“විසි දෙකෙන්” අධිකරණ ස්වාධීනත්වය බිඳෙන හැටි – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මේ දවස්වල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ආණ්ඩුව විසින් ඉතාමත් කඩිමුඩියේ ගෙන ඒමට ක්‍රියා කළ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමටත්, අග්‍රවිනිශ්චයකාරවරයාගේ ධුරකාලය වසර හයකට සීමා කිරීමටත් අපේක්ෂිත ය. මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පාර්ශ්වයන් විශාල ගණනක් පෙත්සම් ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන්නේ, රට තුළ උගත් බුද්ධිමත් විශාල පිරිසක් මේ හදිසි සංශෝධනය අයෝග්‍ය එකක් ලෙස සලකන බව ය. ඔවුන්ගේ ප්‍රධානම තර්කය වන්නේ මෙයින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවන බව ය.

මේ සංශෝධනයට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිබඳව උන්වහන්සේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වීමත් සුවිශේෂී ය. එම අවස්ථාවේ අගවිනිසුරුතුමා ගෞරවනීය ලෙස උන්වහන්සේ අමතමින් ධර්මය පැත්තට වඩා නීතිය පැත්තෙන් කරුණු දක්වන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටි බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. අධිකරණය කටයුතු කරන්නේ නීතිය අර්ථ දැක්වීමෙන් නිසා, අගවිනිසුරුතුමා එසේ නීතිඥයෙකු නොවන කස්සප ස්වාමීන් වහන්සේගේ කරුණු දැක්වීම ප්‍රස්තුත විෂය පථයට වඩාත් හොඳින් යොමු කරවා ගැනීමට ගත් පියවර ප්‍රශංසා කටයුතු ය. එය නීතිඥයින් නොවන අයටත් ස්වාධීනව උපරිමාධිකරණයේ තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට කළ හොඳ උපදේශනාත්මක මඟ පෙන්වීමක් සේ සැලකිය හැකිය. අධිකරණයේදී ඉදිරිපත් කරන කරුණු හැමවිටම පාහේ නීතිය හා සම්බන්ධිත කරුණු විය යුතු බැවින් එම මඟ පෙන්වීම නීතිඥයින් නොවන අයට බොහෝ වැදගත් මඟ පෙන්වීමකි.

අධිකරණය ඉදිරියේ 22 සංශෝධනයට එරෙහිව කරුණු දැක්වූ ප්‍රවීණ නීතිඥවරුන් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු එකක් බව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන් බවත් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර එය සාමාන්‍ය බහුතරයකින් සම්මත විය යුතුද, විශේෂ බහුතරයකින් සම්මත විය යුතුද, විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතුද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබයි. ඒ අනුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි බොහෝ පාර්ශ්වයන්ගෙන් අධිකරණයේ ඉදිරිපත් වූ කරුණු අතර අවධාරණය කෙරුණේ ජනමත විචාරණයකින් මේ සංශෝධනය අනුමත විය යුතු බවට ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාටත් ජනාධිපතිවරයාටත් රහසිගතව යැවීමට නියමිත ය.

යම් හෙයකින් ජනමත විචාරණයකට මේ ව්‍යවස්ථා සංශෝධනය යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත්, එය සම්මත වීමට නම් ඊට පක්ෂව ලබා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකකි. ජනමත විචාරණයේදී දෙන ලද ඡන්ද සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු වුණොත්, ඉහත අවම ඡන්ද සංඛ්‍යාව පක්ෂව ලැබීමෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා සේ සැලකේ. යම් හෙයකින් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වඩා ජනමත විචාරණයට ඡන්දය භාවිත කළහොත් සම්මත වීම සඳහා දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් සාතිශය බහුතරය පක්ෂව ලැබී තිබිය යුතුය. පසුගිය 2024 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පවත්වන විට මෙරට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 17,140,354 ක් (එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක්) විය. එම සංඛ්‍යාවට ගලපා බලතත් ජනමත විචාරණයකදී ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනාවට පක්ෂව අවම ඡන්ද 5,713,452 ක් (පනස් හත් ලක්ෂ දහතුන් දහස් හාරසිය පනස් දෙකක්) ලබා ගත යුතුය. එම සංඛ්‍යාවෙන් යෝජනාව ජයග්‍රහණය කළ හැකි වන්නේ දෙන ලද වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 11,426,902 ක් (එක් කෝටි දාහතර ලක්ෂ විසි හය දහස් නමසිය දෙකක්) හෝ ඊට අඩු සංඛ්‍යාවක් වුවහොත් පමණි. යම් හෙයකින් දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාව ඉහත 11,426,902 ඉක්මවා තිබුණොත් යෝජනාව සම්මත වීමට එම සංඛ්‍යාවෙන් සාතිශය බහුතරය පක්ෂව ලබා ගත යුතු වේ. එම නිසා ජනමත විචාරණයකදී යෝජනාවක් සම්මත කර ගැනීමට නම් ලබා ගත යුතු අවම සංඛ්‍යාවක් නියමව තිබීම නිසා, ඡන්දය භාවිත කිරීමට උනන්දු කිරීමත්, අවම සංඛ්‍යාව ඉක්මවා බහුතර ඡන්ද ගැනීමත් වැදගත් ඉලක්කයන් විය යුතුය.

කෙසේ වුවද ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීම අවශ්‍ය වුවත් නැතත් මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ප්‍රමාණවත් මහජන දැනුවත් කිරීමක් ආණ්ඩුවෙන් හෝ විරුද්ධ පක්ෂයෙන් සිදු කර නැති බව පෙන්වා දිය යුතු ය. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නීතිමය තර්ක මැනවින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්නම් ඒවා සාමාන්‍ය ජනතාවට විෂය වන කරුණු නොවේ. ආණ්ඩුව පැත්තෙන් රටට කියන්නේ අධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීම නඩු විභාග ප්‍රමාදය වැළැක්වීමට හේතුවක් වෙන බව ය. ආණ්ඩුවේ සමාජ මාධ්‍ය “සපෝටර්ලා” රටට කියන්නේ නඩු විභාග කඩිනම් වෙතැයි බිය වී ඇති හොරුන් මේ විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහි වන බව ය. බැලූ බැල්මට මෙයින් අදහස් වෙන්නේ නඩු ප්‍රමාදයට හේතුව විනිසුරන් විශ්‍රාම යාමේ වයස බව නොවේද? මෙය කවර ලෙසකින්වත් පිළිගත නොහැක.

මගේ පෞද්ගලික අත්දැකීමක් ද මෙහිලා සටහන් කිරීමට කැමැත්තෙමි. මා රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කරද්දී මගේ යටතේ තිබූ කාර්යාලයක සිදුව තිබුණු මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළේ 2015 වසරේ මුලදී ය. මේ පැමිණිල්ල පිළිබඳ විමර්ශන අවසන් කර මහාධිකරණයේ නඩු පවරා තිබුණේ 2025 දීය. පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුව සිටි මගේ සාක්ෂිය දීමට හැකි වුණේ වාර දහයක් අධිකරණයට ගොස් වසරකටත් වැඩි කාලයක් ගතවී 2026 දීය. මා අධිකරණයට ගිය වාර දහයේම නඩු විභාගය ප්‍රමාද වුණේ විනිසුරන්ගේ ගැටලුවකින් නොවේ. නඩුවට අදාළ යම් යම් පරිපාලන අවශ්‍යතාවන් සම්පූර්ණව නොතිබීම නිසාය. අධිකරණ ශාලාවක අසුන් ගෙන මගේ නඩුව කැඳවන තෙක් නඩු වාර දහයකම සිටි මට පෙනුණේ විනිසුරුවරුන් නඩු විභාග කඩිනම් කිරීමට මහත් සේ වෑයම් කරන බව ය. එම නිසා නඩු ගොඩගැසීමේ හේතුව විනිසුරන්ගේ විශ්‍රාම යාමේ වයස යැයි පිළිගැනීමට මට නම් හැකියාවක් නැත.

අනික් අතට විනිසුරන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමක් යැයි කියමින් මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන්නවුන් කියන කතාව ජනතාවට පැහැදිලිතාවයක් නැත. දැනට සේවයේ ඉන්නා විනිසුරන් තව අවුරුදු දෙකක් සේවය කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන අන්දම විපක්ෂ දේශපාලනඥයින් හරිහැටි මහජනයාට පැහැදිලි කරන්නේ නැත. අධිකරණයේ ස්වාධීනත්වය යනු රටේ මහජනතාව අතිශය සංවේදීව සලකන කරුණකි. රජයේ ප්‍රධාන අංග තුනෙන් එකක් වන්නේ අධිකරණයයි. ව්‍යවස්ථාදායකය හා විධායකය අනෙකුත් අංග දෙකයි. මේ අංග තුන සඳහාම බලය දී ඇත්තේ ජනතාවයි. ව්‍යවස්ථාදායකයට ජනතාව දී ඇති බලය ක්‍රියාත්මක කරවන්නේ ජනතාවම පත් කරන දේශපාලන නියෝජිතයින්ගෙනි. විධායකයට දී ඇති බලය ජනතාව විසින් ක්‍රියාත්මක කරවන්නේ ඔවුන් විසින් පත් කරන දේශපාලන නියෝජිතයෙකු වන ජනාධිපතිවරයෙකු මාර්ගයෙනි. අධිකරණ බලය ක්‍රියාත්මක කරවන්නේ එසේ දේශපාලනික නියෝජිතයින් මගින් නොවේ. ඒ සඳහා ස්වාධීන උගත් බුද්ධිමත් විනිසුරුවරුන් පත් කරන ක්‍රමවේදයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් සකස් කර ඇත. ව්‍යවස්ථාදායකය ජනතාවගේ බලය යටතේ සකසන නීති ක්‍රියාත්මක කරන්නේ විධායකයයි. විධායකය එසේ නීති ක්‍රියාත්මක කිරීමේදී ඉන් ජනතාවට ඇතිවන ගැටලු විසඳා ගැනීමට ජනතාව යා යුත්තේ අධිකරණයටයි. කොටින්ම විධායකය වෙතින් අසාධාරණයක් වෙතැයි අදහස් කරන පුද්ගලයෙක් ඉන් සහනයක් පතා යන්නේ අධිකරණයටයි. අධිකරණයේ ක්‍රියාවලියට විධායකයේ යම් බලපෑමක් ඇතැයි එසේ යන අයට සිතෙන්නේ නම් එය අධිකරණය පිළිබඳ විශ්වාසය පලුදු කරන්නක් වෙයි. මේ නිසාම අධිකරණ ක්‍රියාවලියේදී යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බවටත්, යුක්තිය ඉටුවෙන බව පෙනෙන්නට තිබිය යුතු බවටත් ප්‍රකට සම්මතයක්ද පවතී. මේ නිසාම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස යෝජිත ලෙස සිදු කිරීම මගින් අධිකරණ ස්වාධීනත්වයට වන බලපෑම සරලව ජනතාවට පෙන්වා දීම රටේ බුද්ධිමතුන්ගේ මෙන්ම මාධ්‍යවල ද යුතුකමකි.

මට සිතෙන හැටියට මෙම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය යම් අයුරකින් බිඳවැටීමකට හේතු වන්නකි. විශ්වාසය බිඳවැටීම යනු අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද වන්නකි. එය සිදුවන්නේ මෙසේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීම සිදුවෙයි. මේ අධිකරණ දෙකටම ඊට පහළ අධිකරණ වන මහාධිකරණ හා දිසා අධිකරණ ඇතුළු විශේෂ අධිකරණවල දී ඇති තීන්දු පිළිබඳව අභියාචනා විභාග කිරීමේ බලය ඇත. ඒ බලය හැර අභියාචනාධිකරණයට ජනරජයේ පරමාධිකාරී ප්‍රහීණයන් නැත්නම් රිට් ආඥා නිකුත් කිරීමේ මූලික අධිකරණ බලය ඇත. සෑම විටකම රිට් ආඥා නිකුත් කිරීමක්ම සිදුවන්නේ රජයේ අමාත්‍යවරයෙකු, නිලධාරියෙකුට හෝ ආයතනයකට එරෙහිව ය. අමාත්‍ය මණ්ඩලයට පවා එරෙහිව රිට් ආඥා අභියාචනාධිකරණයෙන් නිකුත් වූ බව අපි දනිමු. රිට් අයදුම්පතක් පුරවැසියෙකු විසින් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ හෝ රජයේ හෝ කිසියම් නිලයකට හෝ ව්‍යවස්ථාපිත ආයතනයකට එරෙහිව ය. ඒ අනුව එබඳු සෑම ඉල්ලීමකම පෙත්සම්කරු වන්නේ පුරවැසියෙක් වන අතරම වගඋත්තරකරු වන්නේ රජයයි. එහිදී අධිකරණයේ කාර්යභාරය වන්නේ පුරවැසියාගේ පෙත්සම කරුණු සහිත නම් එය විභාග කර තීන්දුවක් දීමයි. පුරවැසියාගේ ඉල්ලීම සාධාරණ බව අධිකරණයට ඔප්පු වන්නේ නම්, ඔහුට අයුක්තියක් වී ඇති බව පෙනෙන්නේ නම් රජයට එරෙහිව තීන්දුව දීම සිදුවේ. යම් හෙයකින් එම පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති කරුණු ඔප්පු නොවන්නේ නම් හෝ රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන කරුණු වඩා සාධාරණ බව විනිසුරන්ට පැහැදිලි නම් පෙත්සම නිප්‍රභ කිරීමත් සිදුවේ. තවමත් මේ තීන්දු කාගේවත් බලපෑමට දුන්නා යැයි කිසිවෙක් කියන්නේ නැත. රජයට එරෙහිව රිට් ආඥා නිකුත් කිරීමට බලය සහිත අධිකරණයේ විනිසුරන්ට ආණ්ඩුවේ දේශපාලන බහුතර බලය යොදාගෙන වසර දෙකක සේවා දීර්ඝයක් ලබා දීම සිදු කළහොත්, ඉන්පසුව ඉහත පරිදි සාධාරණව නිප්‍රභ වන පෙත්සමක් ගැන වුවද ආණ්ඩුවට පක්ෂව තීන්දුව දුන්නේද යන සැකයක් පෙත්සම්කරු තුළ මතුවුණොත් එය අධිකරණය පිළිබඳ විශ්වාසයට බලපාන කරුණක් වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ද මෙසේම රජයට එරෙහිව පුරවැසියන් විසින් පවරන නඩු වේ. මෙහිදීද පාර්ශ්ව දෙක වන්නේ රජය හා පුරවැසියායි. රජය මෙහෙයවන ආණ්ඩුවේ ඇමතිවරුන්, ඇතැම් විට ජනාධිපතිවරයාට එරෙහිව පවා මේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඉඩ තිබේ. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වන ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සේවා දිගු ලබන විනිසුරන් විසින් විභාග කර ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ වාසියට ලබා දෙන අතිශය අපක්ෂපාතී තීන්දුවක් ගැන වුණත් එහි පෙත්සම්කරුවන්ට සැකයක් ඇතිවීමට ඉඩක් මෙයින් ඇති වුණොත් එය අධිකරණය පිළිබඳ විශ්වාසයට කැළලක් වේ. අධිකරණය පිළිබඳ සැකයක් යම් පාර්ශ්වකරුවෙකුගේ සිතේ ඇතිවීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානියකි. රජය හා මහජනයා අතර ඇතිවන ගැටලු විභාග කරන අධිකරණවල විනිසුරන්ට රජය විසින් හදිසියේ පනවන නීති මගින් විශේෂ වරප්‍රසාදයක් ලබා දීම නිසා, ඒ විනිසුරන්ගේ නිවැරදි තීන්දු තීරණයකින් වුවත් අවාසියක් සිදු වූ විට රජයෙන් ලබා දුන් විශේෂ වාසිය නිසා එම තීන්දුවට එළඹුණේ ද යන සැකය ජනතාව තුළ ඇතිවීමට ඉඩ ඇත. ඉන් සිදුවන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට හානියකි. මේ නිසා ජනතාව හා ආණ්ඩුව හෝ රජය අතර ඇතිවන ආරවුල් විසඳීමේ බලය ඇති ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවය ස්වාධීනව හා මහජන විශ්වාසය තහවුරු වන පරිදි සිදු කිරීමට කටයුතු සම්පාදනය කිරීම තමන් සතු මහජන බලය යොදා ගන්නවා විනා, අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය පලුදු වීමට ඉඩ ඇති දේ කිරීමට මහජන බලය යෙදීමේ අයිතිවාසිකමක් ආණ්ඩුවකට නැත.

යම් හෙයකින් සාධාරණ ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම නොකළ යුතුයැයි හෝ විනිසුරන්ට රජයේ විශේෂිත වරප්‍රසාද නොදිය යුතුයැයි මින් අදහස් කරන්නේ නැත. ඒ සියල්ල සිදු කළ යුත්තේ ඒ පිළිබඳව සාධාරණ සංවාදයකින් පසුවය. ඒ සඳහා නීතිඥ සංගම්, විශ්‍රාමික විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන්ගේ සංගම්, පොදු මහජනතාව ආදී කාගේත් අදහස් ලබා ගත හැකි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එහි නිර්දේශ මත ඒ සියල්ල කිරීමට කිසිදු බාධාවක් ඇත්තේ නැත.

දැනටමත් වසර හත අටක් ප්‍රමාද වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති පළාත් සභාවල මැතිවරණ පැවැත්වීම ඉක්මනින් කළ යුතු වුණත්, ආණ්ඩුව ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරගෙන අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් ඡන්ද ක්‍රමය තීරණය කිරීමට හා අවශ්‍ය නීති සම්පාදනයට කෝඳුරු තෙල් හත්පට්ටය හොයන්නාක් මෙන් කාලයක් ගනිද්දී, වඩා ඉවසිල්ලෙන් ප්‍රවේශමෙන් කළ යුතු අතිශය සංවේදී අධිකරණ ප්‍රතිසංස්කරණ අන්තනෝමතිකව කිසිවෙකුට සවන් නොදී හදිසියේ කිරීමට යාම අධිකරණයට සිදු කරන බලවත් අගතියක් බව නම් කණගාටුවෙන් සඳහන් කළ යුතු ය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමකි.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර