
ලෝකයටම හිසරදයක්ව පැවති ඉරාන යුද්ධය අවසන් වීමට යන ආකාරයක් දැකගත හැකි වන අතර එය මේ යුද්ධය නිසා බැටකමින් සිටි කා තුළත් ලොකු අස්වැසිල්ලක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. ඇමරිකාව සහ ඉරානය අතර දීර්ඝ කාලීන සාමයක් ඇති කර ගැනීමේ මූලික පියවරක් ලෙස මේ වනවිට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම අත්සන් කෙරුණේ අපූරු ආකාරයකට ය. එහි දී නියෝජිතයන් මුහුණට මුහුණ හමුවීමක් සිදු වූයේ නැත. ඒ අතර මෙම අත්සන් කිරීම අදියර දෙකකින් සිදු වීම ද විශේෂත්වයක් විය.
මුලින්ම සිදු වූයේ මාර්ගගත (online) ආකාරයට ඩිජිටල් ගිවිසුමක් අත්සන් කිරීම යි. එය සිදු වූයේ පසුගිය ඉරිදා ය. මෙහි දී ඊට අත්සන් තැබුවේ පසුගිය කාලයේ දෙපාර්ශ්වයෙන් සාම සාකච්ඡාවලට සහභාගි වූ නියෝජිතයන් ය. ඇමරිකාව පැත්තෙන් උප ජනාධිපති ජේ ඩී වාන්ස් ඊට අත්සන් තැබූ අතර ඉරානය පැත්තෙන් එරට පාර්ලිමේන්තුවේ කතා නායක මොහම්මද් බෝඝෙර් ඝාලිබාෆ් අත්සන් කළේය. වාන්ස් ධවල මන්දිරයේ සිට ඊට අත්සන් තබද්දී ජනාධිපති ට්‍රම්ප් ද එහි සිටියේය.
මුලින්ම සිදු වූයේ මාර්ගගත (online) ආකාරයට ඩිජිටල් ගිවිසුමක් අත්සන් කිරීම යි. එය සිදු වූයේ පසුගිය ඉරිදා ය. මෙහි දී ඊට අත්සන් තැබුවේ පසුගිය කාලයේ දෙපාර්ශ්වයෙන් සාම සාකච්ඡාවලට සහභාගි වූ නියෝජිතයන් ය. ඇමරිකාව පැත්තෙන් උප ජනාධිපති ජේ ඩී වාන්ස් ඊට අත්සන් තැබූ අතර ඉරානය පැත්තෙන් එරට පාර්ලිමේන්තුවේ කතා නායක මොහම්මද් බෝඝෙර් ඝාලිබාෆ් අත්සන් කළේය. වාන්ස් ධවල මන්දිරයේ සිට ඊට අත්සන් තබද්දී ජනාධිපති ට්‍රම්ප් ද එහි සිටියේය.
දෙවැනි අදියරේ දී ගිවිසුම වඩාත් ඉහළ තලයකින් රාජ්‍ය නායක මට්ටමින් අත්සන් කෙරුණු අතර එවර අත්සන් කෙරුණේ දෘඪ පිටපතක් (hard copy) ලෙසිනි. ඒ, පසුගිය බදාදා යි.

ඇමරිකාව වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ද, ඉරානය වෙනුවෙන් එරට ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ද ඊට අත්සන් කළහ. නමුත් එවරත් නායකයන් මුහුණට මුහුණ හමු වූයේ නැත.
ට්‍රම්ප් මෙම ගිවිසුමට අත්සන් කර තිබුණේ ප්‍රංශයේ වර්සායි මාළිගයේ දී යි. ඒ G 7 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් පවත්වන ලද රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර යි. ට්‍රම්ප් ඊට අත්සන් තබද්දී මැක්රොන් ද ඒ අසල වාඩි වී එදෙස බලා සිටිනු දැකගන්නට ලැබිණි.
ඉරාන ජනාධිපතිවරයා තම අත්සන යෙදුවේ ඉරාන අගනුවර වන ටෙහෙරාන් නුවර සිට ය.
ට්‍රම්ප් සහ පෙසේෂ්කියන් ඊට අත්සන් කිරීමෙන් පසු පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ද පාකිස්තානයේ සිට ඊට අත්සන් කළේය. ඒ මෙම සාම ක්රියාදාමයේ මැදිහත්කාර පාර්ශ්වයක් ලෙස පාකිස්තානය කටයුතු කළ බැවිනි.
මෙම ගිවිසුම කාරණා 14 කින් සමන්විත එකකි. සියලු පෙරමුණුවල සටන් නතර කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම මේ අතර ප්‍රධාන තැනක් ගනියි.
අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙන්නේ දින 60 ක කාලයක් සඳහා යි. එම කාලය තුළ දෙරට අතර අවසන් එකඟතා ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා ඉදිරියට යනු ඇත. අවසන් සාම ගිවිසුම අත්සන් කෙරෙනු ඇත්තේ මෙම සාකච්ඡාවලින් අනතුරුව යි.

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කිරීම ද මෙම දින 60 ක කාලය තුළ සිදු වීමට නියමිතව තිබේ.
මෙම මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමග ලෝක වෙළෙඳපොලේ තෙල් මිල තවදුරටත් අඩුවී තිබිණි. බ්‍රහස්පතින්දා සවස මෙම සටහන ලියන අවස්ථාව වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇ. ඩොලර් 74 ක් ලෙසිනි. මෙම සතිය ආරම්භයේ මෙම මිල පැවතියේ ඇ. ඩොලර් 87 කට ආසන්න අගයක යි.
තෙල් මිල ඉක්මනින්ම යුද්ධයට පෙර පැවති මට්ටමට ළඟාවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග යුද ගැටුම් ආරම්භ වූයේ පෙබරවාරි 28 වැනි දින යි. පෙබරවාරි මුල් භාගයේ තෙල් බැරලයක මිල ඇ. ඩොලර් 70 කට ආසන්න අගයක පැවතිණි.
බදාදා ට්‍රම්ප් සහ පෙසේෂ්කියන් ගිවිසුමට අත්සන් තබා තිබුණ ද එය නිල වශයෙන්ම අත්සන් කෙරෙනු ඇත්තේ සිකුරාදා දින ස්විට්සර්ලන්තයේ දී බවක් ද සඳහන් විය. එය තවදුරත් අවශ්‍ය නොවිය හැකි බවක් ද ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබෙනු දැකිය හැකි විය.

ඉරාන යුද්ධය ආරම්භ වීමට බලපෑ ප්‍රධාන කාරණාවක් ලෙස සැලකුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තිබූ ගැටළු යි. ඉරානය වැඩි කල් නොගොස් න්‍යෂ්ටික අවි අත්පත් කරගනු ඇතැයි යන විශ්වාසයක් ඇමරිකාව ඇතුළු පාර්ශ්වය තුළ පැවති අතර ඉරානය එවැන්නක් කළහොත් එය තම ආරක්ෂාවට බරපතල තර්ජනයක් වනු ඇතැයි ඔවුහු සැලකූහ. එම නිසා ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම වැලැක්වීමේ වුවමනාවක් ඇමරිකාව සහ ඊශ්‍රායලය තුළ විය.
එමෙන්ම දැඩි ඇමරිකානු විරෝධී ස්ථාවරයක් දරන ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කර ඇමරිකාවට හිතවත් පාලන තන්ත්රයක් එහි ස්ථාපිත කිරීමේ වුවමනාව ඇමරිකානු පාර්ශ්වය තුළ පැවති බවක් ද විශ්වාස කෙරිණි. යුද්ධය ආරම්භ වූයේ මෙවැනි පසුබිමක් තුළ යි.
ඉරාන පාලන තන්ත්රය වෙනස් කිරීමක් දැන් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි නොවේ. කෙසේ නමුත් එරට න්‍යෂ්ටික වැඩසටහනට අදාල වගන්ති නම් ඉහත කී අවබෝධතා ගිවිසුමට ඇතුළත් වේ.
එහි 8 වැනි වගන්තිය මීට අදාල එකකි. න්‍යෂ්ටික අවි නොනිපදවීමට සහ මිල දී නොගැනීමට මෙයින් ඉරානය එකඟ වී ඇත. න්‍යෂ්ටික අවි නිශ්පාදනයේ දී යොදා ගැනෙන බල ගන්වන ලද යුරේනියම් යම් ප්‍රමාණයක් ඉරානය සතුව ඇති බව පිලිගැනේ. මෙම යුරේනියම් සම්බන්ධයෙන් ගන්නා පියවර පිලිබඳව ඉදිරි සාකච්ඡාවල දී එකඟතාවන් ඇති කර ගැනෙනු ඇත. ඒවා විනාශ කිරිමක් සිදුවනු ඇති බවට කතාවක් ද පසුගිය දිනවල සංසරණය වෙමින් තිබිණි.
සාම සාකච්ඡාවල දී ඉරානය පැත්තෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර ගත යුතුය යන්න යි. ඇමරිකාව මේ සඳහා මූලික වශයෙන් එකඟ වී තිබේ. අවබෝධතා ගිවිසුමේ 7 වැනි වගන්තිය ඊට අදාල එකකි.
සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව එකඟ වී ඇතත් ඊට අදාල කාල රාමුව නිශ්චිතව සඳහන් නොවේ. මේ සම්බන්ධයෙන් ද ඉදිරි කාලයේ තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත. ජනාධිපති ට්‍රම්ප් පවසමින් සිටියේ සම්බාධක ඉවත් කිරීම සිදුවන්නේ ඉරානය ඔවුන්ගේ වගකීම් ඉටු කරන ප්‍රමාණය අනුව බව ය.
විදේශ බැංකු වැනි මූල්‍ය ආයතනවල ඇති ඉරාන වත්කම් ද විශාල ප්‍රමාණයක් මේ වනවිට අත්හිටුවා තිබේ. ඇ. ඩොලර් බිලියන 100 කට වැඩි වත්කම් ප්‍රමාණයක් මේ ආකාරයෙන් අත්හිටුවා ඇතැයි සඳහන් ය. මෙම වත්කම් නිදහස් කිරීමට ද ඇමරිකාව එකඟ වී ඇත. නමුත් එය ද සිදුවනු ඇත්තේ ඉරානය ඔවුන්ගේ පැත්තෙන් ඉටු කළ යුතු කාරණා ඉටු කරන ප්‍රමාණය අනුව ය. ඉරානය තමුන් සතු බල ගන්වන ලද යුරේනියම් විනාශ කිරීම වැනි කාරණා මෙහි දී ඇමරිකාව බලාපොරොත්තු වෙයි.
අවබෝධතා ගිවිසුමේ අඩංගු 6 වැනි වගන්තිය ද ඉරානයට ඉතා වැදගත් වගන්තියකි. එයින් පැවසෙන්නේ ඉරානය නැවත ගොඩනැගීම සහ එරට ආර්ථික සංවර්ධනය උදෙසා ඇමරිකාව සහ ඔවුන්ගේ මැද පෙරදිග මිත්‍ර රටවල් එක්ව සැලැස්මක් ඇතිකරනු ඇති බව යි. මෙහි දී ඇ. ඩොලර් බිලියන 300 ක පමණ ආයෝජන සිදුවනු ඇති බවක් ද සඳහන් වේ.
අවබෝධතා ගිවිසුමේ අඩංගු 6 වැනි වගන්තිය ද ඉරානයට ඉතා වැදගත් වගන්තියකි. එයින් පැවසෙන්නේ ඉරානය නැවත ගොඩනැගීම සහ එරට ආර්ථික සංවර්ධනය උදෙසා ඇමරිකාව සහ ඔවුන්ගේ මැද පෙරදිග මිත්‍ර රටවල් එක්ව සැලැස්මක් ඇතිකරනු ඇති බව යි. මෙහි දී ඇ. ඩොලර් බිලියන 300 ක පමණ ආයෝජන සිදුවනු ඇති බවක් ද සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් විස්තර සඳහන් නොවේ. එම කාරණා සම්බන්ධයෙන් ද ඉදිරියේ දී සාකච්ඡා කෙරෙනු ඇත.
අවබෝධතා ගිවිසුමේ සඳහන් වන පරිදි ඇමරිකානු සම්බාධක ඉවත් වී, විදේශ වත්කම් ද නිදහස් වී, ඉහත කී සංවර්ධන සැලැස්ම ද ක්‍රියාත්මක වුවහොත් එය ඉරානයට ආර්ථික වශයෙන් විශාල ප්රතිලාභ අත්කර දෙන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙම තත්වය තුළ ඉරාන බලධාරීන් සහ මාධ්‍ය මෙම අවබෝධතා ගිවිසුම හඳුන්වන්නේ ඉරානය ලැබූ ලොකු ජයග්‍රහණයක් ලෙස සහ ඇමරිකාවේ පරාජයක් ලෙසිනි. ස්වාධීන ජාත්‍යන්තර විශ්ලේෂකයන් බොහෝ දෙනෙකු ද යම් දුරකට මෙය පිලිගන්නා ආකාරයක් දැකිය හැකි වේ.
නිහාල් පීරිස්