීන් පැන්න ඇල්ල හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව හෙළි වන ශෝකී පුරාවෘත්තයක් තිබේ. එයට අනුව එක් රජ කෙනෙක් ආක්‍රමණික සේනාවක් සමඟ යුද්ධයකට වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් තුන් කෝරළය බලා පිටත්ව යාමට පෙර, තමාගේ බිසෝවරුන්ව ආරක්ෂාව පිණිස රජ මාලිගයට ඔබ්බෙන් වූ ඇතා උඩ කන්ද ගල්ලෙන්වල නවතා තබයි. එහිදී රජු සහ බිසෝවරුන් අතර සුවිශේෂී සන්නිවේදනයක් ද ඇති වී තිබේ. එනම්, තමන් සටනින් ජයග්‍රහණය කළහොත් තුන් කෝරළයේ රත්තාගල කඳු මුදුනේ සුදු කොඩියක් ඔසවන බවත්, සටනින් පරාජය වුවහොත් රතු කොඩියක් ඔසවන බවත් ය. රත්තාගල යනු ජනප්‍රවාද බොහොමයකට මුල් වන රුවන්වැල්ල ප්‍රදේශයේ කන්දකි.
නමුත් ඉහත ජනප්‍රවාදයට අනුව පසුව සිදු වූයේ බරපතළ සන්නිවේදන දෝෂයකි. රජතුමා සටනින් විශිෂ්ට ජයක් අත්කර ගනී. ජයග්‍රහණයෙන් පසු උදම් වූ රජු, තමා ජයගත් බව බිසෝවරුන්ට නොපමාවම දන්වන ලෙස මුනි සිඤ්ඤෝ නම් අතවැසියෙකුට අණ කර, රත්තාගල කඳු මුදුනට වී රතු කොඩියක් ඔසවයි. එය ඔහු බිසෝවරුන්ට කළ සරදමක් වූ අතර, තවත් ජනප්‍රවාදයකට අනුව මෙය රජුගේ ඇමතිවරුන්ගේම කුමන්ත්‍රණකාරී ක්‍රියාවකි.
නමුත් ඈත රත්තාගල කඳු මුදුනේ ලෙළදෙන රතු කොඩිය දකින බිසෝවරු, රජතුමා සටනින් පරාජය වී මියයන්නට ඇතැයි වැරදියට වටහා ගනිති. ඒ අනුව සතුරන් අතට පත් වී දූෂණයට ලක් වීමට අකමැති වන බිසෝවරුන් හත්දෙනා, කන්ද මුදුනේ සිට පහළ ඇති අත්තනගලු ඔයේ අතු ගංගාවකට පැන දිවි නසා ගනිති. බිසෝවරුන් (දේවීන්) පැන මියගිය එම ස්ථානය “දේවීන් පැන්න ඇල්ල” ලෙස හඳුන්වනු ලබයි. දේවීන් පැන්න ඇල්ල හෙවත් දේවීන්පැන්නැල්ල අද වන විට දියුණු මානව ජනාවාසයකි.
එමෙන්ම එම කන්දට “ඇතා උඩ කන්ද” යන නම ලැබීම පිටුපස ද අපූර්ව කතාවක් ඇත. මෙම පැනීමේදී එවකට ගැබිණියකව සිටි අගබිසව කන්දෙන් පහළට පැන්නද, ඇය වාසනාවකට වැටෙන්නේ කන්ද පාමුල සිටි ඇතෙකුගේ පිට මතටය. බිසව ඇතාගේ පිට උඩට වැටීම සහ ඇතා ඇයව පිට මත තබාගෙන කන්දට නැඟීම නිසා මෙම කන්ද “ඇතා උඩ කන්ද” ලෙස ප්‍රසිද්ධ වේ. මෙයට සාක්ෂි ලෙස මෙම කන්ද ඈතට පෙනෙන්නේ ද වැතිර සිටින ඇතෙකුගේ ස්වරූපයෙනි.

ජනප්‍රවාදයක් යනු ජනතාව අතර වාචිකව පරම්පරාවෙන් පරම්පරාවට පැතිරෙන, ඓතිහාසික සත්‍යය සහ ප්‍රබන්ධය අතර දෝලනය වන අපූර්ව කතා විශේෂයකි. නමුත් මේවා හුදෙක් විනෝදය සඳහාම පමණක් නිර්මාණය වූ ඒවා නොවේ; මේවා තුළ සමාජ සංස්කෘතිකමය දායාදයන් ද ගැබ්ව තිබේ. අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටි ඇතා උඩ කන්ද සහ ඒ අසලින් ගලා බසින දේවීන් පැන්න ඇල්ල හා සබැඳි ජනශ්‍රැතිය ද එවැන්නකි. මෙම ප්‍රවාදය ප්‍රධාන වශයෙන්ම වළගම්බා රජතුමා සමඟත්, ඇතැම් ප්‍රාදේශීය පුරාවෘත්තයන්ට අනුව සූර්ය බණ්ඩාර නම් පාලකයා සමඟත් තදින්ම බද්ධ වී පවතී. මෙම ප්‍රවාදය මුල් කොට ප්‍රාදේශීය විමර්ශනයක් කළ ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් පවසනුයේ, මෙම ජනප්‍රවාදය මේ අයුරින්ම තවත් ප්‍රදේශ ගණනාවකටම බද්ධ වී ඇති බවකි. මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ බිසෝ දොළ ඇල්ල හෙවත් බිසෝ මළ ඇල්ල, මාතලේ යටවත්තේ බිසෝ ඇල්ල සේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර (බදුරලියේ) මලදූගල කන්දත්, එම දිස්ත්‍රික්කයේම හොරණ යාල ප්‍රදේශයේ ඇල්ලේ කන්දත් ඉහත ප්‍රවාදය හා ඒ අයුරින්ම බැඳී පවතින බව පෙන්වා දෙන ඔහු, ඒ හා සම්බන්ධ තවත් ප්‍රදේශ ගණනාවක් අප රටේ තිබිය හැකි බවට අනුමාන කරයි. එමෙන්ම මෙම ප්‍රවාද බොහොමයක් ඓතිහාසික වශයෙන් කාලවිරෝධී බව පෙන්වා දෙන තිලක් සේනාසිංහ, අපගේ රට කෝරළ වශයෙන් හැඳින්වීම කෝට්ටේ යුගයෙන් පසු ව්‍යවහාරයට පැමිණි බව ද පෙන්වා දෙයි. එමෙන්ම දේවීන් පැන්න ඇල්ල ජනප්‍රවාදයේ රජවාසලට පණිවිඩය ගෙන ගිය සේවකයා පෘතුගීසි යටත් විජිත සමයේ සිට මෙරට භාවිත වූ ‘සිඤ්ඤෝ’ නමකින් හැඳින්වෙන ‘මුනි සිඤ්ඤෝ’ බව මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙණිය යන වියතුන් විසින් රචිත ‘සිංහල දේව පුරාණය’ ග්‍රන්ථයේ දුණුමාලේ බිසෝ බණ්ඩාර දෙවියන් සම්බන්ධ පරිච්ඡේදයේ ද සඳහන් ව ඇති බව ද ඔහු පවසයි. තිලක් සේනාසිංහයන් ඉදිරිපත් කරන එම සාක්ෂිය මානව විද්‍යාත්මකව ඉතා වැදගත් වේ. ඒ අනුව මානව විද්‍යාත්මකව අතිශය වැදගත් සංසිද්ධියක් වන රාවණා සංකල්පයේ ඓතිහාසිකත්වය විමසීමට ගිය විද්වතුන් මෙන් මෙවන් සංසිද්ධීන් හට හුදු ඓතිහාසික ආරෝපණ ලබා දී කිසිවකුත් පොට වරද්දා ගත යුතු නැත.
අත්තනගල්ලේ අලවල, මාතර පස්ගොඩ, මාතලේ යටවත්ත, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර හා යාල ආදී ප්‍රදේශවලින් මතු වන මෙම ප්‍රවාදය සම්බන්ධ සමාජමය වපසරිය එපමණකට සීමා නොවේ. මෙය ජනශ්‍රැති විද්‍යාවේදී (Folklore Studies) දක්නට ලැබෙන වැදගත්ම සංසිද්ධි දෙකක් කියාපාන්නකි. එනම් ජනප්‍රවාද සංක්‍රමණය (Migration of Legends) සහ දේශීයකරණයයි (Localization / Oicotype). මෙහිදී සිදු වන්නේ එකම مූලික කතා ව්‍යුහයක් හෝ තේමාවක් භූගෝලීය සහ සංස්කෘතික සීමාවන් ඉක්මවා ගමන් කරමින්, ළඟාවන සෑම ප්‍රදේශයකටම ආවේණික අයුරින් අදාළ භූමි පරිසරයට සහ ඉතිහාසයට අනුකූලව හැඩගැසීමයි. ලංකාවේ බොහෝ උස් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අසන්නට ලැබෙන, යුද්ධයට ගිය රජෙකු සහ දිවි නසාගත් බිසෝවරුන් පිළිබඳ රතු කොඩි පුරාවෘත්තය මෙම සංසිද්ධි ද්විත්වය විද්‍යාත්මකව වටහා ගැනීමට ඇති කදිම නිදසුනකි.
ජනප්‍රවාද සංක්‍රමණය (Migration of Legends) යනු එකම කතා මෝස්තරයක් (Motif) එක් සංස්කෘතියකින් හෝ ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ගමන් කිරීමේ ක්‍රියාවලියයි. මෙය බොහෝ විට ජන සංක්‍රමණ හා බද්ධ වූවකි. පැරණි සමාජයන්හි සිදු වූ වෙළෙඳ සංචාර, යුද ආක්‍රමණ, ආගමික වන්දනා ගමන්, විවාහ සබඳතා සහ විවිධ ජන කොටස්වල සංක්‍රමණ හරහා මෙම කතා ද දේශසීමා ඉක්මවා ගමන් කිරීම පැහැදිලිව දක්නට ලැබෙන්නකි. ඉහත සඳහන් පුරාවෘත්තයේ මූලික ව්‍යුහය දෙස බැලීමේදී; රජෙකු යුද්ධයට යාම, ජය පරාජය සන්නිවේදනය කිරීමට කොඩි වැනි දෘශ්‍ය සංකේත භාවිත කිරීමට එකඟ වීම, අවසානයේ සිදු වන වැරදි සන්නිවේදනයක් හෝ සරදමක් නිසා බිසෝවරුන් හෝ ඥාතීන් ඛේදවාචකයකින් දිවි නසා ගැනීම යන මූලික සැකිල්ල එම ජනකතා සියල්ල පුරාම එක හා සමානව දැකිය හැකිය.
මෙම කතා ව්‍යුහය ලාංකීය සමාජයට පමණක් සීමා වූවක් ද නොවේ; එය ලෝක ව්‍යාප්ත මෝස්තරයක් (False Signal Motif) ලෙස හඳුනාගත හැකිය. මේ සඳහා ලෝක පූජිත නිදසුනක් ලෙස ග්‍රීක පුරාවෘත්තවල එන ඇතැම්ස් නුවර රජ කළ ඒජියස් රජු සහ ඔහුගේ පුත් තෙසියුස්ගේ කතාව දැක්විය හැකිය. එහිදී මිනෝටෝර් නමැති රාක්ෂයා මරා ජයගෙන එන තෙසියුස් හට තම පියාට කලින් පොරොන්දු වූ අන්දමට තම නැවේ කළු රුවල වෙනුවට සුදු රුවල එසවීමට අමතක වෙයි. එහිදී තම පුතු පැරදී මියගිය බව සිතා ඒජියස් රජු ඇතැම්ස් හි කේප් සූනියන් උස් පර්වතයෙන් මුහුදට පැන දිවි නසා ගනී. මෙම ලෝක ව්‍යාප්ත කතා තේමාව ශ්‍රී ලංකාව තුළ ද එකිනෙකට වෙනස් දුරස්ථ ප්‍රදේශ රැසක් කරා සංක්‍රමණය වී ඇති අයුරු මින් මනාව පැහැදිලි වේ.
සංක්‍රමණය වූ ජනප්‍රවාදයක් යම් නිශ්චිත ප්‍රදේශයක ස්ථාවර වන විට සිදු වන ඊළඟ වැදගත් පියවර වනුයේ ‘දේශීයකරණය’ හෙවත් ස්වීඩන් ජාතික ජනශ්‍රැති විශාරද කාල් වොන් සයිඩොව් (Carl Von Sydow 1887-1952) හඳුන්වා දුන් ‘Oicotype’ තත්ත්වයට පත්වීමයි. මෙහිදී සිදු වන්නේ අදාළ ප්‍රදේශයේ පවතින භෞතික භූගෝලීය සාධක, ප්‍රාදේශීය ඉතිහාසය, ප්‍රසිද්ධ චරිත සහ සමාජ ඇදහිලි සමඟ අදාළ පුරාවෘත්තය සියුම් ලෙස බද්ධ වීමයි. ඒ අනුව මෙම පුරාවෘත්තයේ එන රජ වාසල හා සම්බන්ධ උස් කන්ද ඒ ඒ ප්‍රදේශයේ තිබෙන ප්‍රසිද්ධම හෝ අද්භූතම කන්ද බවට පරිවර්තනය වේ. ඒ අනුව ඊට කිසියම් ගුප්ත අගයක් ආරෝපණය වීම ද වැළැක්විය නොහැක.
මෙලෙස එම ප්‍රවාදය හා සම්බන්ධ ස්ථිර භෞතික සාක්ෂියක් වන ඇතෙකුගේ හැඩය ගත් කන්ද, දියඇල්ල කතාවට ඈඳීම මඟින් ජනතාව තුළ එහි විශ්වසනීයත්වය ඉහළ නංවයි. එසේම, කතාවේ එන නිර්නාමික රජු දේශීයකරණය වීමේදී, එම ප්‍රදේශයට ඓතිහාසිකව සම්බන්ධ වළගම්බා රජු, සීතාවක රාජසිංහ රජු හෝ කිසියම් ප්‍රාදේශීය පාලකයෙකු වන සූර්ය බණ්ඩාර වැනි චරිත බවට පත්වන්නේ ජනතාවට ඔවුන් ද තමන්ගේම ඉතිහාසය සමඟ බද්ධ කරගැනීමට ඇති කැමැත්ත නිසාවෙනි. අප රටේ ඇති අතීතයේ භික්ෂූන්ට පූජා කළ බව සැලකෙන කටාරම් කෙටූ ගල් ලෙන් බොහොමයක් වළගම්බා රජු වාසය කළ ස්ථාන සේ හැඳින්වීම මීට සමාන තත්ත්වයකි.
මීට අමතරව මෙහි මානව සහ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාව ද හඳුනාගත හැකිය. මෙලෙස ජනප්‍රවාදයක් එකම රටක් තුළ විවිධ මුහුණුවරින් ස්ථානගත වීමට ප්‍රබල මානව සහ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවන් බලපානු ලබයි. ඛේදවාචකය, පතිවෘතාව, ආදරය, සැකය සහ නොනිසි සරදම් වැනි විශ්වීය මානව හැඟීම් මෙහි අන්තර්ගත බැවින් ඕනෑම සමාජයක ජන මනසට මෙය පහසුවෙන් කාවදියි. එසේම, රජු ජයගෙන පැමිණියද බිසෝවරුන්ට සරදම් කිරීමට රතු කොඩිය එසවීම වැනි හේතු හෝ ඇතැම් තැනක ඇමතිවරුන්ගේ කුමන්ත්‍රණ නිසා කොඩිය එසවුණු බව පැවසීම මඟින්, අදාළ ප්‍රජාවට අවශ්‍ය සදාචාරාත්මක පාඩම් සමාජගත කිරීමට කතාව කදිම වාහකයක් වේ. එමෙන්ම “අපේ ගමේ කන්දටත් රාජකීය ඉතිහාසයක් තියෙනවා” යන ප්‍රාදේශීය අභිමානය සහ අනන්‍යතාව ගොඩනැඟීමට ද, පරම්පරා ගණනාවක් පුරා වාචික මතකය රඳවා ගැනීමට ද මෙම දේශීයකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සාධකයකි.
මානව විද්‍යාත්මක ලෙස සලකා බලන කල, අත්තනගල්ලේ දේවීන් පැන්න ඇල්ල සේම තවත් ප්‍රදේශ කිහිපයක් හා සබැඳි පුරාවෘත්තය යනු හුදෙක් එක් නිශ්චිත ප්‍රදේශයක පමණක් සිදු වූ තනි ඓතිහාසික සිදුවීමක් නොව, ජන මනස තුළ අරක් ගෙන ඇති සර්වකාලීන කතා ව්‍යුහයකි. ජනප්‍රවාද සංක්‍රමණය මඟින් මානව සංස්කෘතීන් සතු පොදු සහ අන්‍යෝන්‍ය සමාජමය සබඳතාව මැනවින් නිරූපණය වන අතර, දේශීයකරණය මඟින් ඒ ඒ ප්‍රජාව සතු අනන්‍යතාව, භූගෝලීය උරුමය සහ සදාචාරාත්මක වටිනාකම් මතුකර පෙන්වයි. එබැවින්, මෙවැනි පොදු ජනශ්‍රැති නිර්මාණ දෙස මානව විද්‍යාත්මක ඇසකින් බැලීමෙන් ජාතියක සාහිත්‍යමය සහ සංස්කෘතික උරුමය පිළිබඳව පමණක් නොව, මානව සමාජයේ මනෝභාවයන් සහ සංස්කෘතික හුවමාරුව සිදු වූ ආකාරය පිළිබඳව ද පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය. නමුත් අධිපරිභෝජනය පරමාදර්ශයක් කොට ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ මෙවන් මානව විද්‍යාත්මක සංලක්ෂණයන් “පණ පිටින් මිහිදන් වීමේ” ඛේදවාචකය සියැසින් දැක බලා ගැනීමට සිදු වීම වර්තමානයේ අප අත්විඳින සුවිසල් අභාග්‍යයකි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
හිටපු මානව විද්‍යා මහාචාර්ය