ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය හා පුනර්ජීවනය වෙනුවෙන් දීර්ඝකාලීන මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවකු හා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වූ ‘සින්ග්ලංකා’ ආයතනයේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.දේශීය සංගීතයේ ගුණාත්මක නිර්මාණ සඳහා වේදිකාවක් සකස් කිරීමේදී සින්ග්ලංකා ආයතනයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. 1980 දී ආනන්ද ගනේගොඩ මහතා විසින් ආරම්භ කළ එම ආයතනය පටිගත කිරීමේ මැදිරියක් ද සහිතව ක්‍රියාත්මක වූ අතර, ප්‍රවීණ මෙන්ම නවක ගායක ගායිකාවන්ටද සිය නිර්මාණ ජනතාව අතරට ගෙන යාමට අවස්ථාව සැලසීය.සින්ග්ලංකා ආයතනය හරහා ශ්‍රී ලාංකේය සංගීතයේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් හා සංගීතඥයන් රැසකගේ නිර්මාණ ජනගත වූ අතර, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී ඇතුළු කලාකරුවන්ගේ සංගීත උරුමය සංරක්ෂණය කිරීමටද එම ආයතනය දායක වී තිබේ. 2026 වසරේ සින්ග්ලංකා ආයතනයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් අමරදේවයන්ගේ Amara Gee Sara සහ නන්දා මාලිනියගේ Tharaka As ඇල්බම් වයිනල් තැටි ලෙස නැවත නිකුත් කිරීමද සිදු විය. එහිදී සින්ග්ලංකා නිර්මාතෘ සභාපති ලෙස ආනන්ද ගනේගොඩ මහතා සඳහන් කර තිබේ. සින්ග්ලංකා ආයතනය ආරම්භ කිරීමේ අරමුණ වූයේ කලාකරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කරමින් ජීවිකාව පවත්වාගෙන යා හැකි අවකාශයක් නිර්මාණය කිරීම බව ආරියවංශ මහතා පසුකාලීන සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ. එමෙන්ම සින්ග්ලංකා ආයතනය ප්‍රවීණ කලාකරුවන්ගේ නිර්මාණ පමණක් නොව නව පරපුරේ ගායන ශිල්පීන්ගේ නිර්මාණ සඳහාද අවස්ථා සලසා තිබූ බව පැරණි සංගීත ක්ෂේත්‍රය පිළිබඳ ලිපිවල සඳහන් වේ. එමඟින් 1980 දශකයේ ශ්‍රී ලංකාවේ කැසට් සංගීත කර්මාන්තය වර්ධනය වීමටද එම ආයතනය දායක වී ඇත.විශේෂයෙන්ම වාණිජ අරමුණු ඉක්මවා ගිය ගුණාත්මක සංගීත නිර්මාණ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදීම ආනන්ද ගනේගොඩ මහතාගේ මෙහෙවරේ වැදගත් ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.ශ්‍රී ලාංකේය සුභාවිත ගීතය ජනතාව අතර රැකගැනීම, ප්‍රවීණයන්ගේ නිර්මාණ සංරක්ෂණය කිරීම සහ නව පරපුරේ නිර්මාණකරුවන්ට අවස්ථා ලබාදීම සඳහා ඔහු ඉටු කළ මෙහෙවර හේතුවෙන් ආනන්ද ගනේගොඩ මහතාගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට සැලකිය යුතු අහිමිවීමක් බව කලා ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙති.

කාලීන පුවත්