කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන ස්ථිර නිගමනයකට ඒමට කල් වැඩියි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ ස්ථිර ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඊයේ (08) පස්වරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත්, මරණයට හේතුව පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව කරුණු පැහැදිලි කරනු ඇති බවත් ඔහු පැවසීය.ඊයේ දිනයේ වරෙන්තු නිකුත් කර තිබියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය:
“පොලීසිය මේ පිළිබඳව දැනුවත් වුණේ ඊයේ හවස. රාත්‍රී කාලය වන විට මෙවැනි දෙයක් සිදුවේ යැයි පොලීසිය අපේක්ෂා කළේ නැහැ. ඔහු මීට පෙර අත්අඩංගුවේ පසුවී නිදහස් වූ අයෙක්. බොහෝ විට පසුදා උදෑසන අත්අඩංගුවට ගැනීමේ සූදානමකින් පොලීසිය පසුවන්නට ඇති. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වැඩිදුර විමසීමක් කළ හැකියි. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වන තෙක් ස්ථිර මතයක් ප්‍රකාශ කළ නොහැකියි.”
මෙය සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් පිටුපස කිසියම් බලවේගයක් පවතින්නේද යන්න පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා අවධාරණය කළේ නිසි විමර්ශනයකින් තොරව නිගමනවලට එළඹිය නොහැකි බවයි.”මීට පෙර සිදුවූ මෙවැනිම සිදුවීමක් ගැන ඔබට මතක ඇති. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව පරීක්ෂණ පවත්වා එය සියදිවි හානිකර ගැනීමක් බව තහවුරු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සත්‍ය අනාවරණය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කාලීන පුවත්