
මේ දිනවල අපේ සිනමා ක්ෂේත්‍රයේ විශාල අවධානයක් යොමු වන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලයකට පසු ඔස්කාර් සම්මාන උළෙලට චිත්‍රපටයක් ඉදිරිපත් කරන්නට සූදානම් වීම යි. මෙම චිත්‍රපටය ඉදිරිපත් කෙරෙන්නේ හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය යන කාණ්ඩය යටතේ තරග කිරීම සඳහා ය. මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට යන්නේ වසර 17 කට පසු පළමු වතාවට යි. අවසන් වරට මේ වෙනුවෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කර තිබුණේ 2009 වසරේ ය. ඒ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Road from Elephant Pass නමැති සිනමාපටය යි. එය ඉදිරිපත් කෙරුණේ 2010 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙල සඳහා ය.
2003 වසරේ ද ශ්‍රී ලංකාව මෙම උළෙලට සිනමාපටයක් ඉදිරිපත් කළේය. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ වෑකන්ද වලව්ව (Mansion by the Lake) චිත්‍රපටය යි. නමුත් එම චිත්‍රපටවලට මුල් වටයෙන් එහාට යාමට හැකි වූයේ නැත.

මේ වසරේ ඉදිරිපත් කරන චිත්‍රපටය තවම තෝරා නැත. එය ඔස්කාර් උළෙල සඳහා ඉදිරිපත් කළ යුතු අවසන් දිනය සැප්තැම්බර් 30 වැනි දින යි. චිත්‍රපටය තෝරා ගැනීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව සාමාජිකයන් 9 දෙනෙකුගෙන් යුතු විශේෂ මණ්ඩලයක් පත් කර තිබේ. එම මණ්ඩලය වෙත චිත්‍රපට භාර දිය හැකි අවසන් දිනය සැප්තැම්බර් 20 වැනි දින යි. 2025 ඔක්තෝබර් 1 වැනි දිනට පසු තිරගත කෙරුණු චිත්‍රපට මේ සඳහා ඉදිරිපත් කළ හැකි වේ.
මීළඟ ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ 2027 මාර්තු 14 වැනි දින යි.
මේ වනවිටත් බොහෝ රටවල් ඉහත කී සම්මානය සඳහා චිත්‍රපට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. සැප්තැම්බර් 18 වැනි දින වනවිට රටවල් 66 ක් සිය නිල තෝරාගැනීම් ඉදිරිපත් කර තිබිණ. දකුණු ආසියාවේ රටවල් අතරින් ඒ වනවිට චිත්‍රපටයක් ඉදිරිපත් කර තිබුණේ නේපාලය පමණි. ඔවුන් ඉදිරිපත් කර තිබුණේ Elephants in the Fog නැමැති චිත්‍රපටයකි. මේ වසරේ කාන් චිත්‍රපට උළෙලට ද එය ඉදිරිපත් කර තිබූ අතර එහි දී ජූරි සම්මානයක් දිනා ගෙන තිබිණි.
සාමාන්‍යයෙන් චිත්‍රපට 90-95 ක් පමණ මෙම සම්මානය සඳහා තරග කරයි.
ඔස්කාර් ඉතිහාසය තුළ තවමත් කිසිදු දකුණු ආසියානු චිත්‍රපටයක් හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය සම්මානය දිනාගෙන නැත. ඒ නිසා ඉදිරියේදී යම් රටක් එය දිනාගතහොත් එය මෙම කලාපයටම විශේෂ ජයග්‍රහණයක් වනු ඇත.

කිහිප අවස්ථාවකම මේ කලාපයේ රටවල නිර්මාණ මෙම සම්මානය සඳහා නිර්දේශ විය. එනම් අවසන් චිත්‍රපට පහට ඇතුළත් විය. ඔස්කාර් උළෙලේ තරගකාරීත්වය ගැන සලකන කළ එය වුව ද සැලකිය යුතු ජයග්‍රහණයකි.
අවසන් වරට මේ ආකාරයෙන් නිර්දේශ වූයේ භූතානය විසින් ඉදිරිපත් කරන ලද Lunana : A Yak in the Classroom නැමැති සිනමා නිර්මාණය යි. පාවෝ දෝර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය භූතානයේ පිටිසර කඳුවැටියක අති දුෂ්කර ඉසව්වක පිහිටා ඇති කුඩා පාසැලකට මාරුවක් ලබා යන තරුණ ගුරුවරයකුගේ චරිතයක් කේන්ද්‍ර කරගත් නිර්මාණයකි. උගියෙන් නැමැති මේ ගුරුවරයාට මෙම මාරුව ලැබෙන්නේ ඔහු ගුරු වෘත්තියෙන් ඉවත් වී ගායකයකු ලෙස වැඩිපුර මුදල් හම්බ කිරීම සඳහා විදේශ රටකට යාමට සැලසුම් කරමින් සිටින අතර ය.
කෙසේ නමුත් උගියෙන්ට ලුනානා නැමැති කඳුකර ගම්මානයට මාරු වීම ලැබුණු විට ඔහුට එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වේ. අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඔහු ලුනානා නැමැති ගම්මානයට ලඟා වේ.
එහි සිසුන්ට උගැන්වීමට එන උගියෙන් එලෙස උගන්වන අතර දරුවන්ගෙන් සහ ගමේ අහිංසක මිනිසුන්ගෙන් ද බොහෝ දේ ඉගෙන ගනියි. සොබා දහම සමග ඒ මිනිසුන්ගේ සම්බන්ධය, ඔවුන්ගේ අල්පේච්ඡ සරළ දිවි පෙවෙත, ඒ මිනිසුන්ගේ මානුෂීය බැඳීම් ආදී බොහෝ දේ ඔහුට දැනෙන්නට පටන් ගනියි.
කෙසේ නමුත් පළමු පාසැල් වාරය අවසන් වෙත්ම උගියෙන්ට ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් උදා වේ.

මේ ආකාරයෙන් විකාශනය වන Lunana: A Yak in the Classroom ඉතා අපූරු රසයක් ලබා දෙන සොඳුරු නිර්මාණයක් ලෙස හැඳින්විය හැක්කකි.
එම චිත්‍රපටය ඔස්කාර් උළෙලේ හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය සම්මානය සඳහා නිර්දේශ වූයේ 2022 වසරේ යි. ඊට පෙර මෙම කලාපයෙන් ඉන්දියාව ඉදිරිපත් කළ චිත්‍රපට තුනක් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි. ඒ මදර් ඉන්ඩියා (1957), සලාම් බොම්බේ (1988) සහ ලගාන් (2001) යන චිත්‍රපට යි.
මෙම සම්මානය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ අදාල රටවල නිපදවෙන විශිෂ්ටම චිත්‍රපට බව අමුතුවෙන් කිව යුතු නොවේ. විවිධ ජාත්‍යන්තර සම්මාන උළෙලවල දී සම්මාන දිනූ චිත්‍රපට ද ඒ අතර වේ. මේ නිසා ලංකාව ද හොඳ තරගයක් දිය හැකි චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුය.

පසුගිය වසරේ මෙම සම්මානය සඳහා නිර්දේශ වූ චිත්‍රපට පහ මෙසේ ය:
Sentimental Value (නෝර්වේ)
The Secret Agent (බ්‍රසීලය )
It was Just an Accident (ප්‍රංශය )
Sirat (ස්පාඤ්ඤය)
The Voice of Hind Rajab (ටියුනීසියාව)
මේ අතරින් සම්මානය හිමි වූයේ නෝර්වේ ඉදිරිපත් කළ Sentimental Value චිත්‍රපටයට යි.
එම වසරේ දකුණු ආසියානු රටවල් ඉදිරිපත් කළ චිත්‍රපටවල නම් පහත දැක් වේ.
A House Named Shahana (බංග්ලාදේශය )
I, the Song (භූතානය)
Homebound (ඉන්දියාව)
Anjila (නේපාලය)
සෑම වසරකම ඉදිරිපත් වන චිත්‍රපට අතරින් 15 ක් දෙවැනි වටය සඳහා තෝරාගනු ලැබේ. ඉන්පසු ඒ අතරින් 5 ක් අවසන් වටයට තෝරාගනු ලබයි.
මෙවර දෙවැනි වටයට තේරෙන චිත්‍රපට දෙසැම්බර් 15 වැනි දින ද, අවසන් වටයට තේරෙන චිත්‍රපට ජනවාරි 21 වැනි දින ද ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
මාර්තු 14 වැනි දින ඔස්කාර් උළෙල පැවැත්වෙන්නේ සුපුරුදු පරිදිම ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේ යි.
නිහාල් පීරිස්