
ජපානය මීට ටික දිනකට පෙර ඓතිහාසික අභ්යවකාශ ගමනක් දියත් කළේය. එරට අභ්යවකාශ ගවේෂණ ආයතනය (JAXA) විසින් දියත් කරන ලද මෙම සුවිශේෂී මෙහෙයුම නම් කර තිබුණේ MMX ( Martian Moons eXploration) යනුවෙනි.
පසුගිය 20 වැනි දින ජපානයේ තනෙගාෂිමා අභ්යවකාශ මධ්යස්ථානයෙන් දියත් කෙරුණු මෙම ගමනෙහි ගමනාන්තය වන්නේ අඟහරු ග්රහයා වටා ගමන් කරමින් ඇති චන්ද්රයෙකි. එම චන්ද්රයාගේ නම ෆෝබෝස් (Phobos) ය.
ෆෝබෝස් කරා යන මේ ගමන කි.මී. මිලියන 225 ක් (සැතපුම් මිලියන 140 ක්) දුර ගෙවා යන දීර්ඝ ගමනකි. ඒ සඳහා මාස 10 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව සඳහන් වේ.
අඟහරු ග්රහයාට චන්ද්රයන් දෙදෙනෙකු සිටියි. අනෙක් චන්ද්රයාගේ නම ඩීමෝස් ය.
ජපානය ෆෝබෝස් වෙත යානයක් යවන්නේ එයින් පස් සහ වැලි සාම්පල නැවත පෘථිවිය වෙත රැගෙන ඒම සඳහා යි. මෙයට පෙර කිසිදු අවස්ථාවක අඟහරු ග්රහයාගෙන්වත්, එහි චන්ද්රයකුගෙන්වත් මේ ආකාරයෙන් සාම්පල පෘථිවියට ගෙනැවිත් නැත. ඒ නිසා ජපානයේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉතිහාස ගතවන මෙහෙයුමක් වෙයි.
ඈත අතීතයේ අඟහරුගේ චන්ද්රයන් ඇති වූයේ කෙසේද යන අබිරහස විසඳා ගැනීම මේ සාම්පල රැගෙන ඒමේ අරමුණ යි. මෙම පස් පරීක්ෂා කිරීමෙන් ඒ සඳහා උදව්වක් ලැබෙනු ඇතැයි විද්යාඥයෝ කල්පනා කරති.

වසර බිලියන 4.5 ක ඉතිහාසයක් ඇති අඟහරුගේ චන්ද්රයන් ඇති වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශ්වාසයන් දෙකක් පවතී. එක් විශ්වාසයක් වනුයේ අභව්යකාශයේ පාවී ආ ග්රහකයක් (Asteroid ) අඟහරු මත ගැටී විසි වූ සුන්බුන්වලින් චන්ද්රයන් නිර්මාණය වන්නට ඇති බව යි. අනෙක් විශ්වාසය නම් අභ්යවකාශයේ පාවෙමින් තිබූ කුඩා ග්රහක දෙකක් අඟහරුගේ ගුරුත්වාකර්ෂණයට හසු වී ඒ වටා භ්රමණය වීමට පටන් ගන්නට ඇති බව යි.
මේ අනුමානයන් දෙකෙන් නිවැරදි අනුමානය සොයා ගැනීමට MMX මෙහෙයුම විද්යාඥයන්ට උදව් වනු ඇත.
එච් 3 (H3) රොකට්ටුවක ආධාරයෙන් අභ්යවකාශයට විදින ලද යානයට අඟහරු වෙත සේන්දු වීමට මාස 10 කට ආසන්න කාලයක් ගත වේ. එය එහි ළඟා වීමට නියමිතව ඇත්තේ 2027 අගෝස්තු මාසයේ යි. එයින් පසු 2027 සැප්තැම්බර් මාසයේ එය ෆෝබෝස් චන්ද්රයා වටා ගමන් කිරීමට පටන් ගනියි. ෆෝබෝස් මත ගොඩ බැසීමට නියමිතව ඇත්තේ වසර තුනකට පසු 2030 වසරේ බව සඳහන් වේ. ඒ අතරතුර කාලයේ යානය ෆෝබෝස් චන්ද්රයා අධ්යයනය කිරීමේ කටයුතුවල නිරත වනු ඇත.

යානය තුළ ඇති කුඩා රොබෝ රෝවරයක් ෆෝබෝස් මත ගොඩ බැස්සවීම ද මේ කාලය තුළ සිදුවීමට නියමිත ය. රෝවරයක් යනු කුඩා වාහනයක් බඳු මෙවලමකි. ෆෝබෝස් මත ගොඩ බසින රෝවරය හැඳින්වෙන්නේ IDEFIX යන නමිනි.
IDEFIX රෝවරයට පැවරී ඇති ප්රධාන රාජකාරිය වනුයේ ෆෝබෝස් මත ගමන් කරමින් එහි භූමිය අධ්යයනය කිරීම යි. මෙසේ අධ්යයනය කිරීමෙන් ලබා ගන්නා තොරතුරු සහ ඡායාරූප ආදිය අනතුරුව MMX හරහා පෘථිවියේ විද්යාඥයන්ට ලබා දෙනු ඇත. ප්රධාන යානය ෆෝබෝස්ගේ පස් ලබා ගත යුත්තේ කවර ස්ථානවලින් ද වැනි කාරණා ගැන තීරණය කිරීමේ දී මේ තොරතුරු විද්යාඥයින්ට වැදගත් වේ.
IDEFIX රෝවරය ෆෝබෝස් මත ගොඩබැස්සවීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇති බව මෙම MMX මෙහෙයුමට සම්බන්ධ විද්යාඥවරියක වන මහාචාර්ය සාරා රසල් පවසයි. මෙතරම් කුඩා චන්ද්රයකු මත මෙයට පෙර කිසි දිනෙක රෝවරයක් ගොඩ බස්සවා නැති බව ද ඇය පෙන්වා දෙයි. ෆොබෝස් මෙන්ම ඩීමෝස් ද ප්රමාණයෙන් ඉතා කුඩා, අර්තාපල් ගෙඩිවල හැඩය ගත් චන්ද්රයන් දෙදෙනෙකි. ෆෝබෝස් ගේ විශ්කම්භය කි.මී. 20 ක් (සැතපුම් 12 ක්) පමණ වන අතර ඩීමෝස් ගේ විශ්කම්භය කි.මී.10 ක් (සැතපුම් 6 ක්) පමණ බව සඳහන් වේ. අපගේ චන්ද්රයාගේ විශ්කම්භය කි.මී. 3,475 කට (සැතපුම් 2,160 කට) ආසන්න ය.

ෆෝබෝස් කුඩා වස්තුවක් නිසා ඊට එතරම් ප්රබල ගුරුත්වාකර්ෂණයක් නැත. ඒ මත රෝවරය ගොඩ බැස්සවීම අභියෝගාත්මක කටයුත්තක් වනුයේ මේ නිසා ය. ෆෝබෝස් ආසන්නයේ ඇති අඟහරු ග්රහයා දැඩි ගුරුත්වාකර්ෂණයක් සහිත ග්රහයෙකි. මේ නිසා රෝවරය ඒ දෙසට ඇදීයාමේ නැඹුරුතාවක් දක්වනු ඇත.
කෙසේ හෝ වේවා ෆෝබෝස් පිලිබඳ දීර්ඝ අධ්යයනයන්ගෙන් පසු ප්රධාන යානය 2030 වසරේ ඒ මත ගොඩ බැසීමට නියමිත ය. එය ෆෝබෝස් මත ගත කිරීමට නියමිතව ඇත්තේ පැය දෙකහමාරක් වැනි කෙටි කාලයකි. අනතුරුව යානය නැවත පෘථිවිය බලා පිටත් වීමට නියමිතව තිබේ. ඊට පෙර එය අනෙක් චන්ද්රයා වන ඩීමෝස් වටා ද ගමන් කරමින් ඒ පිලිබඳ තොරතුරු ද එක්රැස් කිරීමට නියමිත බව පැවසේ.
යානය පෘථිවියට සේන්දු වනු ඇත්තේ 2031 වසරේ යි. එය අභ්යවකාශගත කෙරුණේ ජපානයෙන් වුවත් නැවත ගොඩ බසින්නේ ඕස්ට්රේලියාවේ වූමේරා කාන්තාරයට යි. මෙය ඕස්ට්රේලියාවේ දකුණු දෙසට වන්නට පිහිටි කාන්තාරයකි.
යානයේ ආපසු ගමන සඳහා පැය 8 ක පමණ කාලයක් ගත වනු ඇත.
ඉදිරියේදී අඟහරු ග්රහයා වෙත මිනිසුන් පවා යැවීමට ඇමරිකාව, චීනය වැනි රටවල් බලාපොරොත්තු වේ. ජපානය ෆෝබෝස් පිලිබඳ කරන අධ්යයනයන් මෙම ගමන් සඳහා ද ප්රයෝජනවත් වනු ඇතැයි සඳහන් වේ. අඟහරු වෙත යන ගමන්වල දී අජටාකාශගාමීන් සෘජුවම අඟහරු මත ගොඩ නොබැස මුලින් ෆෝබෝස් හෝ ඩීමෝස් මත ගොඩ බැස පසුව අඟහරු වෙත යාමේ සැලසුමක් ද ඇති බව වාර්තා වේ.
නිහාල් පීරිස්