අධ්‍යාපනයේ සැබෑ සුහුරු ඵල සොයා ස්වීඩනය, ෆින්ලන්තය හරහා හන්දෙස්සට එමු ද?

අධ්‍යාපනයේ සැබෑ සුහුරු ඵල සොයා ස්වීඩනය, ෆින්ලන්තය හරහා හන්දෙස්සට එමු ද?

විසි එක් වන සියවසේ මුල් දශක දෙක ලෝක ඉතිහාසයේ සටහන් වන්නේ වේගවත් ඩිජිටල්කරණයකට ලක් වූ යුගයක් ලෙසිනි. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන පද්ධතීන් තුළට ස්මාර්ට් උපාංග සහ අධිවේගී අන්තර්ජාලය දැවැන්ත ලෙස ප්‍රවේශ විය. කෙසේ වෙතත්, වර්තමානය වන විට ලොව තාක්ෂණයෙන් ඉහළම තලයක පසුවන ස්වීඩනය සහ ෆින්ලන්තය වැනි රටවල් පවා මෙම ඩිජිටල් රැල්ලෙන් මිදී නැවතත් සාම්ප්‍රදායික මුද්‍රිත පොත, පෑන සහ කඩදාසිය වෙත යොමු වීම සුවිශේෂී ප්‍රවණතාවකි. මෙය අධ්‍යාපනයේ පසුගාමී පියවරක් නොව, අධ්‍යාපනයේ තිරසාර බව සහ සිසුන්ගේ මානසික සෞඛ්‍යය අරමුණු කොට ගත්, විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ බුද්ධිමය ප්‍රතිසංස්කරණයකි.

ස්වීඩනය 2017 වසරේ සිටත්, ෆින්ලන්තය 2016 වසරේ සිටත් සිය පාසල් පද්ධතිය තුළට ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක දැඩි ලෙස හඳුන්වා දුන් අතර, එක් ශිෂ්‍යයෙකුට එක් උපාංගයක් (One-to-one device) ලබා දීමේ මට්ටමට එය වර්ධනය විය. එහෙත්, ඉන් අපේක්ෂිත බුද්ධිමය වර්ධනය වෙනුවට වාර්තා වූයේ පසුබෑමකි.

ස්වීඩනය 2017 වසරේ සිටත්, ෆින්ලන්තය 2016 වසරේ සිටත් සිය පාසල් පද්ධතිය තුළට ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක දැඩි ලෙස හඳුන්වා දුන් අතර, එක් ශිෂ්‍යයෙකුට එක් උපාංගයක් (One-to-one device) ලබා දීමේ මට්ටමට එය වර්ධනය විය. එහෙත්, ඉන් අපේක්ෂිත බුද්ධිමය වර්ධනය වෙනුවට වාර්තා වූයේ පසුබෑමකි. ජාත්‍යන්තර කියවීමේ සාක්ෂරතා අධ්‍යයනය (PIRLS – Progress in International Reading Literacy Study) මගින් තහවුරු වූයේ 2016 සිට 2021 දක්වා කාලය තුළ ස්වීඩන දරුවන්ගේ කියවීමේ හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. ඩිජිටල් තිරයක් මත ඉගෙනීමේදී පැනනගින හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ නිරන්තරයෙන් ලැබෙන නොටිෆිකේෂන් (Notifications) දරුවෙකුගේ ඒකාග්‍රතාව බිඳ දමන බවත්, එය ‘සංජානන බර’ (Cognitive Load) වැඩි කරන බවත් ස්නායු විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ස්නායු විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, තොරතුරු මොළය තුළ ගැඹුරින් තැන්පත් වීමේ (Deep Encoding) ක්‍රියාවලිය, යතුරුපුවරුවක ටයිප් කිරීමට වඩා අතින් අකුරු ලිවීමේදී සාර්ථකව සිදු වේ. අතින් ලිවීමේදී මොළයේ සක්‍රීය වන ස්නායු රටාවන් වඩාත් සංකීර්ණ වන අතර, එය මතක ශක්තිය වර්ධනයට සෘජුවම බලපායි. මුද්‍රිත පොතක් පරිශීලනය කිරීමේදී මොළය තර්කනය, පරිකල්පනය සහ විචාරාත්මක චින්තනය දියුණු කරගන්නා අතර, තිරයක් මත කියවීමේදී සිදු වන්නේ තොරතුරු ඉක්මනින් පිරික්සීම (Scanning) පමණක් බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. මෙම බරපතළ තත්ත්වය හමුවේ ස්වීඩන රජය 2024 වසරේ සිට වයස අවුරුදු හයට අඩු දරුවන්ට ඩිජිටල් උපාංග භාවිතය සීමා කිරීමටත්, පාසල් කාලය තුළ ස්මාර්ට් දුරකථන තහනම් කිරීමටත් පියවර ගෙන ඇත. මුද්‍රිත පොත් ප්‍රවර්ධනය සඳහා ඔවුන් ක්‍රෝනර් මිලියන 500ක (යුරෝ මිලියන 45ක්) දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කර ඇති අතර සෑම පාසලකම පුස්තකාලයක් පවත්වාගෙන යාම අනිවාර්ය කර තිබේ.

යුරෝපයේ අද කතාබහට ලක්වන මෙම ප්‍රායෝගික අධ්‍යාපන අර්බුදයට විසඳුම්, මෙම අර්බුදය ආරම්භ වීමට බොහෝ කලකට පෙර, එනම් මීට දශක අටකට පෙර ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා සහ එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එස්. පෙරේරා මහතා විසින් “හන්දෙස්ස අධ්‍යාපන ක්‍රමය” (Handessa Education Scheme) මඟින් හඳුන්වා දී තිබුණි. 1930 දශකයේ අගභාගයේදී මහනුවර හන්දෙස්ස විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම ක්‍රමය, බ්‍රිතාන්‍ය පන්නයේ හුදු ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙනුවට ග්‍රාමීය ජීවිතයට ගැළපෙන බිම් මට්ටමේ ප්‍රායෝගික කුසලතා වර්ධනය අරමුණු කළ එකකි. එහි මූලධර්මය වූයේ “3H” සංකල්පයයි; එනම් හිසෙන් (Head) දැනුම ද, හෘදයෙන් (Heart) සදාචාරය ද, හස්තයෙන් (Hand) ප්‍රායෝගික කුසලතා ද වර්ධනය කිරීමයි.

හන්දෙස්ස අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල සහ ගම අතර දැඩි සබඳතාවක් පැවති අතර, සිසුන්ට ගොවිතැන, වඩු වැඩ, පේෂකර්මය සහ මැටි කර්මාන්තය වැනි ප්‍රාදේශීය වශයෙන් ප්‍රායෝගික විෂයන් උගන්වනු ලැබීය. පාසල් වත්තෙන් ලබාගන්නා අස්වැන්න උපයෝගී කොට දහවල් ආහාරය සකසා ගනිමින් දරුවන් ස්වයංපෝෂිත වීමට හුරු විය. මෙහිදී ගණිතය සහ විද්‍යාව වැනි විෂයන් පවා උගන්වනු ලැබුවේ වත්ත මැනීම හෝ ශාක වර්ධනය නිරීක්ෂණය කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ය. පාසල් කාලය කොටස් දෙකකට බෙදා තිබූ අතර, උදෑසන ශාස්ත්‍රීය විෂයන්ටත්, සවස් කාලය ප්‍රායෝගික කුසලතාවන්ටත් වෙන් විය. මෙය දරුවා පන්ති කාමරයේ සිරගත නොකර, සමාජය හා පරිසරය හා බද්ධ කරමින් ශ්‍රමයේ අභිමානය සුරැකූ අධ්‍යාපන රටාවකි. මෙහිදී දරුවන් තුළ හුදු විෂයානුබද්ධ දැනුම ප්‍රවර්ධනය කරනු වෙනුවට ජීවන කුසලතා, සෞන්දර්යය, පුද්ගල සහ ප්‍රජා සෞඛ්‍යය සහ ජීවන පරිසරය මුල් කොට ගත්, මනසට කා වදින දැනුම් අවබෝධයන් ලබා ගැනීමට ගැමි දරුවන්ට අවකාශ ලැබිණි. මුලින් හන්දෙස්ස කේන්ද්‍රගතව ඇරඹී පසුව පාසල් 253 තෙක් ව්‍යාප්ත වූ මෙය එවක ජනප්‍රිය රැල්ලක් වූ බව ද පැවසෙයි. එහෙත් එවක අධ්‍යාපන පනත්වලින් සම්මත නොවූ එය ප්‍රවර්ධනය කිරීම සඳහා වන යටිතල පහසුකම් ලබා ගැනීමේ අපහසුව සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය යුරෝ කේන්ද්‍රීය හැඩතල මෙම අධ්‍යාපන ක්‍රමය තුළ නොපිහිටීම ආදී කරුණු මත මෙම ක්‍රමය පසුව බිඳවැටීමට ලක් විය.

“සුහුරු” යන්න නවීනත්වය මුසු වදනකි. නමුත් මෙය “Smart” යන්නෙහි සෘජු පරිවර්තනයක් ලෙස පමණක් නොව, අපටම අනන්‍ය වූ අර්ථයකින් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව බොහෝ දෙනකු නිරීක්ෂණය කොට නැත. එය සරලව මෙලෙස විග්‍රහ කළ හැකිය. යමකට ඇති පුරුද්ද, හුරුපුරුදු බව හෝ ප්‍රවීණතාව අඟවන “හුරු” යන්නට “සු” (උපසර්ගය) මඟින් යහපත්, මනා, හෝ උසස් යන අර්ථය එක් කරයි. එවිට මනාව හුරු වූ, අතිශයින් දක්ෂ හෝ මනා නිපුණතාවයකින් යුක්ත යන අරුත මෙයින් ජනිත වේ. ඒ අනුව ඉංග්‍රීසි “Smart” යන වදනෙන් තාක්ෂණික දියුණුව හෝ ක්ෂණික බුද්ධිය අරුත් ගැන්වෙන විට, සිංහල “සුහුරු” යන වදනින් වඩාත් ගැඹුරු, ප්‍රායෝගික පුහුණුවෙන් ලත් නිපුණතාවක් (Expertise/Mastery) ගම්‍ය වේ. ඒ අනුව බලන විට හන්දෙස්ස අධ්‍යාපන ක්‍රමය ද සැබෑ සුහුරු අධ්‍යාපනයකි.

ශ්‍රී ලංකාව සිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීමේදී නවීන තාක්ෂණය වැළඳගෙන ඇති මුත්, කන්නන්ගර මහතා හඳුන්වා දුන් හන්දෙස්ස ක්‍රමයේ තිබූ බිම් මට්ටමේ ප්‍රායෝගිකත්වය සහ භෞතික පොතපතේ වටිනාකම නැවත ස්ථාපිත කිරීමට අවධානය යොමු කොට නැත. දරුවෙකුගේ දැනුම අවබෝධය සේම සැබෑ බුද්ධිමය වර්ධනය තීරණය වන්නේ ඩිජිටල් තිරයක් මත ස්පර්ශ කරන වේගය මත නොව, තමන් ජීවිතය තුළ එදිනෙදා අත්දකින දසකුත් දේවලින් සහ මුද්‍රිත පොතක් කියවා ලබන ගැඹුරු අවබෝධය හා අතින් ලියන අකුරක ඇති ස්නායුමය ශක්තිය මත බව වත්මන් බලධාරීන් ද පමා වී හෝ වටහා ගත යුතු ය.

නමුත් මේ වන විට අධ්‍යාපනය හා බැඳුණු නවීන සුහුරු තාක්ෂණය යනු හුදු මෙවලමක් මිස ගුරුවරයා හෝ පොතපත විස්ථාපනය කළ හැකි විකල්පයක් නොවන බව දියුණු ලෝකය අද අත්දැකීමෙන් පසක් කරගනිමින් සිටී. ශ්‍රී ලංකාව සිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීමේදී නවීන තාක්ෂණය වැළඳගෙන ඇති මුත්, කන්නන්ගර මහතා හඳුන්වා දුන් හන්දෙස්ස ක්‍රමයේ තිබූ බිම් මට්ටමේ ප්‍රායෝගිකත්වය සහ භෞතික පොතපතේ වටිනාකම නැවත ස්ථාපිත කිරීමට අවධානය යොමු කොට නැත. දරුවෙකුගේ දැනුම අවබෝධය සේම සැබෑ බුද්ධිමය වර්ධනය තීරණය වන්නේ ඩිජිටල් තිරයක් මත ස්පර්ශ කරන වේගය මත නොව, තමන් ජීවිතය තුළ එදිනෙදා අත්දකින දසකුත් දේවලින් සහ මුද්‍රිත පොතක් කියවා ලබන ගැඹුරු අවබෝධය හා අතින් ලියන අකුරක ඇති ස්නායුමය ශක්තිය මත බව වත්මන් බලධාරීන් ද පමා වී හෝ වටහා ගත යුතු ය. අධ්‍යාපනයේ සැබෑ සුහුරු ඵල සොයා ස්වීඩනය, ෆින්ලන්තය හරහා යළි හන්දෙස්සට පියමං කිරීම අරුත් සුන් ගමනක් නොවන බව අප වටහා ගත යුත්තේ එබැවිනි.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර