චීවර අර්බුදය: ජනපති හදිසියේ නා හිමිවරුන් හමුවීමේ යටි අරමුණ – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපති සමාව ශුන්‍ය යැයි තීන්දු වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව, ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් අදාළ නෛතික කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට දුන් නියෝගය මත බන්ධනාගාරයට භාර දී එම සිද්ධිය හමාර කරන්නට බලධාරීන්ට හැකියාව තිබුණි. නමුත් ඒ පිටුපස තවත් ව්‍යාපෘතියක් තිබූ බව දැන් පැහැදිලිය. එහි ඊළඟ කොටස වී තිබුණේ උන්වහන්සේගේ චීවරය ඉවත් කර මහජන දැක්මකට ඉදිරිපත් කර “ඔන්න ඥානසාරගේ කෙරුම් අපි ඉවර කළා” යන පණිවුඩය ජනගත කර, සරලව කිවහොත් “කබ්බන් චූන් කිරීම” බව පෙනේ.

ඊට පසුබිම සැකසීමට යොදා ගත්තේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාය. ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීමේදී චීවරය ඉවත් කර ජම්පරය ඇන්දවූ බවට වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය විශේෂ ප්‍රවෘත්තියක් ලෙස මාධ්‍යයට ගෙනෙන්නේ, පසුදින කරන්නට සැලසුම් කළ මහජන දැක්ම වඩාත් ආකර්ෂණීය කිරීමටය. මේ පුවත් ඇසූ කාගේත් කුතුහලය ඇවිස්සී, ජම්පරයෙන් සැරසවූ ඥානසාර හිමියන්ගේ රුව රටපුරා ප්‍රචාරය වී තමන්ට සෑහෙන ලකුණු ප්‍රමාණයක් එකතු වනු ඇතැයි එහි සංවිධායකයන් සිතන්නට ඇත.

ඒ අනුව පසුදින ඥානසාර හිමියන්ව අධිකරණයේ වෙනත් නඩුවකට ඉදිරිපත් කළේ සුදු සරම හා ටියුනික් කොලර් සහිත කමිසය අන්දවාගෙනය. මෙසේ කළේ ඥානසාර හිමියන් අයත් සංඝ සභාවේ අනුනායක නාහිමියන්, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම ශාසනික කාර්යයක් මිස රාජ්‍ය නීතියේ කාර්යයක් නොවන බව පෙන්වා දී තිබියදීය. ඥානසාර හිමියන්ගේ රුව ඒ අන්දමින් දුටු ආණ්ඩුවේ බැලයන් නොවූ මහජනතාව ශෝකයෙන් කම්පිතව, කෝපයෙන් දැවෙන්නට වූවායැයි කීවාට වරදක් නැත.

මේ රටේ බොදු මහජනතාව චීවරය අත්හැර ගිහි ඇඳුමින් සැරසුණු භික්ෂූන් මීට පෙර ඕනෑ තරම් දැක ඇත. එසේ වුවද, ඇසූ දුටු කාලයක රාජ්‍ය බලයෙන් චීවරය ඉවත් කළ ප්‍රකට බෞද්ධ භික්ෂුවකගේ රුව මින් පෙර ඔවුන් දැක තිබුණේ නැත. මේ නිසාම මහජනතාවත් භික්ෂූන් වහන්සේලාත් අතිශය සංවේදී වූහ. එම සංවේදී බව විරෝධයක් බවට පත්වී එය ආණ්ඩුව කෙරෙහි කේන්ද්‍රගත වන්නට වූයේ ආණ්ඩුවේ ගැත්තන්ගේ චූන් දෙපිටින් යවමිනි.

මේ විරෝධයේ ප්‍රමාණය කොතරම්ද යත්, මුලදී සමාජ මාධ්‍යයේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රශස්ති ලියන්නන් පවා මුළුමනින්ම ගොළු කරවීමට සමත්වීමෙන් එය පෙනුණි. හවස් වන විට, වෙනදට භික්ෂූන් සිවුරු රඳවන ලෙස හඳුන්වන ඇතැම් ආණ්ඩුවේ ප්‍රශස්තිකරුවෝ හිටිහැටියේම සැදැහැවත් බෞද්ධයින් බවට පත්වී, බුදුරජාණන් වහන්සේගේ අනුගාමික සංඝරත්නය මෙසේ මහා මාර්ගයේ ප්‍රසිද්ධියේ විරෝධතාවල නියැලීම සුදුසු නැතැයි ලියමින්, සිය සුපුරුදු සටන්කාමීත්වය අතහැර අතිශය ධාර්මික ස්වරූපයකින් පසුබැස තිබෙනු දක්නට ලැබුණි.

මේ අතර මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වීය මහ නායක හිමිවරුන් හා අමරපුර රාමඤ්ඤ නිකායන්හි මහ නාහිමිවරුන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක් ලියමින්, ඥානසාර හිමියන්ගේ චීවරය දැරීම පිළිබඳව තීරණය කිරීම ශාසනික කර්තව්‍යයක් මිස රාජ්‍ය නීතියේ කාර්යයක් නොවන බවත්, එම නිසා උන්වහන්සේට චීවරය දරා සිටීමට ඉඩ දිය යුතු බවත් අවවාදාත්මකව දන්වමින් ඉල්ලීමක් කළෝය.

මහ නාහිමිවරුන්ගේ ඉල්ලීමක් ලැබුණු පසු, එම ඉල්ලීම ලද රාජ්‍ය පාර්ශ්වය ඊට ප්‍රමුඛස්ථානය දී පිළිතුරක් යැවීම කළ යුතුය. එහෙත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූ බවක් දැනගන්නට නැත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙනුවට ජනාධිපතිතුමාම ඉදිරිපත් වී ඒ මහ නාහිමිවරුන් සිව්දෙනාගේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් සූදානම් කළේ දඩිබිඩියේය.

මීට පෙර ඔය මහ නාහිමියන් සිව්නමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය නුසුදුසු බවට ජනාධිපතිතුමාටම ලිපියක් යොමුකළ වෙලාවේ නිකමටවත් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර නොදැක්වූ ජනාධිපතිතුමා, මෙවර බන්ධනාගාර කොමසාරිස්ට මහ නාහිමිවරුන් යැවූ ලිපියට වහා ප්‍රතිචාර දක්වා සාකච්ඡාවකට ඇරයුම් කිරීමෙන් පෙනෙන්නේ එදා නොතිබුණු පීඩනයක් හා කලබලයක් මෙදා ජනාධිපතිතුමාට ඇති වූ බවය.

ඒ පීඩනයට හා කලබලයට හේතු වූයේ බුරුබුරා නැගුණු භික්ෂූන් වහන්සේලාගේ හා මහජනතාවගේ විරෝධයයි. එසේ ජනාධිපතිවරයා කොතරම් කලබල වුණත්, ඥානසාර හිමියන් අයත් වූ කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී සංඝසභාවේ මහ නායක හිමියන්ගේ නියෝජිතයෙකුට ආරාධනා නොකිරීම ප්‍රවේසම් සහගත විය යුත්තකි.

මුලින්ම ඥානසාර හිමියන්ගේ චීවරය දැරීමේ අයිතිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී ලිපියක් යැව්වේ කෝට්ටේ සංඝ සභාවේ අනුනායක, හිටපු මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක නාහිමියෝය. උන්වහන්සේගේ දැනුම්දීම නොතකා ඥානසාර හිමියන්ගේ සිවුර බලෙන් ඉවත් කර සරමක් හා බැනියමක් අන්දවා මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සිදුවීම ගැන, විධායකයේ ප්‍රධානියා (එනම් රාජ්‍යයේ නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන ප්‍රධානියා) ලෙස අඩුම ගණනේ ප්‍රසිද්ධියේ කණගාටුවවත් පළ කිරීම කළ යුතුව තිබුණි.

මේ වන තෙක් එසේ නොකළේ මෙය හුදෙක් බන්ධනාගාර ප්‍රධානියා තමන්ගේ මට්ටමින් ගත් තීරණයක් නොවන නිසා විය යුතුය. තමන්ගේ එකඟත්වය මත ගත් තීරණයක් ගැන කණගාටුව පළ කිරීම කවර පුද්ගලයෙකුට වුවත් මානසිකව පහසු කාර්යයක් නොවේ. එමෙන්ම කෝට්ටේ සංඝ සභාවේ මහ නාහිමියන්ගේ නියෝජිතයෙකුට ආරාධනා නොකළේත්, කොටපිටියේ අනුනායක හිමියන් එවූ ලිපිය නොසලකා ක්‍රියා කිරීම සාධාරණීකරණය කරන්නට තරම් හේතු ප්‍රකාශ කළ නොහැකි වූ නිසා වන්නටද පුළුවන.

ඉකුත් 08 වැනි දා ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවේදී සරලව කියා සිටියේ ගලගොඩඅත්තේ හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුම අන්දවන්නට සිදුවුණේ බන්ධනාගාර නීතියට අනුව බවය. බන්ධනාගාර නිලධාරීන්ට එසේ කරන්න සිදුවුණේ බන්ධනාගාර නීතියේ භික්ෂූන් වහන්සේලා අරබයා ක්‍රියා කළ යුතු අන්දම එතරම් දුරට සඳහන් නොවන බැවින් යැයිද, භික්ෂූන් වහන්සේලා වරදකට දඬුවම් සඳහා බන්ධනාගාරගත කළ පසු විවෘත සමාජයට ගෙන ඒමේදී චීවරය පෙරවීමට ඉඩ දිය යුතු බව බන්ධනාගාර නීතියේ විශේෂයෙන් සඳහන් නොවන බවද ජනාධිපතිතුමා පවසා සිටියේය.

බන්ධනාගාර නීතිය සකසා ඇත්තේ 1877 දී බවත් පවසා, එදා භික්ෂූන් වහන්සේලා ගැන මේ නීතියේ විශේෂයෙන් සඳහන් නොකළේ “භික්ෂූන් වහන්සේලා වැරදි නොකරනු ඇතැ”යි සුද්දන් සිතූ නිසා වන්නටද පුළුවන් යැයි කියමින් පොඩි කෝචොක් කිරීමක් දැමීමටද එතුමා අමතක කළේ නැත.

එමෙන්ම එතුමා නීතිය යනු වෙනස් විය යුතු එකක් බවත්, එසේ වුවත් තමන්ගේ කැමැත්ත නීතිය බවට පත්වනවාට කැමැත්තක් නැති බවත්, පුද්ගලයන් ඉලක්ක කර නීතිය වෙනස් කරන ලෙස නියෝග නිකුත් කිරීමේ අදහසක් තමාට නැති බවත් පවසා බන්ධනාගාර නීතියේ අවශ්‍ය සංශෝධනයන් යෝජනා කිරීමට කමිටුවක් පත්කරන බවත් පැවසීය. සාකච්ඡාවට යැයි ආරාධනා කර වඩම්මාගත් හිමිවරුන් කළ කතාබහ ගැන නම් කිසිදු සඳහනක් නැත. නමුත් උන්වහන්සේලා බණ අසන්නාක් මෙන් මේ කතාව නිහඬව අසා සිටියා පමණක් යැයි මම නම් කල්පනා කරන්නේද නැත.

මේ සාකච්ඡාවෙන් පසු අද දින ආණ්ඩුවේ ප්‍රශස්තිකරුවන් සමාජ මාධ්‍යයේ වීරයා කර ඇත්තේ ජනාධිපතිතුමාවය. “මගේ කැමැත්තට නීති හදන්නේ නෑ”, “නීතිය යනු කාලීනව වෙනස් විය යුතු දෙයකි”, “නීති හදන කාලයේ භික්ෂූන් වැරදි කරනු ඇතැයි සිතුවේ නෑ වෙන්නැති” ආදී මාතෘකා ඔස්සේ හාමුදුරුවන්ටත් කරුණු කියාදුන් ජනාධිපතිතුමා ගැන වර්ණනාවන් පටන්ගෙන ඇත.

නමුත් ඔවුන් මේ කරන්නේ ඊයේ සමාජයෙන් මතුවුණු දැවැන්ත විරෝධය හමුවේ දුර්මුඛ වූ ගැත්තන්ව යළි පිබිදවීම විය හැකිය. ඥානසාර හාමුදුරුවන්ගේ කෙරුවාව ඉවරම කළා කියා චූන් එකක් ගන්න ගොස් පොළොවටම සමතලා වුණු ගැත්තන් ඔළුව උස්සා ගන්න කරන දේ ගැන ගැටලුවක් අපට නැත. නමුත් ජනාධිපතිතුමා එහිදී පළ කළ අදහස් ගැන නම් අපේ අදහස සටහන් කළ යුතුව ඇත.

ඥානසාර හාමුදුරුවන් බන්ධනාගාරයේදී ජම්පරය ඇන්විය යුතුද නැද්ද යන්න ගැන බන්ධනාගාර නීතියට අනුව මුලින්ම තීරණය කළ යුතුව තිබුණි. එහිදී නීතියේ භික්ෂූන් අරබයා ක්‍රියා කළ යුතු අන්දම පැහැදිලිව සඳහන්ව නැතැයි ජනාධිපතිතුමා කියන බැවින් පූර්වාදර්ශ සලකා බැලිය හැකිව තිබුණි. මීට පෙර උන්වහන්සේ වරදකරුවෙකු ලෙස බන්ධනාගාරගත වුණේ 2018 වසරේදී පමණි. ඒ උන්වහන්සේට නඩු දැමූ යහපාලන ආණ්ඩුව යටතේමය.

එදා උන්වහන්සේ බන්ධනාගාරයේ ජම්පරය ඇන්දේ නම් මෙදා එයම අනුගමනය කළ හැකි පූර්වාදර්ශයක් විය හැකිව තිබුණි. නමුත් එදා උන්වහන්සේට කිසිවෙක් ජම්පරය අන්දවන්න ආවේ නැත. එසේ වුවත් උන්වහන්සේ සිටියේ හිරේය. ඔය කාලයේ සිරගෙදර රැඳවියන්ට මානසික උපදේශන සේවාව ස්වේච්ඡාවෙන් කළ මගේ ගෞරවනීය මිතුරෙකු හා රෙපරමාදු සභාවේ පූජකතුමෙකු වූ වීරසිංහ පියතුමා මා සමඟ පැවසුවේ, තමන් බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන් සමඟ මිත්‍ර සම්බන්ධතාවයෙන් කතාබහ කරන බවය.

වීරසිංහ පියතුමා උපදේශනයේ යෙදෙන අයෙකු බැවින් ඒ කතාබහ මොනවාදැයි මා ඇසුවේ නැත. මා ඇසුවේ “ඥානසාර හාමුදුරුවෝ සිරගෙයි ඉන්නේ ජම්පරයෙන්ද?” කියාය. “නෑ පුතා, උන්වහන්සේ සිවුර පොරවගෙන ඉන්නේ. උන්වහන්සේ හරිම බුද්ධිමත් කෙනෙක්. අපි බොහෝ කරුණු ගැන සාකච්ඡා කරනවා” කියා මට පිළිතුරු ලැබුණේය. ඒ නිසා උන්වහන්සේ සිරේදී ජම්පරය එදා ඇන්දේ නැති බවට මට සාක්ෂිකරු වුණේ වීරසිංහ පියතුමාය. වීරසිංහ පියතුමා කීවේ සත්‍ය බව මට හොඳටම විශ්වාසය. එසේ නම් එදා නොඇඳි ජම්පරයක් උන්වහන්සේට අන්දවන්න මෙදා තිබුණු අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි නොකළේ ඇයිදැයි දන්නේ නැත.

ඊළඟට විමසිය යුත්තේ බන්ධනාගාරයෙන් එළියට ඥානසාර හිමියන්ව රැගෙන යාමේදී අඳින ඇඳුම පිළිබඳ තීරණයයි. එහිදී පොදු රෙගුලාසියේ ඇත්තේ බන්ධනාගාරය තුළ අඳින ඇඳුම නොවන, බන්ධනාගාරගත වීමට පෙර ඇඳි ඇඳුමට සමාන සිවිල් ඇඳුමක් කියාය. භික්ෂූන් වහන්සේලාගේ සිවිල් ඇඳුම චීවරයයි. එය සාමණේර භික්ෂූන් වහන්සේගේ සිට මහනායක නාහිමියන් දක්වා කාටත් පොදුය. භික්ෂු සමාජයේ නායකත්වය අඟවන තරු, පටි ක්‍රමයක් සිවුරේ නැත. ඒ සඳහා විජිනිපතක් යොදා ගැනීම නායක පදවි ප්‍රධානෝත්සවවලදී සිදුවේ.

ඒ නිසා භික්ෂූන් වහන්සේලාගේ චීවරය නිලයක් අඟවන නිල ඇඳුමක් නොවේ. එබැවින් ඥානසාර හිමියන් උසාවියට ඉදිරිපත් කිරීමේදී චීවරයෙන් ඉදිරිපත් කිරීමට ඒ පොදු රෙගුලාසිය බාධාවක් නොවේ. ඒ බව ජනාධිපතිතුමා දැන සිටියේ නැත්නම් එය ජනාධිපති ලේකම්ගේත් අධිකරණ ඇමතිගේත් වරදය.

යම් හෙයකින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට නීතිමය අවශ්‍යතාවයක් තිබුණේ නම්, එය කළ හැකිව තිබුණේ කෝට්ටේ කල්‍යාණ ධර්මශ්‍රී සංඝ සභාවේ මහ නායක මහාහිමියන්ගේ නියමයෙන් පමණි. මීට අදාළ රාජ්‍ය නීතිය බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත වේ. එම ආඥා පනතේ 41(2) වගන්තිය අනුව සාමණේර භික්ෂුවක් පැවිදි කර මාසයක් ගත වීමට පෙර, එසේ පැවිදි කළ ආචාර්යවරයා විසින් අදාළ සාමණේර භික්ෂුවගේ විස්තර පිටපත් දෙකකින් යුතුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට යැවිය යුතුය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඒ පිටපත් දෙකෙන් එකක් අදාළ සාමණේර හිමිනම අයත් නිකායේ මහනායක හිමියන්ට යැවිය යුතුය. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ළඟත් අදාළ නිකායේ මහ නාහිමි ළඟත් සාමණේර භික්ෂූන් ලියාපදිංචිය සටහන් වේ. උපසම්පදා භික්ෂූන් තමන් උපසම්පදාව ලබා මසක් තුළ ආකෘති පත්‍රයක් මඟින් පිටපත් දෙකකින් යුක්තව තමන්ගේ විස්තර බෞද්ධ කටයුතු කොමසාරිස්ට භාරදිය යුතුය.

එහිදීද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එක් පිටපතක් අදාළ නිකායේ මහ නාහිමියන්ට යැවිය යුතුය. ඒ අනුව උපසම්පදා භික්ෂූන්ගේ ලියාපදිංචි ලේඛන දෙකක් බෞද්ධ කටයුතු කොමසාරිස් ළඟත් අදාළ මහ නාහිමිවරුන් ළඟත් පවත්වාගෙන යයි. මේ නාම ලේඛන දෙකේම සංශෝධන සිදු කිරීම අදාළ මහ නාහිමිවරුන්ට පනතින් පවරා ඇති අතර, ඒ අනුව උපසම්පදා ලේඛනයෙන් හා සාමණේර ලේඛනයෙන් නමක් ඉවත් කිරීමේ බලය ඇත්තේ අදාළ මහ නාහිමියන්ටය.

තමන් විසින් කරනු ලබන සංශෝධනය බෞද්ධ කටයුතු කොමසාරිස්ට දැන්වූ පසු, ඔහු තමා භාරයේ ඇති ලේඛනයද මීට අනුරූපව සංශෝධනය කළ යුතු බව පනතේ දැක්වේ. ඒ අනුව ඥානසාර හිමියන්ගේ චීවරය නීත්‍යානුකූලව ඉවත් කිරීමට නම් උන්වහන්සේගේ නම උපසම්පදා භික්ෂු නාම ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණයක්, කෝට්ටේ සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් විසින් ගැනීම අනිවාර්යය.

එබඳු භික්ෂුත්වයෙන් ඉවත් කිරීමේ තීරණ ගැනීමටද සම්මත ක්‍රමවේද පවතී. පළමුවෙනි පරාක්‍රමබාහු රජ සමයේදී ධර්මධර නායක භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත විනිශ්චය සභා ඇති කර, එම සභාවලට ඉවත් කළ යුතු යැයි හඳුනාගත් භික්ෂූන් කැඳවා කරුණු විමසා ඔවුන් භික්ෂුත්වයෙන් ඉවත් කළ යුතුද යන්න තීරණය කළ බව ඉතිහාසයේ සඳහන්ය. මහ පරාක්‍රමබාහු වැනි බලවත් රජවරුන් පවා බෞද්ධ භික්ෂුවක් භික්ෂුත්වයෙන් ඉවත් කිරීමේ තීරණය ගැනීම මහා සංඝරත්නය ලවා කරවීමට වග බලාගත් බව මින් පැහැදිලි වේ.

මෙරට පාලනය කළ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමිකයන් වූ බ්‍රිතාන්‍යයන්ද කිසි දිනක භික්ෂූන් සතු බලය රාජ්‍ය නිලධාරීන් ලවා කරවන්න ගියේ නැත. ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය සඳහා 1911 දී මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරුන් පත්කරගෙන එය අනුමත කිරීම සඳහා ආණ්ඩුවට ඉදිරිපත් කළ විට, ශ්‍රී පාදස්ථානයේ අධිපති තෝරාගැනීම සබරගමුවේ මල්වතු පාර්ශ්වීය භික්ෂූන්ට මිස රජයට අයත් කාර්යයක් නොවන බව දන්වා, මල්වතු මහ නාහිමිවරුන්ගේ ශ්‍රී පාද අධිපති පත්වීම අනුමත කිරීම ප්‍රතික්ෂේප කළේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවය.

ඒ නිසා නීතියෙන් හා බෞද්ධ ශාසනික සම්ප්‍රදායෙන් කෝට්ටේ පාර්ශ්වයේ මහනායක හිමියන් සතු බලය බන්ධනාගාර කොමසාරිස් බලෙන් පරිහරණය කර අවුලක් හැදූ පසු, ඊට සුදු හුණු ගෑමට වඩා නීතිගරුක පාලකයින් නම් කළ යුත්තේ වහා ඒ වරද නිවැරදි කර මහා සංඝරත්නයෙන් සමාව අයැදීමය.

අවසාන වශයෙන්, 1877 බන්ධනාගාර ආඥා පනත සම්මත කරන විට භික්ෂූන් වහන්සේලා ගැන විශේෂයෙන් එහි සඳහන් නොකළේ ඔවුන් වැරදි නොකරනු ඇතැයි සිතා වන්නට ඇති බවට ජනපතිවරයා කළ ප්‍රකාශය ගැන කිව යුත්තේ, භික්ෂූන් වහන්සේලා රාජ්‍ය නීතියට එරෙහිව ක්‍රියාත්මක වූ බව ඒ වන විට ඉතාම හොඳට ඒ බ්‍රිතාන්‍ය පාලකයින් දැනසිටි බවය.

1818 දී භික්ෂූන් වහන්සේලා රාශියක් සිරගත කිරීමට රජයට සිදුවූ අතර, සුප්‍රකට ඉහගම හාමුදුරුවන්ට මරණ දණ්ඩනය නියම කර සිරගත කර තබාගෙන ජීවිත සමාව දී රටින් පිටුවහල් කරන ලදී. වෙල්ලස්සේ පොතුබද්ධන රජමහා විහාරಾධිපති නාපේ රේවත හිමියන්, ටැම්ගොඩ රජමහා විහාරಾධිපති ඊතණවත්තේ මහ තෙරුන්නාන්සේ, මැදගම් තෙරුන්නාන්සේ, වාරියපොළ මහ තෙරුන්වහන්සේ ඇතුළු නායක මට්ටමේ ස්වාමීන් වහන්සේලාද 20 නමක්ද යාපනේ සිරගත කරනු ලැබූහ.

1848 දී කුඩාපොළ හාමුදුරුවන් මරණ දණ්ඩනයට ලක්කළේ සිවුර සමඟය. කුඩාපොළ හාමුදුරුවන්ට දුන් මරණ දඬුවමද ඇතුළුව 1848 කැරලි මර්දනය කළ කෲර ආකාරය පිළිබඳව එදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දිනක විවාදයක්ද සිදුකර ඇති නිසා, 1877 බන්ධනාගාර නීතිය ගෙන එද්දී භික්ෂූන් වහන්සේලා සිරගත නොවනු ඇති බවට එදා පාලකයින් සිතුවේය යන්න අනුමානයක් ලෙසවත් නොකිව යුතු හිස් ප්‍රලාපයකි.

මේ අනුව ජනාධිපතිතුමාගේ මෙම රැස්වීම ආණ්ඩුවට එරෙහිව මතුවුණු ප්‍රබල විරෝධය තාවකාලිකව යටපත් කර ගැනීමට අනුගමනය කළ හදිසි හානිපූර්ණ ක්‍රියාවක් ලෙස විනා, අර්බුදයට හේතූන් ගැඹුරින් සොයා බලා ඊට තිරසාර විසඳුමක් සැකසීමට කළ අවංක උත්සාහයක් ලෙස කෙසේවත් සැලකිය නොහැකි බව සටහන් කරමි.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර