ඇත්තු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට පමණක් අදාළ නඩු 10 ක් අනුරාධපුර සහ තදාසන්න ප්රදේශවල පිහිටි මහෙස්ත්රාත් අධිකරණවල සහ මහාධිකරණවල දැනට විභාග වෙමින් පවති.
බරණ, රේවත, සුමේධ සහ දීග දන්තු යන දළ ඇතුන් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට අදාළ නඩු 4 ක් කැකිරාව මහෙස්ත්රාත් අධිකරණයේ දැනට විභාගවෙමින් පවතින අතර ඩොලර් මැෂිම නමින් සංචාරකයන් හැඳින්වූ යුනිකෝන් නමැති දළ ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් තිබේ.
අලියකු සමග සටනකට වැද සිහිසුන්ව බිම ඇද වැටුණු මහේශාක්ය නම් ඇතාගේ දළ යුගල පොරවකින් කපා රැගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව ද කැබිතිගොල්ලෑව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි. ඇතා මිය ගොස් තිබුණේ දළ යුගල කපා ගැනීමෙන් පසුවයි.
මීට අමතරව හුළු අතුවලින් පුලුස්සා වන අලියකු මරණයට පත් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර භාතිය දළ ඇතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
ගල්ගමුවේ දළ පූට්ටුවා නමින් හැඳින්වූ දළ ඇතාගේ මරණයට අදාළ නඩුව කුරුණෑගල පළාත් බද මහාධිකරණයේ ද මේ දිනවල දෙස් විදෙස් වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කාවන්තිස්ස ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු දෙකක් ගල්ගමුව සහ මහව මහෙස්ත්රාත් අධිකරණවල විභාගයට ගැනේ.