ඩෙංගු හෝ වයිරස් උණ වැලඳී ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරුන් යැයි කියා ගන්නා ඇතැම් අය නියම මාත්‍රාවට පැරසිටමෝල් ඖෂධය ලබා නොදී ස්ටෙරොයිඩ් (steroids) ඖෂධ ලබා දෙමින් ‘වන් ෂොට්’ ප්‍රතිකාර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ජනතාවට දැනුම් දෙයි.
මේ පිළිබඳව ඩෙංගු සම්බන්ධ පැමිණිලි ලබාගන්නා දුරකථන අංක 0117966366 මෙන්ම 1999 හෝ 1907 යන ක්ෂණික අංකවලට පැමිණිලි කළ හැකියි.උණ වැලඳී පැය 48කට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (A Complete Blood Count) කරගැනීම අතිශය වැදගත් බවත්, රුධිර පට්ටිකා අඩුකර ගැනීමට උත්සාහ ගැනීම තේරුමක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.
තවද උණ වැලඳුණ පසු ‘වන් ෂොට්’ ඖෂධ ලබාදීමෙන් උණ අඩුවී ගියද ඔහුට හෝ ඇයට වැලඳී ඇත්තේ ඩෙංගු නම් ඊට පසුව විවිධ සංකූලතා මතුවී ජීවිත අවදානමකට ලක්වන බවද කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි. එවැනි ‘වන් ෂොට්’ ප්‍රතිකාර කරන අය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.