දළදා මාලිගාවේ පැරැණි කරඬුව මාරු කිරීම බරපතළ වරදක්: හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන් තිදෙනෙක් ඇමතිට ලියති


වසර 300කට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ හිඳුවා තිබූ, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශයින් වැදගත්, රිදියෙන් තනා රන් ආලේප කරන ලද පැරැණි කරඬුව ඉවත් කර එය වෙනුවට නව රන් කරඬුවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් සුවිසල් සමාජ කතිකාවක් ගොඩනැඟෙමින් පවතින මේ දිනවල, එම කරුණ මුල් කොටගෙන විශ්‍රාමික මහාචාර්ය සෙනරත් දිසානායක, ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග සහ මහාචාර්ය පී. බී. මණ්ඩාවල යන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ අත්සනින් යුතු ලිපියක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිඳුම සුනිල් සෙනෙවි වෙත යොමු කොට ඇති අතර, එහි පිටපතක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරයන් වෙත යොමු කොට තිබේ. මෙහි දැක්වෙන්නේ ඒ ලිපියයි.

දියවඩන නිලමේතුමනි,

දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර
දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

මේ සමඟ අප ගත් පියවර සම්බන්ධයෙන් වූ ලිපියක් ඔබ වෙත යොමු කරමු. එම ලිපිය ජාතික මාධ්‍යවලට හා සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කිරීමට පෙර ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට අප අපේක්ෂා කරමු. උතුම් වූ දළදා වහන්සේගේ සරණින් අප කරන යෝජනා පිළිගනු ඇතැයි සිතමු. අපගේ බලවත් ඉල්ලීම වනුයේ දළදා වහන්සේ නැවතත් පැරැණි කරඬුවේ තැන්පත් කිරීමයි. ඊට ඔබතුමාගේ යහපත් ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටිමු.

මහාචාර්ය සෙනරත් දිසානායක

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිඳුම සුනිල් සෙනෙවි මැතිතුමා,

ගරු අමාත්‍යතුමනි,

දළදා වහන්සේ වැඩ සිටින කරඬුව වෙනස් කිරීම හේතුවෙන් පැනනැඟී ඇති අර්බුදකාරී වාතාවරණය

හිනිඳුම සුනිල් සෙනෙවි
හිනිඳුම සුනිල් සෙනෙවි

උක්ත කරුණ සම්බන්ධයෙන් අප ඔබතුමා සමඟ 2026/09/14 දින සිදු කරන ලද සාකච්ඡාව හා බැඳේ. දළදා වහන්සේ වැඩ සිටි රිදියෙන් තනා රන් ආලේප කරන ලද පැරැණි කරඬුව ඉවත් කර එය වෙනුවට නව රන් කරඬුවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ තදබල කතාබහක් ඇති වී තිබෙන බව ඔබතුමා දනී. දළදා වහන්සේ වැඩ සිටි පැරැණි කරඬුව පූජා කරන ලද්දේ මහනුවර අවධියේ රාජ්‍යත්වයට පත් දෙවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1687–1707) රජු විසිනි. එතැන් පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා රජුන් හයදෙනෙකු හා සැදැහැවතුන් විසින් වසර 300කට අධික කාලයක් වන්දනාමාන කරන ලද්දේ එම කරඬුව තුළ වැඩවසන දළදා වහන්සේටයි.

දළදා මාලිගය පැරණි ස්මාරකයක් මෙන්ම ජාතික, ආගමික හා සංස්කෘතික ලෙස වැදගත් වන්නා වූ ස්මාරකයකි. එය නිරන්තරයෙන්ම දළදා වහන්සේ සමඟත්, එය වැඩවසන කරඬුව සමඟත්, මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සමඟත් අනවරතයෙන් බැඳී පවතී. ඒ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරවමු:

  • 1815 මාර්තු දෙවන දිනට වඩා පැරණි හෝ එසේ පැවතෙන්නේ යැයි විශ්වාස කරන ස්මාරකයක් පැරණි ස්මාරකයක් ලෙස පුරාවස්තු ආඥා පනතේ අර්ථ දැක්වේ. මෙම ඓතිහාසික දළදා මාලිග ගොඩනැඟිල්ල තනන ලද්දේ දළදා වහන්සේ සහ එය වැඩවසන කරඬුව තැන්පත් කරනු පිණිසය.
  • 1815 මාර්තු 02 දිනට පෙර පැවති හෝ එසේ පැවතෙන්නේ යැයි විශ්වාස කරන යම් චංචල දේපලක් පුරාවස්තුවකි. ඒ අනුව දළදා වහන්සේ වැඩවසන කරඬුව පුරාවස්තුවකි.
  • යුනෙස්කෝ සංවිධානය විසින් මහනුවර ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. එසේ නම් කිරීමට ප්‍රධාන නිමිත්ත වී ඇත්තේ දළදා මාලිගය හා දළදා වහන්සේයි. ඒ අනුව දළදා වහන්සේ වැඩ සිටින කරඬුව ඉවත් කිරීම මහනුවර ලෝක උරුම නගරයේ විශ්වීය වටිනාකමට බලපෑමක් ඇති කරයි.
  • පැරැණි ස්මාරකයක් විනාශ කිරීම හෝ වෙනස් කිරීම හා අයුතු ලෙස වෙනස් කිරීම 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ 15(ආ) වගන්තිය යටතේ බරපතළ වරදකි. දළදා කරඬුව දළදා මාලිගය යන පැරණි ස්මාරකයට ස්ථාවර ලෙස සවිකර තිබූ හෙයින් මෙය ස්මාරකයට කරන ලද විකෘති කිරීමක් හා අයුතු ලෙස වෙනස් කිරීමක් ලෙස සැලකිය හැකිය.
  • යම් තැනැත්තන් පංතියක් විසින් පූජනීය ලෙස හෝ ගෞරවාදරයෙන් හෝ සලකනු ලබන යම් ස්මාරකයක් මත, එය අසල, ආගමික හැඟීම් රිද්දවන හෝ ප්‍රකෝප කරවන අයුරින් යම් ක්‍රියාවක් සිදු කිරීම පුරාවස්තු ආඥා පනතේ 31(ආ) වගන්තිය යටතේ ඇප නොදෙනු ලබන බරපතළ වරදකි. දළදා මාලිගයේ පැරැණි කරඬුව ඉවත් කිරීම ජනතාවගේ ආගමික හැඟීම් රිද්දවීමටත් ප්‍රකෝප කිරීමටත් හේතුවක්ව ඇති බව සමාජ මාධ්‍යවල එන ජනතාවගේ ප්‍රතිචාර දෙස බැලූ කල පෙනී යයි.

ඒ අනුව පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු:

  • දළදා වහන්සේ නැවතත් පැරැණි කරඬුව තුළම ස්ථාපනය කිරීම.
  • පූජා කරන ලද රන් කරඬුවට ද එහි නිසි ගෞරවය ලබා දී, දළදා වහන්සේට පුදන ලද පූජා භාණ්ඩයක් ලෙස එම ස්ථානයේම හෝ වෙනත් සුදුසු ස්ථානයක තැන්පත් කිරීම.
  • උක්ත යෝජනාවන්ට එකඟ නොවන්නේ නම් අදාළ බලධාරීන් සම්බන්ධයෙන් පුරාවස්තු ආඥා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම.

උක්ත කරුණු කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

මෙයට, විශ්වාසී

  • විශ්‍රාමික මහාචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්
  • ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්
  • මහාචාර්ය පී. බී. මණ්ඩාවල, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩ බලන)

පිටපත්:

  • අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා
  • ලේකම්තුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
  • පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා
එතෙර - මෙතෙර