මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද (02) සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබුණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු අදියර කිහිපයක් යටතේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණි.ඒ අනුව පළමුව අඹේවෙල සිට බදුල්ල දක්වාත්, කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ විය.මේ වන විට නානුඔය සිට බදුල්ල දක්වාත්, නාවලපිටිය සිට හැටන් දක්වාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙයි.අද (02) සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ද යළි ආරම්භ කිරීමට නියමිතයි.
පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවෙන බව සඳහන්.අධික වැසි තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම අභියෝගයක් වී ඇති අතර, එම කටයුතු අවසන් කිරීමෙන් පසු මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකිවනවා.මේ අතර, ගම්පොළ – නාවලපිටිය සහ හැටන් – නානුඔය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව සඳහන්.
මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ 75%ක පමණ කොටසක දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය කාලසටහන අද (02) පස්වරුවේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර, නගරාන්තර දුම්රිය ද ඇතුළුව දිනකට දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නව කාලසටහනට අනුව කලින් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම ද මගීන්ට සලසා තිබේ.නගරාන්තර දුම්රිය අංක 1029 අද (02) සිට දිනපතා ධාවනය වන අතර, එය කොළඹ කොටුවෙන් පස්වරු 3.35ට පිටත් වී පස්වරු 5.56ට පේරාදෙණියට ළඟා වෙන බව සඳහන් වෙයි..
දුම්රිය අංක 1030 ඔක්තෝබර් 03 සිට දිනපතා ධාවනය වන අතර පේරාදෙණියෙන් පෙරවරු 6.25ට පිටත් වී පෙරවරු 8.44ට කොළඹ කොටුවට ළඟා වෙනවා.දුම්රිය අංක 1035 ඔක්තෝබර් 02 සිට දිනපතා ධාවනය වන අතර කොළඹ කොටුවෙන් පස්වරු 4.35ට පිටත් වෙයි.එය මරදාන, අලව්ව, පොල්ගහවෙල, රඹුක්කන සහ පේරාදෙණිය හරහා පස්වරු 7.51ට ගම්පොළට ළඟා වෙන බවයි සඳහන් වෙයි..
දුම්රිය අංක 1040 ඔක්තෝබර් 03 සිට දිනපතා ධාවනය වන අතර ගම්පොළින් පෙරවරු 4.35ට පිටත් වී පේරාදෙණිය, රඹුක්කන, පොල්ගහවෙල, අලව්ව සහ මරදාන හරහා පෙරවරු 8.06ට කොළඹ කොටුවට ළඟා වෙයි.දුම්රිය අංක 1037 ඔක්තෝබර් 02 සිට දිනපතා ධාවනය වන අතර, කොළඹ කොටුවෙන් පස්වරු 5.15ට පිටත් වී මරදාන සහ රඹුක්කන හරහා පස්වරු 7.53ට පේරාදෙණියට ළඟා වෙයි.
දුම්රිය අංක 1038 ඔක්තෝබර් 03 සිට දිනපතා ධාවනය වන අතර, පේරාදෙණියෙන් පෙරවරු 4.40ට පිටත් වී රඹුක්කන සහ මරදාන හරහා පෙරවරු 7.12ට කොළඹ කොටුවට ළඟා වෙයි.පොඩි මැණිකේ දුම්රිය (1005/1006) ද ඔක්තෝබර් 03 සිට දිනපතා ධාවනය කිරීමට නියමිතයි.ඒ අනුව, කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත් වන පොඩි මැණිකේ දුම්රිය පෙරවරු 8.34ට පේරාදෙණියටත්, පෙරවරු 9.06ට ගම්පොළටත් ළඟා වෙයි.
ගම්පොළින් පස්වරු 4.10ට පිටත් වන පොඩි මැණිකේ දුම්රිය පේරාදෙණියෙන් පස්වරු 4.31ට පිටත් වී පස්වරු 7.23ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.