විශ්වවිද්‍යාල ආචාර්යවරු අද සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දිගුකාලීනව පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් අද (30) සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණය කර තිබේ.සිය ඉල්ලීම් දිනා ගැනීමේ අරමුණින් සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දිගුකාලීන හිඟය, දැනට සේවයේ නිරත කාර්ය මණ්ඩලය මත පැටවී ඇති අධික වැඩබර සහ ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු රැසක් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බව ඒ මහතා සඳහන් කළේය.මෙම ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමේ අරමුණින් පසුගිය කාලය තුළ අදාළ බලධාරීන් සහ පාර්ශ්ව සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්වුවද, ඒ සඳහා මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.වැඩ වර්ජනයට සමගාමීව හෙට දිනයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පා ගමනක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙම ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් අවධානය යොමු කර විසඳුම් ලබා නොදුනහොත්, ඉදිරියේදී මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අකමැත්තෙන් වුවද එළැඹීමට සිදුවනු ඇතැයි ද චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

කාලීන පුවත්