
ඉකුත් 23 වන දින හදිසියේ අප අතරින් වෙන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරුද්ධ දයාරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අනේක විධ විෂම මතවාද පැතිර යමින් තිබේ. එවන් පසුබිමක බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විසින් ද මුහුණු පොතේ මතු දැක්වෙන සටහන තබා ඇත. ඒ මෙලෙසිනි.
2026 අගෝස්තු මස 23 වන දින අප අතරින් සමුගත් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරුද්ධ දයාරත්න මහතාගේ සේවය අගයනු වස් බදුල්ල ශික්ෂණ රෝහලේ කළමනාකාරීත්වය විසින් තබන ලද සටහනයි!
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරුද්ධ දයාරත්න මහතාගේ මූලික අධ්‍යාපනය ආරම්භ වූයේ ඔහුගේ උපන් ගම වූ ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේදී ය. එහිදී 5 වසර ශිෂ්‍යත්වය සමත් වූ ඔහු ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය.
1997 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටි ඔහු ‘ඒ’ සාමාර්ථ හතරක් ලබා ගනිමින් එම වසරේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ තුන්වෙනියා ලෙසින් අතිවිශිෂ්ට ලෙස ජයගත්තේ එතුමාගේ දක්ෂතාවය හා අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙසිනි. තම පෙළපතේ අතිදක්ෂතම නිමැවුම වූ එතුමා පිළිබඳව මෙම තොරතුරු ඔහුගේ පියා විසින් ප්‍රකාශ කළේ ආඩම්බරය මුසු සංවේගයෙනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් ඔහු සීමාවාසික පුහුණුව ආරම්භ කරන ලද්දේ ඉතාමත් කාර්යබහුල රෝහලක් වූ මහනුවර ජාතික රෝහලෙනි.

සීමාවාසික පුහුණුවෙන් අනතුරුව එතුමාගේ පළමු වෛද්‍ය පත්වීම ලෙස සේවය සඳහා යොමු වන්නේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙතය. එහිදී ද එතුමාගේ විෂය පථය විහිදෙන්නේ නිර්වින්දන වෛද්‍ය අංශය වෙතයි.
තෝරා ගත් එම විෂය පථය ඔස්සේම පශ්චාත් උපාධිය සඳහා තේරී පත් වූ එතුමා මහනුවර ජාතික රෝහලේ ඇනෙස්තෙෂියා රෙජිස්ට්‍රාර් (Anesthesia Registrar) ලෙස පත්වීම් ලැබීය.
2015 වර්ෂයේදී විශේෂඥ වෛද්‍ය විදේශ පුහුණුව සඳහා එංගලන්තයට ගිය එතුමා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලාංකීය මහජනයාට සේවය කිරීම උදෙසාම නැවත ලංකාවට පැමිණි අතර, අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය ආරම්භ කරන ලදී.
අම්පාර මහ රෝහලෙන් ස්ථාන මාරුවක් ලබාගත් එතුමා 2019 වර්ෂයේදී බදුල්ල පළාත් මහ රෝහලෙහි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත්වීම බාරගන්නා ලදී.
2021 වර්ෂයේදී එතුමා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ස්ථාන මාරුවීමක් ලබාගත් අතර, එහිදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ කාර්යභාරයට අමතරව එම රෝහලේ රෝහල් අධ්යක්ෂවරයා ලෙස ද තාවකාලිකව පරිපාලන කටයුතු සඳහා දායකත්වය දක්වා ඇත.
2024 වර්ෂය දක්වා මාතලේ දිස්ත්‍රික් රෝහලේ සේවය කළ එතුමා 2024 ඔක්තෝබර් මස සිට මේ දක්වා බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩක් පමණ සේවය කරන අවධියක එතුමා තුළින් ශ්‍රී ලාංකික සෞඛ්‍ය ක්ෂේත්රයට ඉටු වූ මෙහෙය අගය කළ යුතුමය.
බදුල්ල ශික්ෂණ රෝහල ගත් කල ඌව පළාතේ ප්‍රධානම රෝහල වන අතර ඒ සඳහා අවම වශයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකු පමණ අවශ්‍ය වුවද සේවයේ යෙදී සිටින්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණි. ශල්‍යාගාර හතරක හා ඇඳන් 20කින් යුත් දැඩි සත්කාර ඒකක තුනක වගකීම් පැවරී තිබුණේ එම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා මතය. රෝහලේ සිටින විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසිපහක පමණ පිරිසකගේ සියලුම ශල්‍යකර්ම සඳහා නිර්වින්දන කටයුතු හා දැඩි සත්කාර කටයුතු සිදුවනුයේ මෙම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙපළ අතිනි.
ස්නායු ශල්‍යකර්ම, විකලාංග ශල්‍යකර්ම, වකුගඩු බද්ධ කිරීම්, පිළිකා ශල්‍යකර්ම, ළමා ශල්‍යකර්ම වැනි විශාල කාලයක් වැය වන හා රාත්‍රීන් පුරා සිදුකරනු ලබන ශල්‍යකර්මවලදී රෝගීන්ගේ සියලුම ජීවී තත්ත්වයන් පවත්වාගෙන යාමේ කාර්යභාරය සිදු කරනු ලබන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විසිනි. දින කිහිපයක වයස ඇති බිළිඳුන් මෙන්ම සියලුම වයස් කාණ්ඩයන්ට අයත් හා අවදානම් තත්ත්ව යටතේ සිටින රෝගීන්ගේ නිර්වින්දන කටයුතු සඳහා වගකීම ඔවුන් වෙත පැවතුණි.
බදුල්ල ශික්ෂණ රෝහලෙහි සේවයට පමණක් සීමා නොවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කාර්යභාරය, දිස්ත්‍රික්කයේ පිහිටි දියතලාව, වැලිමඩ හා මහියංගණය යන මූලික රෝහල්වල නිර්වින්දන විශේෂඥ සේවය අවශ්‍ය වූ අවස්ථාවලදී එතුමා දැක්වූ සහයෝගය අතිමහත්ය.
තවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශරීර ක්‍රියාකාරී විද්‍යාව (Physiology) විෂය සඳහා කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මෙතුමා දේශන මෙන්ම විභාග කටයුතු සඳහා ද සක්‍රීයව දායක විය.
රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හා හෙද කාර්ය මණ්ඩලයේ දැනුම වැඩිදියුණු කරනු වස් CPR Training Programs (පුනර්ජීවන පුහුණු වැඩසටහන්) පවත්වමින් ඉහළ රෝගී සත්කාරයක් ලබාදීමට ඔවුන් සන්නද්ධ කිරීම මෙතුමා තුළින් ඉටු වූ තවත් මෙහෙවරකි.
කොරෝනා වසංගතය, ඇල්ල බස් අනතුර, CIU බස් අනතුර හා දිට්වා වැනි ව්‍යසනයන්හිදී රෝගී සත්කාර කටයුතු මෙහෙයවමින් රෝගී ජීවිත බේරා ගැනීමට වූ එතුමාගේ කැපවීම අගය කළ යුතුමය.
එසේම නිර්වින්දන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් හේතුවෙන් රෝහලේ ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකවල අඛණ්ඩ පැවැත්මට ගැටලු පැනනැගුණු අවස්ථාවලදී රෝහල් පරිපාලනයට ශක්තියක් වෙමින්, සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගනිමින් සුහදශීලී ලෙස එතුමා දැක්වූ සමසිත පැසසුම් සහගතය.
රටේ පවතින තත්ත්ව යටතේ වෛද්‍යවරුන් රට හැර යන සමයක ප්‍රතිපත්තියක් ලෙස තම මව් රටට සේවය කිරීමට තෝරා ගැනීම ද එතුමා තම රට වෙනුවෙන් පෙන්වූ ආදරය පිළිඹිබු කරයි.
මෙම සියල්ල අභිබවා ඔහුගේ නිහතමානීත්වය, නම්‍යශීලී බව, සුහදශීලීත්වය හා කණ්ඩායම් හැඟීම පිළිබඳ කාර්ය මණ්ඩලයේ සියලු කණ්ඩායම් විසින් කරනු ලබන ඇගයීම මෙහිදී සඳහන් කළ යුතුමය.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වුණු විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරුද්ධ කුමාර දයාරත්න මහතා නිදහස් සෞඛ්‍ය සේවාව සවිබල ගැන්වීමට දක්වූ දායකත්වය මෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ විශිෂ්ට රෝගී සත්කාර සේවාවක් හා පරිවර්තනීය වෘත්තිකයන් බිහිකිරීමේ දැක්ම සාක්ෂාත් කිරීමට දැක්වූ මෙහෙවර ඉතාමත් කෘතඥපූර්වකව අගය කර සිටිමු.
මෙතුමාගේ වියෝව බදුල්ල ශික්ෂණ රෝහලට පමණක් නොව, සමස්ත සෞඛ්‍ය සේවාවටම දැඩි පාඩුවකි.
2026 අගෝස්තු මස 23 වැනි දින ජීවන ගමනින් සමුගෙන ගියේ සුහසක් රෝගීන්ට ජීවය ලබාදී බවත්, එතුමා මෙරටට ණය නැති රාජ්‍ය සේවකයෙකු බවත්, වෘත්තියට කැප වූ වෛද්‍ය වෘත්තිකයෙකු බවත් මතක් කර සිටිමු. තවද රෝහල් අධ්‍යක්ෂතුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ශෝකය එතුමාගේ දෙමාපියන් හා පවුලේ ඥාතීන් වෙනුවෙන් ප්‍රකාශ කිරීමට ද මෙය අවස්ථාවක් කරගන්නෙමු.
ඔබට අජරාමර නිවන් සුව පතමු!
අධ්‍යක්ෂතුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය
ශික්ෂණ රෝහල – බදුල්ල