කොළඹ සරසවියෙන් දේශපාලකයන්ට දැල්වුණු රතු එළිය හරියට තේරුම් ගනිමු  

ජනතාව දැන්  එළිපිටම ආණ්ඩුව විවේචනය කරමින් සිටිති. ඒසේම ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ද විවේචනය කරමින් සිටිති. ඒහි උච්චම අවස්ථාවක් පසුගිය දිනක දක්නට ලැබුණි.

ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ පත්වීම විශ්ව විද්‍යාල ප්‍රජාවේ දැඩි විවේචනයට ලක් වීම ය. එය කොතරම් දුරදිග ගියා ද කියතොත් පසුගිය දා පැවති කොළඹ  විශ්ව විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිධාරී සිසු සිසුවියන් රැසක් උන්වහන්සේ අතින් උපාධි සහතිකය ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කළහ.

ඔවුන් ඒ හිමියන්ට ඒ බව අඟවමින් උපකුලපතිනිය අතින් උපාධිය ලබා ගැනීමට කටයුතු කළහ. එය අනිසි දේශපාලන පත්වීම් ලබන බොහෝ දෙනෙකුට හොඳ පාඩමකි.

තමන් වහන්සේට එම කුලපති පදවිය ලැබීමට ඇති සුදුසුකම ජනපතිවරයාගේ මනාපය බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්  එම පත්වීම ලද පසුව කියා තිබිණ.ජනපතිගේ එම මනාපය මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ”කට වැසීම” මත පදනම් වූවක් බව සූප්පුව කටින් හෙලූ බබ්බු පවා දනිති.

මෙවැනිම සිද්ධියක් 2018 වසරේදී ද දැක ගන්නට ලැබුණි. ඒ් රාජ්‍ය නාට්‍ය උළෙලේදී ය. එතනදි සහතික හා සම්මාන පිරිනැමීමට කැඳවා තිබූ ආරාධිත අමුත්තන් වූයේ දුමින්ද දිසානායක හා උදය ගම්මන්පිල ය.

ඔවුන් දෙපල ඒ් වන විටත් දින පනස් දෙකේ නීති විරෝධි ආණ්ඩුවේ ඇමතිවරු වූහ. ඔවුන් ප්‍රධාන වේදිකාවේ සිටිය දී සම්මාන ගැනීමට පැමිණි නාට්‍යවේදීන් හා කලාකරුවන් ඇමතිවරුන් අතින් සම්මාන හා සහතික ගැනීම ප්‍රතික්ෂේප කළහ. ඒ් වෙනුවට ප්‍රධාන වේදිකාවේ සිටි අමාත්‍යාංශ ලේකම්ගෙන් ඔවුන් සම්මාන ලබා ගත්හ

.අප රටේ දේශපාලනය සමාජ සේවයක්ව පැවැතියේ මීට ශතවර්ෂ භාගයකට එපිටදී ය. 1977 න් පසු යම් වෙනසක් වූ දේශපාලන ක්‍රමය 1988 න් පසු ප්‍රභූ තනතුරක් බවට පත්විය.

එයට එක් පසෙකින් යුද්ධය ද ඉවහල් විය. එදා සාමාන්‍ය ජනතාව හා සම තනතුරක් වූ දේශපාලනඥයා යන තනතුර 1985 න් පසු සාමාන්‍ය ජනතාවට ඉහළින් හිඳ සමාජය මෙහෙයවන ප්‍රබල තනතුරක් බවට දේශපාලකයන් විසින්ම පත් කර ගනිද්දී ජනතාව ඊට එරෙහි වූවේ නැත.

ජනාධිපති ප්‍රේමදාස විසින් මැතිවරණ ක්‍රමය ගෙනා සංශෝධනත් සමඟ පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ කළු චරිත බොහොමයක් දේශපාලනයට පැමිණ සුදු චරිත බවට පත්විය. පාතාලයන්, මැරයන් අතට ගිය දේශපාලනය යළි නිවැරදි කරන්නට කිසිවෙකු උත්සාහ කළේ නැත.

උපාධිධාරියා මැර දේශපාලකයාට මෙන්ම ඔහුගේ හෙංචයියනට ද සර් කියන තැනට රට පැමිණ තිබිණ.දේශපාලකයන් විසින් තම බලය අවභාවිතා කොට ජනතාවගේ කොඳු නාරටිය බිඳ තිබූ බැවින් කිසිවෙකු ඊට එරෙහි වන්නට උත්සාහ කළේ නැත.

නමුත් මෙම ක්‍රමයට යම් වෙනසක් ගෙන එන්නට ඉකුත් යහපාලන රජය උත්සාහ කළේ ය.එම රජය තුළ පැවැති වෙනත් බහු විධ දුර්වලතා නිසා එය සියයට සියයක් සාර්ථක නොවුණ ද තොරතුරු දැනගැනීමේ පනත මෙන්ම සමාජ මාධ්‍යයට ලබා දුන් නිදහසත් සමඟ ජනතාව මේ ගැන කතා කරන්නට පටන් ගත්තේය.

මෙය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහන් එළියක් වුව ද ජනතාවට එය හරිහැටි වැටහුණේ නැත.සමාජ මාධ්‍යයේ ද එම ක්‍රමය දැඩිව විවේචනයට ලක්විය. අවසානයේ සමාජ මාධ්‍ය කොතරම් ප්‍රබල ද කියතොත් විපක්ෂය ඉන් උපරිම ප්‍රයෝජන ගත්හ.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ යහපාලනය(Good governance)නම් දේශපාලන සංකල්පය අරමුණු කරගත් යහපාලන රජය “යම පාලන රජය” ලෙස හංවඩු ගසමින් එම ආණ්ඩුව ගෙදර යැවීම ය.

එදා සමාජ මාධ්‍ය තම බලය තහවුරු කර ගැනීමට භාවිතා කළ එවක විපක්ෂ කණ්ඩායම අද බලයට පැමිණි පසු ඔවුනටම පාරා වළල්ලක් බවට පත්ව තිබේ.

වත්මන් දේශපාලනය පුද්ගලයා  පවුල හෝ පරපුර පරමාදර්ශී වූවක් නොවේ.එම පුද්ගල පවුල් හෝ පරම්පරා දේශපාලනය වැඩවසම්වාදී ලක්ෂණයකි. නමුදු අතීත රාජාණ්ඩු තුළින් මෙරට ජතතාවට පරම යහපත සැලසුණු බවක් විශ්වාස කරන මෙරට බහුතරය අදටත් එම වැඩවසම්වාදී ලක්ෂණ අගයති.සමහරුන් තවමත් මහින්ද රාජපක්ෂ රජ කෙනෙකු වශයෙන් සලකන්නේ ඒ වැඩවසම්වාදී චින්තනය පෙරදැරිව ය.

රාජපක්ෂ පවුලේ දේශපාලනයේ නිරත වූවන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ හැර සෙසු සියළුම රාජපක්ෂවරුන් “කුරහන් සාටකය”නම් වන බාපනයක් කරලාගෙන හිඳිති. මෙය වැඩවසම්වාදී දේශපාලන චින්තනය නූතනය තෙක් ගෙන ආ බවට ප්‍රබල සංකේතයකි.

ගැමිකම මත පදනම් වූ දේශීයත්වය තමන් තුළ පවතින බව ඔව්හු එමඟින් ජනතාව හමුවේ හඟවති.එහෙත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුම ලංකාවේ පුරවැසියන් නොවීම ද වැදගත් කාරණයකි. ඇමරිකානු පුරවැසියෙකු වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ජාතික ඇඳුම අඳින අවස්ථාවලදී කුරහන් සාටකය පළඳියි.

නමුත්, ඔහු සිය මව්රටට යන අවස්ථාවලදී කුරහන් සාටකය හෝ මෙරට ජාතික ඇදුම ඇඟලන්නේ නැත.ආර්ය සිංහල ඇඳුම නම් වන ඉන්දියානු සම්භවයක් ඇති ඇඳුම සඳහා පළඳින මෙම සාටකය මහින්ද රාජපක්ෂ කොලරය සහිත කමිසයට පවා එය ආදේශ කරයි.

එහෙත්,යමකු එලෙස යම් ඇඳුම් සම්ප්‍රදායක් අත්තනෝමතිකව ලෙස වෙනස් කරන්නේ නම් එය “විකට ඇඳුමක් “සේ ද යමකුට පෙනී යා හැක.නමුත් අප රටේ බොහෝ දෙනකුට එසේ පෙනෙන බවක් නොපෙනෙයි.

අසූව දශකයේ මැද භාගයේ උපන් තරුණයෙකු වූ නාමල් රාජපක්ෂ ද කුරහන් සාටකය පළඳින තවත් පවුලේ දේශපලනඥයෙකි.එමෙන්ම ටී ෂර්ට් වලට උඩින් පවා ඒ සාටකය පැළඳ සිටින ඔහු එමඟින් පියාගෙන් පසු මෙරට දේශපාලනයේ “පිය උරුමය” පෙන්වා දෙමින් සිටියි.

ඒ “රාජපක්ෂ වරු” යනු මෙරට පාලනය කරන නිල නොලත් රජ වරුන් බව අනියමින් කියා පාමිනි.නමුදු අප රටේ බහුතරය ඔවුන් ගේ මෙම යල් පැන ගිය දේශපාලන න්‍යායන් තාමත් පිළිගන්නා බවක් පෙනෙයි.ජනතාව ද කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් ඊළග වාරයේත් පාර්ලිමේන්තුව එවනවා ඇත.

අපේ රටේ දේශපාලනඥයන් ඉදිරියේ ජනතාව නැවී වැටුණ ද යුරෝපා රටවල එය දකින්නට නැත. දේශපාලනඥයන් මෙන්ම මැති ඇමතිවරුන්ගේ ජීවන හා ගමන් බිමන් රටා අතරේ කිසිදු වෙනසක් නැත ඒ් දේශපාලනඥයා ජනතාවට ඉහළින් සිටින තනතුරක් නොව ජනතාවට සමාන තනතුරක් බව පෙන්වා දෙමිනි.නමුදු එවන් නවීන චින්තනයක් කරා සමාජය යොමු කිරීමට කොළඹ විශ්ව විද්‍යාල සිසුන් දේශපාලනඥයන්ට දැල්වූ මෙම රතු එළිය අප නිවැරදිව වටහා ගත යුතු ය.

මේ ගත් පියවර තවදුරටත් සෙසු කශේරුකාව ඇති තරුණයන් ඉදිරියට ගෙන යා යුතු බව අපේ අදහස ය.ඒ සඳහා කුඩා කණ්ඩායමක් ආරම්භ කර තිබෙන මෙම නිදහස් චින්තන ක්‍රියාදාමය තව බොහෝ ඉදිරියට යා යුතුව ඇත.

කොළඹ විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ මෙම “වෙනස් වීමේ ක්‍රමවේදය” අනෙක් පිරිසට ද ඉදිරියට ගෙන යා හැකි ය. මන්ද මේ වෙනස්වීමෙන් තොරව “උන්ටම මිස අපට හිමි රටක්” කිසිදා බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර