අභිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව: සියදිවි නසාගැනීමක්ද? සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ


සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ස්වභාවික නොවන හේතුවකින් හෝ නිශ්චිතව නොදන්නා හේතුවකින් මියගිය පසු මරණයට හේතුව සෙවීමට අප සිදු කරන්නේ දේහය කපා පරීක්ෂා කරන පශ්චාත් මරණ පරීක්ෂණයකි. නමුත් සියදිවි නසා ගත්තේ යැයි සැක කරන පුද්ගලයකුගේ ශරීරයේ තුවාල හෝ රසායනික ද්‍රව්‍යවලට එහා ගිය මරණකරුගේ “මනස” පරීක්ෂා කිරීමේ විද්‍යාව, එනම් මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය (Psychological Autopsy) පිළිබඳව වර්තමානයේ කතාබහක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම රාජකාරිමය ගැටලු, සමාජීය බලපෑම් හෝ තර්ජනයන් හමුවේ සිදු වන සැකකටයුතු මරණවලදී ඊට හේතු වූ සත්‍යය හෙළිකර ගැනීමට මෙය ප්‍රබල මෙවලමක් ලෙස ලෝකයේ බොහෝ රටවල් විසින් භාවිතයට ගනු ලබයි.

 Psychological Autopsy 

පශ්චාත් මරණ පරීක්ෂණයක (Post-Mortem Examination) සාමාන්‍ය ක්‍රමවේදය

සිරුරේ කැපුම් තුවාල සහිතව පුද්ගලයකු මිය ගොස් සිටියේ නම් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) මූලික වශයෙන් කරුණු හයක් කෙරෙහි අවධානය යොමු කරයි:

(1) තුවාලවල ස්වභාවය පරීක්ෂා කිරීම: පිහියෙන් කැපී ඇති තුවාල “සැක සහිත” ද නැතහොත් “සියදිවි නසාගැනීමක ලක්ෂණ” පෙන්වන්නේද යන්න බලනු ලැබේ. උදාහරණයක් ලෙස, සියදිවි නසාගැනීමකදී අත කපාගෙන තිබේ නම්, මැණික් කටුව වැනි ස්ථානවල “චකිත තුවාල” (Hesitation Cuts) (ප්‍රධාන තුවාලයට පෙර, එම පුද්ගලයා තම තීරණය පිළිබඳව ඇති වන චකිතය නිසා සිදු කරගන්නා නොගැඹුරු කැපුම් තුවාල) තිබිය හැකිය.

(2) තුවාල පිහිටීම: තුවාල සිදු වී ඇති ස්ථානවලට මියගිය පුද්ගලයාට ස්වයංව පිහියෙන් කපාගත හැකිද යන්න සහ එම තුවාල මාරාන්තිකද යන්න පරීක්ෂා කෙරේ.

(3) ආරක්ෂක තුවාල (Defence wounds): මෙය මිනීමැරුමක් නම්, බේරීමට උත්සාහ කිරීමේදී අත්ලෙහි හෝ ඇඟිලිවල ඇති වන තුවාල තිබේදැයි පරීක්ෂා කරයි.

(4) විෂවේද වාර්තා (Toxicology): මියයන අවස්ථාවේ ඔහු කිසියම් මත්ද්‍රව්‍යයක් හෝ විෂ වර්ගයක් ශරීරගත කරගෙන සිටියේද නැතහොත් එසේ සිදු කොට ඔහු අකර්මණ්‍ය කොට තිබුණේද යන්න බැලීමට රුධිර සහ ශරීර කොටස් සාම්පල රජයේ විශ්ලේෂක වෙත යොමු කෙරේ.

(5) පටක ව්‍යාධිවේද වාර්තා (Histopathology): සිදුවී ඇති තුවාල සිදුවූ කාලය සහ තුවාල සිදුවී ඇත්තේ මරණයට පෙරද පසුද යන්න තීරණය කිරීමට මෙය වැදගත් වේ.

(6) රුධිර රටා විශ්ලේෂණය (Bloodstain Pattern Analysis – BPA): ශරීරයේ ඇති වූ තුවාලවලින් රුධිරය වහනය වූ අනුපිළිවෙළ මේ මගින් නිර්ණය කළ හැකි අතර ඒ අනුව තුවාල සිදු වූ අනුපිළිවෙළ නිර්ණය කළ හැකිය. එසේම දක්නට ලැබෙන තුවාල ස්වයං තුවාලද නැද්ද යන්න, උදාහරණයක් ලෙස, නහර කැපීමකදී රුධිරය විසිරී යන රටාව (Arterial Spurting) අනුව එය තමා විසින්ම කරගත් දෙයක්ද නැතහොත් වෙනත් අයෙකු සිටියදී සිදු වූවක්ද යන්න තීරණය කළ හැකිය. එසේම තුවාල සිදු වූ පසු මරණකරු චලනය වීමක් සිදුව තිබේදැයි ද නිර්ණය කළ හැකිය.

 Psychological Autopsy 

කෙසේ වෙතත් පුද්ගලයෙකුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න තීරණය කිරීමට නම් මිය යන අවස්ථාව වන විට ඔහුගේ මනස පිළිබඳව විද්‍යාත්මක නිගමනයකට එළැඹීම අවශ්‍ය වේ.

මරණයක ස්වභාවය සහ මනෝවිද්‍යාත්මක සාධක

පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමට පෙර පෙන්වන චර්යා රටාවන් විවිධ වේ. ඇතැම් විට ඔවුහු දැඩි නිහඬතාවයකට පත්වන අතර, තවත් විටෙක කිසිවක් සිදු නොවූවා සේ ඉතා සාමාන්‍ය ලෙස හැසිරීමට උත්සාහ කරති. විශේෂයෙන්ම පවුලේ අය සමඟ විනෝද චාරිකා හෝ වන්දනා ගමන් සැලසුම් කිරීම වැනි “අනාගත සැලසුම්” පැවතීම බොහෝ විට සියදිවි නසාගැනීමේ චේතනාවකට (Suicidal Intent) පටහැනි සාධකයක් ලෙස සැලකේ.

මොකක්ද මේ Psychological Autopsy කියන්නේ?

මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු මියගිය පුද්ගලයාගේ මරණයට පෙර දින කිහිපය තුළ ඔහුගේ මානසික තත්ත්වය, පෞරුෂය, සබඳතා සහ ඔහු මුහුණ දුන් පීඩනයන් පිළිබඳව සිදු කරනු ලබන ගැඹුරු විමර්ශනයකි.

මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදු කරනු ලබන්නේ විදේශ රටවල නම් (ඇමරිකාව, එංගලන්තය වැනි) අධිකරණ මනෝවෛද්‍යවරුන් (Forensic Psychiatrists) සහ අධිකරණ මනෝවිද්‍යාඥයන් (Forensic Psychologists) ඇතුළත් කණ්ඩායමක් විසිනි. ශ්‍රී ලංකාවේ ද මේ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සිටින අතර සියදිවි නසා ගැනීමක් සම්බන්ධව සැකයක් ඇති විට මහේස්ත්‍රාත්වරයෙකුට මේ ආකාරයේ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් ලබාදිය හැකිය. ශ්‍රී ලංකාවේ නීතිය තුළ මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සෘජුවම නම් කළ වගන්ති නොමැති වුවද, අපරාධ විමර්ශනයකදී සාක්ෂි ලබා ගැනීම සඳහා පුළුල් ප්‍රතිපාදන පවතී.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 – 373 දක්වා වගන්තිවල හදිසි මරණ පරීක්ෂණ සහ මරණයට හේතුව සෙවීම පිළිබඳව ප්‍රතිපාදන සඳහන් වේ. මරණයක ස්වභාවය නිශ්චය කිරීමට වෛද්‍ය වාර්තා පමණක් ප්‍රමාණවත් නොවන විට, විශේෂඥ සාක්ෂි කැඳවීමේ බලය මහේස්ත්‍රාත්වරයාට ඇත.

1895 අංක 14 දරන සාක්ෂි ආඥා පනත (Section 45): “විශේෂඥ මතය” (Expert Opinion) යටතේ විද්‍යාව හෝ කලාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් අයෙකුගේ සාක්ෂි අධිකරණයට පිළිගත හැකිය. මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය ද විද්‍යාත්මක බැවින් මෙයට ඇතුළත් වේ.

මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) පියවරෙන් පියවර සිදු කරන විද්‍යාත්මක ක්‍රියාවලිය පහත පරිදි වේ. මෙය හුදු සාකච්ඡාවකට එහා ගිය, ව්‍යුහගත විමර්ශනයකි.

1 වන පියවර: දත්ත සහ ලේඛන රැස් කිරීම (Documentary Review)

පළමුව, මියගිය පුද්ගලයා ඉතිරි කර ගිය සියලුම “ලිඛිත සහ ඩිජිටල් සාක්ෂි” විශේෂඥයන් විසින් පරීක්ෂා කරනු ලැබේ.

  • වෛද්‍ය වාර්තා: ඔහු මීට පෙර මානසික රෝග සඳහා ප්‍රතිකාර ගෙන තිබේද? ඔහු ලබාගත් ඖෂධ මොනවාද? යන්න සොයා බලයි.
  • වෘත්තීය වාර්තා: රැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණේ නම් ඒ සම්බන්ධ වාර්තා, ලිපිගොනු සහ ඔහුට යම් චෝදනාවක් එල්ල වී තිබුණේ නම් එම චෝදනා සහ ඔහු ඒවාට ලබා දුන් පිළිතුරු අධ්‍යයනය කරයි.
  • සන්නිවේදන දත්ත: මරණයට පෙර ඔහු අන්තර්ජාලය ඔස්සේ සෙවූ කරුණු (උදා: “නහර කැපීමෙන් මියයන ආකාරය” වැනි දෑ සෙව්වේද?), ඔහුගේ අවසන් WhatsApp/Messenger පණිවිඩ පිළිබඳ විමර්ශනය කරයි.

2 වන පියවර: ක්ෂේත්‍ර සම්මුඛ සාකච්ඡා (Field Interviews)

මනෝවිද්‍යාඥයන් සහ විමර්ශකයෝ මරණකරුට සමීප පුද්ගලයන්ගෙන් තොරතුරු විමසති. මෙය සාමාන්‍ය පොලිස් ප්‍රශ්න කිරීමකට වඩා වෙනස් “මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකි”.

  • පවුලේ අය: මරණයට පෙර දින, පසුදා යාමට ගමනක් යොදාගෙන තිබුණේ නම් ඒ සඳහා යාමට ඔහු උනන්දු වූයේ කෙසේද? ඔහුගේ කටහඬේ හෝ මුහුණේ ස්වභාවයේ වෙනසක් තිබුණේද? යන්න පිළිබඳව කරුණු සොයා බලයි.
  • මිතුරන් සහ සගයන්: ඔහු මුහුණ දී තිබූ ගැටලු ගැන ඔහු පෞද්ගලිකව පැවසූ දේ සහ ඔහුගේ මානසික කඩාවැටීමේ මට්ටම, මෙන්ම ඔහුගේ චරිත ස්වභාවය, පෞරුෂය සටන්කාමී ද නොඑසේ නම් පසුගාමී ද වැනි කරුණු විමසීමට ලක් කෙරේ.

3 වන පියවර: මරණයට පෙර “ජීවන තත්ත්වය” විශ්ලේෂණය (Life Charting)

ඔහු අවසන් කාලයේ ගැවසුණු ස්ථාන සහ ඔහුගේ හැසිරීම් රටාවේ වෙනස්කම් නිරීක්ෂණය කරනු ලබන අතර මරණයට පෙර සති කිහිපයක කාලය තුළ සිදු වූ වැදගත් සිදුවීම් කාලානුක්‍රමිකව පෙළගස්වනු ලැබේ. මෙහිදී “Precipitating Event” හෙවත් මරණයට ආසන්නතම හේතුව (උදා: රැකියාවේ ගැටලුවක්) සහ එයට ඔහු දැක්වූ ප්‍රතිචාරය (උදා: පවුලේ අය සමඟ වන්දනා ගමනක් සැලසුම් කිරීම) වැනි කරුණු අතර ඇති පරස්පරතාවය විමසා බලයි.

4 වන පියවර: මානසික තත්ත්වය ප්‍රතිනිර්මාණය කිරීම (Mental State Reconstruction)

රැස්කරගත් සියලු තොරතුරු ඇසුරින් මියයන අවස්ථාවේ ඔහු සිටි මානසික තත්ත්වය පිළිබඳව විශේෂඥ මතය ගොඩනගයි. ඔහු සිටියේ “සැලසුම් සහගත සියදිවි නසාගැනීමක” (Planned Suicide) ද? නැතහොත් ඔහුට මරණයට පත්වීමට කිසිදු මානසික අවශ්‍යතාවයක් නොතිබූ, වෙනත් පාර්ශ්වයක මැදිහත් වීමක් සහිත “සැක සහිත මරණයක” (Equivocal Death) ද? යන්න පිළිබඳව මෙහිදී තීරණය කරයි.

5 වන පියවර: අවසන් වාර්තාව සැකසීම (Final Synthesis)

Forensic Psychiatrist සහ Psychologist විසින් ඒකාබද්ධ වාර්තාවක් සකස් කරයි. මෙහිදී මරණය සිදු වූ ආකාරය පිළිබඳව පහත නිගමනවලින් එකකට ඔවුන් එළඹේ:

(1) සියදිවි නසාගැනීමක් වීමට ඇති සම්භාවිතාව (High/Low Probability of Suicide). (2) අනතුරක් වීමට ඇති සම්භාවිතාව. (3) බාහිර පුද්ගලයෙකුගේ මැදිහත් වීමක් තිබීමේ හැකියාව.

යම්කිසි ආකාරයකට මරණකරු වෙත තුන්වන පාර්ශ්වයක් විසින් දැඩි පීඩනයක් එල්ල කොට සියදිවි නසා ගැනීමට පෙළඹුවේ නම් එය ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ මරණ දඬුවම හිමි විය යුතු වරදකි.

යම්කිසි පුද්ගලයෙක් විශේෂයෙන්ම අපරාධයක් හෝ දූෂණයක් සම්බන්ධ පැමිණිලිකරුවෙකු හෝ සාක්ෂිකරුවෙකු අභිරහස් ලෙස මියයන විට, ඔහුගේ ශරීරය මෙන්ම ඔහුගේ “මනස” ද පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කළ යුතුය. යුක්තිය යනු හුදු මරණ සහතිකයක් නිකුත් කිරීම නොව, එම මරණයට හේතු වූ සැබෑ චුදිතයන් සහ කුමන්ත්‍රණයන් තිබුණේ නම් ඒවා හෙළිදරව් කිරීමයි.

අපට අවශ්‍ය වන්නේ මියගිය අය වෙනුවෙන් හඬක් නැගිය හැකි, විද්‍යාව සහ නීතිය සුසංයෝගීව භාවිතා කරන විමර්ශන පද්ධතියකි. Psychological Autopsy යනු එම ගමනේ ඇති නවීනතම මෙන්ම ප්‍රබලතම අවියයි.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

එතෙර - මෙතෙර