
චීනයේ පිරිමි ජනගහණයට වඩා ගැහැනු ජනගහණය බෙහෙවින් අඩු ය. මේ වනවිට වාර්තා වන ආකාරයට එරට පිරිමින් මිලියන 719 ක් සිටින අතර ගැහැනුන් සිටින්නේ මිලියන 694 ක් පමණි. මේ අනුව ගැහැනුන් සංඛ්‍යාව පිරිමින් සංඛ්‍යාවට වඩා මිලියන 25 කින් පමණ අඩු ය.
මේ අතර තරුණ සහ වැඩ කරන වයසේ අය සැලකුවහොත් මේ පරතරය ඊටත් වඩා වැඩි බව වාර්තා වේ. එවිට මෙම දෙපිරිස අතර පරතරය මිලියන 30-35 ක් පමණ වන බව සංඛ්‍යාලේඛන සඳහන් කරයි.
මෙම අසමානතාව මේ වෙද්දී චීනයේ බොහෝ ගැටලුවලට හේතු වී තිබේ. ඒ අතරින් එක් ගැටලුවක් වන්නේ ඇතැම් ප්‍රදේශවල තරුණ පිරිමින්ට විවාහ වීම සඳහා කාන්තාවන් සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර වී තිබීමයි. මේ නිසා කාන්තාවන් සඳහා ඇති ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ තත්වයට අදාළව මෑතක පළ වී තිබූ මාධ්‍ය වාර්තා සුවිශේෂී කරණා කිහිපයක් පෙන්වා දී තිබිණි. එවැනි එක් කාරණාවක් නම් පිරිම්න්ට විවාහ වීම සඳහා කාන්තාවන් සොයා දෙන, එනම් මගුල් කපුකම් කරන මංගල සේවා ඒජන්සි හතු පිපෙන්නා සේ විශාල වශයෙන් බිහි වීමට පටන්ගෙන ඇති බව ය. මෙය මෙකල චීනයේ වේගයෙන් පැතිරෙන ලාභදායක ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව සඳහන් වේ.
ඒ අතර කූඨ ආකාරයෙන් පිරිමින් රවටා මුදල් සහ දේපල ගසාකන ජාවාරම් ද විශාල වශයෙන් බිහි වන්නට පටන් ගෙන ඇති බව ඉහත කී මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

සමහර තරුණ කාන්තාවන් සමග එක්ව මේ ආයතන කරන ජාවරම් ගැන ද වාර්තා වේ. අවන්හල්වල සේවය කරන වේටර්වරියන් වැනි අය මෙහි දී යොදාගන්නා බව පැවසේ. මේ තරුණියන්ගේ රැකියා සහ අනන්‍යතාවන් වසන් කර අහිංසක කාන්තාවන් ලෙස පෙන්වා වංචනික ආකාරයෙන් පිරිමින්ට ජෝඩු කරනු ලැබේ. මෙසේ මනාලියක ලබා ගැනීමේ දී පිරිමින්ට විශාල මුදලක් ගෙවීමට සිදු වේ. ඒජන්සි ආයතන සඳහා ලොකු ගාස්තුවක් ගෙවන අතර මනාලියට දෑවැද්දක් වැනි මුදලක් ද ගෙවන්නට සිදුවන බව සඳහන් ය.
මේ සියල්ල ප්‍රශ්නයක් නැතැයි සිතමු. නමුත් ප්‍රශ්නය වන්නේ මේ සමහර මනාලියන් විවාහ වී ටික දිනකට පසු අතුරුදන් වීම ය. එයින් පසු ඔවුන් ආගිය අතක් සොයා ගැනීමට “ස්වාමි පුරුෂයන්ට” නොහැකි වේ. මේ ගැන විමසන්නට අදාල ඒජන්සි ආයතන වෙත ගිය විට ඔවුන්ට දැක ගන්නට ලැබෙන්නේ එම ඒජන්සි කාර්යාල ද අතුරුදන්ව ඇති බව යි.
තමුන් විශාල රැවටිල්ලකට ලක්ව ඇති බව මේ “ස්වාමි පුරුෂයන්ට” වැටහෙන්නේ එවිට ය.
මෑතක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ තවත් සිද්ධියක් මෙසේ ය. මේ සිද්ධියට මුහුණ දී තිබුණේ වැංග් නැමැති 37 හැවිරිදි පිරිමියෙකි.
ඔහු විවාහ වීම සඳහා කාන්තාවක සොයා ගන්නට මහන්සි වී එයින් හතිවැටී සිටි කෙනෙකි. ඒ නිසා වැංග් සිටියේ විවාහ වීමේ අදහස අත හැරලා ය. නමුත් දිනක් ඔහු දුටු ආකර්ශණීය දැන්වීමක් වැංග් තුළ යම් බලාපොරොත්තුවක් දැල්වීමට සමත් විය. මංගල සේවා ආයතනයක් විසින් පළ කරනු ලැබ තිබූ එම දැන්වීමෙන් පැවසුණේ සුදුසු කාන්තාවක සොයා ගැනීම සඳහා මාස ගණන්, වසර ගණන් බලා සිටිය යුතු නැති බව යි. ඉතාම සුදුසු, ගැලපෙන, විශ්වාසවන්ත බිරිඳක ඉතා ඉක්මනින් සොයා දෙන බවට අදාල දැන්වීමෙන් පොරොන්දු වී තිබිණි.
මෙම දැන්වීම දුටු වැංග් එය පළ කළ ආයතනයේ සේවය ලබා ගැනීමට තීරණය කළේය.
ආයතනය ඔහුට කාන්තාවන් කිහිප දෙනෙකු හඳුන්වා දුන්නේය. ඔවුන් සමග කතා කිරීමට ද අවස්ථාව සලසා දී තිබූ බව සඳහන් වේ. නමුත් එසේ කතා කරද්දී සෑම විටම ආයතනයේ කෙනෙකු ද ඒ ආසන්නයේ රැඳී සිට තිබිණි.
කාන්තාවන් සමග කතා කරද්දී වැංග් ඔවුන්ගේ අතීතය ගැන ද විමසා තිබූ අතර ඔවුන් කලින් විවාහ වී සිටියා ද, එම විවාහයන්ගෙන් දරුවන් සිටිනවා ද වැනි කාරණා ගැනත් දැන ගන්නට පියවර ගෙන තිබුණේය. වැංග්ට වුවමනා වී තිබුණේ කලින් විවාහ වී නොසිටි, දරුවන් නැති කාන්තාවක සොයා ගැනීමට යි. කාන්තාවන් අට දෙනෙකු සමග කතා කිරීමෙන් පසු ඔහු අටවැනි කාන්තාව තෝරා ගත්තේය. තමා බිරිඳකගෙන් බලාපොරොත්තු වන සියලු ගුණාංග ඇය සතු බවක් ඔහුට පෙනිණි.
ඇය තෝරා ගැනීමෙන් පසුව ද වැංග්ට හතර පස් වතාවක් කාන්තාව හමු වීමට ඉඩ ලැබිණි. නමුත් දුරකතන අංක වැනි දේ හුවමාරු කර ගැනීම තහනම් වූ බව ද සඳහන් වේ.

අවසානයේ එම කාන්තාව හොඳටම වැංග් ගේ හිතට ඇල්ලුවෙන් ඔහු ඇය විවාහ කර ගත්තේය. නමුත් තමා විශාල රැවටිල්ලකට ලක් වී ඇති බව ඔහුට වැටහෙන්නට වැඩි කලක් ගියේ නැත. ආයතනය මෙන්ම කාන්තාව ද තමාට පවසා ඇත්තේ පට්ටපල් බොරු බව සති කිහිපයක් යද්දී ඔහුට වැටහිණි. කාන්තාව මෙයට පෙර තුන් වරක් විවාහ වී සිටි, දරුවන් තුන් දෙනෙකු ද සිටින, ඒ මදිවාට ලිංගිකව බෝවෙන රෝගයකින් ද පෙලෙන, හතර අතට ණය වී සිටි කෙනෙකු බව ඔහුට දැනගන්නට ලැබිණි. ඇගේ වයස සම්බන්ධයෙන් ද ඇය පවසා තිබුණේ බොරුවකි.
මේ කරුණු ඔහුට සොයා ගන්නට ලැබුණේ ඇයගේ ණයකාරයන් කාන්තාවට ඇමතුම් දෙන්නට පටන් ගැනීමත් සමග ඔහු තුළ සැකයක් ඇති වූ නිසා ය.
මේ සියල්ල හෙළි වීමෙන් පසු ඇය පවසා තිබුණේ “එහෙනම් දික්කසාද වෙමු” කියා ය. නමුත් ලබාගත් මුදල් නැවත ලබා දීම ඇය ප්‍රතික්ෂේප කර තිබිණි.
වැංග් ඉහත කී ඒජන්සියට විශාල ගාස්තුවක් ගෙවා තිබිණි. කාන්තාවට ද දෑවැද්දක ආකාරයෙන් ලොකු මුදලක් ගෙවා තිබූ අතර විවාහ උත්සවය සඳහා ද තවත් සැලකිය යුතු මුදලක් වැය කර තිබිණි. දැන් මේ සියල්ල ඔහුට අහිමි වී ඇත.
වැංග් ඔහුව රැවටූ ආයතනය සොයා ගියේය. නමුත් ඒ වනවිට එය ද එම ස්ථානයේ නොතිබිණි.
චීනයේ කාන්තා ජනගහණය පිරිමි ජනගහණයට වඩා බෙහෙවින් අඩු වීම නිසා මෙවැනි “මගුල් ජාවාරම්” වැඩි වීමට අමතරව තවත් විවිධ ගැටලු ඇති වී තිබේ.
එරට ඇතැම් ප්‍රදේශවල බොහෝ පිරිමින්ට ජීවිත කාලය පුරා බිරිඳක් සොයා ගැනීමට නොහැකිව තනිකඩව සිටින්නට සිදු වී ඇති බව ද වාර්තා වේ. මේ තත්වයට වැඩිපුරම ගොදුරු වන බව පැවසෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල පිරිමින් ය. මෙම ගම්වල සිටින කාන්තාවන් සුළු පිරිස පවා රැකියා සඳහා නගරවලට පැමිණීම ග්‍රාමීය පිරිමින්ගේ අර්බුදය උග්‍ර කිරීමට හේතු වී ඇත.
කලකට පෙර චීනය ලෝකයේ වැඩිම ජනගහණය සහිත රට විය. නමුත් මේ වනවිට එරට ජනගහණය අඩුවෙමින් ඇති අතර ඉන්දියාව ජනගහණය අතින් පළමු තැනට පැමිණ තිබේ. චීනයේ කාන්තාවන් අඩු වෙමින් තිබීම මේ ජනගහණ ගැටලුවට ද එක් හේතුවක් ලෙස සැලකේ.
එරට දරු උපත් අනුපාතය අඩු වීම නිසා වැඩ කළ හැකි වයසේ තරුණ ජනගහණය කෙමෙන් අඩු වෙමින් ඇති අතර මෙය ආර්ථික වර්ධනයට ද සෘණාත්මක ලෙස බල පා ඇති සාධකයකි.
නිහාල් පීරිස්