පොලිස් නිෂ්කාශන සහතික අයදුම්කරුවන්ට දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් අවස්ථාව සලසා දී ඇතැයි පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ සිය නිෂ්කාශන පරිගණක පද්ධතියේ අතශව්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පද්ධතිය යථාවත් වනතුරු අයදුම්කරුවන්ට ළඟම පොලිස් ස්ථානය වෙත ගොස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම, අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස එහි Digital Services යටතේ ඇති Clearance Certificate හි “Download Application” මගින් අදාළ අයදුම්පත බාගත කරගත හැකි බවත් සඳහන් කරයි.

සම්පූර්ණ කළ අයදුම්පත සමඟ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ උප්පැන්න සහතිකය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවත් සඳහන්.

ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ නම් අතර වෙනසක් පවතින්නේ නම්, විදේශ ගමන් බලපත්‍රයේ නමට නිෂ්කාශන සහතිකය ඉල්ලා සිටින අවස්ථාවක දිවුරුම් ප්‍රකාශයක පිටපතක්ද ඉදිරිපත් කළ යුතු බව පොලිසිය දැනුම් දෙයි.

මේ සඳහා අයදුම්පත් ගාස්තුව ලෙස රුපියල් 5,000ක මුදලක් අය කෙරෙන අතර, ඒ සඳහා මුදල් කුවිතාන්සියක් පොලිස් ස්ථානය මගින් ලබාදෙන බවද පොලිසිය සඳහන් කරයි.

මීට පෙර භාවිත කළ clearapplication@gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමද තවදුරටත් අවශ්‍ය නොවන බව පොලිසිය දැනුම් දෙයි.

එම ක්‍රමය ඔස්සේ මීට පෙර අයදුම් කළ අයදුම්කරුවන්ද ළඟම පොලිස් ස්ථානය හරහා ඉහත ක්‍රමවේදයට අනුව පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කරන ලෙස දැනුම්දී තිබේ.

විදෙස් ජාතිකයන්ට පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කිරීමේදී ඔවුන්ගේ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් අයදුම්පත් භාරදීමට හැකියාව පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

කාලීන පුවත්