එල්නිනෝ බලපෑමෙන් ඉදිරි සතියේ තද වැසි අවදානමක්

එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැළීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පවසයි.ඒ අනුව ඉදිරි කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලීය කැලඹිලි තත්ත්ව වර්ධනය විය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.මෙවැනි කාලගුණික තත්ත්වයක් යටතේ තද වැසි හේතුවෙන් ගංවතුර හා නායයෑම් වැනි ආපදා ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, කාලගුණ අනාවැකි සහ නිල නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.විශේෂයෙන් පහත්බිම්වල ජීවත් වන ජනතාව ගංවතුර අවදානම පිළිබඳවත්, කඳුකර ප්‍රදේශවල සහ නායයෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව නායයෑම් ලක්ෂණ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. අධික වර්ෂාව පවතින අවස්ථාවල ජලයෙන් යට වූ මාර්ග හරහා ගමන් කිරීමෙන් වැළකී සිටීමත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වේ.

කාලීන පුවත්