දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවකි. නමුත් එම කතිකාවන් බොහොමයක් මිනිස් සිත් සතන් තුළ හැඟීම් ආවේග පුබුදු කරන සුළු ඒවා බව පෙනේ. නමුදු වේගයෙන් සමාජය පුරා පැතිර යන එම කතිකාවන් විද්‍යාත්මක පදනමකින් තොර වීම බරපතල ගැටලුවකි.

ලොව පුරා සිදුකළ පර්යේෂණවලින් තහවුරු වී ඇති පරිදි, සියදිවි නසාගැනීම් වාර්තා කිරීමේ මෙවන් නොවිධිමත් ක්‍රමවේද තුළම අනුකාරක සියදිවි නසාගැනීම් (Copycat Suicide) ඇති කිරීමේ ප්‍රවණතාවක් පවතී. මනෝවිද්‍යාවේදී මෙය වර්තර් ආචරණය (Werther Effect) ලෙස හඳුන්වයි. මෙම සංකල්පය 1974 දී සමාජ විද්‍යාඥ ඩේවිඩ් පිලිප්ස් (David Phillips) විසින් විද්‍යාත්මකව තහවුරු කරන ලද්දකි.

ලෝක ප්‍රකට ජර්මානු ජාතික ජොහෑන් වුල්ෆ්ගැන්ග් ෆොන් ගොතේ (Johann Wolfgang von Goethe) විසින් 1774 දී ලියන ලද ‘The Sorrows of Young Werther’ (‘Die Leiden des jungen Werthers’) (තරුණ වර්තර්ගේ ශෝකාකූල වේදනාවන්) යනු ලෝක සාහිත්‍ය ඉතිහාසය උඩු යටිකුරු කළ සන්ධිස්ථානයක් බඳු නවකතාවකි. එය යුරෝපීය සාහිත්‍යයේ ‘Sturm und Drang’ (කුණාටුව සහ ආවේගය) නම් සාහිත්‍ය ප්‍රවණතාවයේ සහ පසුව බිහි වූ රොමෑන්තිකවාදයේ (Romanticism) ආරම්භක සලකුණක් ලෙස සැලකේ. නමුත් මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන වර්තර් අනුකරණය කළ එවක යුරෝපීය තරුණයන් ඔහුගේ චර්යාව අනුකරණය කරමින් දිවි නසා ගැනීමට පෙළඹීම බරපතල සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් විය. ඒ අනුව පසුව එම කෘතිය තහනම් කෙරුණු අතර, එම දිවි නසාගැනීමේ සංසිද්ධිය වර්තර් බලපෑම ලෙස ප්‍රකට විය.

ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ හෝ නාට්‍යානුසාරී ලෙස වාර්තා වූ සියදිවි නසාගැනීමකින් පසු ඊට සමාන ක්‍රම භාවිතා කරමින් සිදුවන මරණ 10-12% කින් ඉහළ යන බව සමාජ විද්‍යාඥ ඩේවිඩ් පිලිප්ස් පෙන්වා දුන්නේය. මේ නිසා, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2017 දී නිකුත් කළ ‘Preventing Suicide: A Resource for Media Professionals’ උපදෙස් මාලාව මගින් අවධාරණය කොට ඇත්තේ දිවි නසාගැනීම් හා සම්බන්ධ මරණයේ ක්‍රමය, ස්ථානය, අවසන් සටහන, ඡායාරූප හෝ වීඩියෝ පළ කිරීම සෘජුවම එම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් තුළ අනුකරණ පෙළඹවීමක් ඇති කරන බවයි. මීට විකල්පයක් ලෙස ඔවුන් යෝජනා කරන්නේ ඊට සාපේක්ෂව පැපජෙනෝ ආචරණය (Papageno Effect) හෙවත්, උපකාර පැතීමෙන් ජීවිතය යළි ගොඩනගාගත් කථා සහ උපකාරක සේවා පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සියදිවි නසාගැනීම් අවම කළ හැකි බවයි. නමුත් අපේ රට ඒ සම්බන්ධයෙන් අද වන විටත් පවතින්නේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක ය.

මෙම තත්ත්වය හමුවේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ (Forensic Science & Criminology) මූලික සීමාව වන්නේ මරණය කුමක්ද යන්න මිස, එය සිදු වීමට බලපෑ ගැඹුරු හේතුව – ‘ඇයි?’ යන්න – සෙවීම නොවේ. එහිදී යම් මරණයක් ඝාතනයක් (Homicide), සියදිවි නසාගැනීමක් (Suicide) හෝ අනතුරක් (Accident) ද යන්න වෙන්කර හඳුනා ගැනීමට නීතියට අවශ්‍ය වන්නේ භෞතික සාක්ෂිවල නිරීක්ෂණය කළ හැකි සහ සනාථ කළ හැකි භෞතික සාක්ෂි ප්‍රමාණය පමණි.

මරණ පරීක්ෂණ වාර්තාව (Autopsy Report), තුවාලවල ස්වභාවය (Nature of Injuries, Wound Track, Vital Reactions), මෘත ශරීරය පිහිටි ස්ථානය, මරණ පරීක්ෂණ විද්‍යාත්මක ලක්ෂණ (Rigor Mortis, Livor Mortis), භාවිත කළ උපකරණ, ඇඟිලි සලකුණු, DNA සහ ඩිජිටල් සාක්ෂි (Digital Evidence) මත පදනම්ව යමකු වෙත පැවරිය හැකි අපරාධමය වගකීමක් (Criminal Liability) තිබේදැයි සෙවීම නීතියේ ප්‍රමුඛතාවය වේ. යම් මරණයක් තමන් විසින්ම සිදුකරගෙන ඇති බව භෞතිකව තහවුරු වූ සැණින්, අපරාධයක් සිදුව නැතැයි නීතිය නිගමනය කරයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ. නමුත්, 296 වගන්තිය යටතේ සියදිවි නසාගැනීමට අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදකි.

කෙසේ වුවත්, මරණ පරීක්ෂණ වාර්තාවෙන් සනාථ වන අන්දමට සියදිවි නසාගැනීම හුදු කායික ක්‍රියාවක් පමණක් නොවේ. එය 90% කට වඩා වැඩි අවස්ථාවලදී යටින් පවතින මනෝමය හේතූන් මත පදනම් වන්නකි. සායනික විශාදය (Major Depressive Disorder), බයිපෝල අක්‍රමිකතාව, මත්ද්‍රව්‍ය භාවිතය, දැඩි පෞරුෂත්ව ආතතිය (Personality Vulnerability) හෝ දරාගත නොහැකි මනෝ-සමාජීය පීඩනයක අවසාන ප්‍රතිඵලයයි. ස්නායු ජීව විද්‍යාව (Neurobiology) මගින් ද තහවුරු කර ඇති පරිදි, මෙවැනි පුද්ගලයන්ගේ මොළයේ සෙරොටොනින් (Serotonin) වැනි ස්නායු සම්ප්‍රේෂකවල අසමතුලිතතාවක් සහ තීරණ ගැනීමේ හැකියාව පාලනය කරන ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් (Prefrontal Cortex) හි ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් සිදුවේ. නමුත් අධිකරණ නිගමනයකට මෙම අභ්‍යන්තර මනෝ-ජීව විද්‍යාත්මක යථාර්ථය සෘජුව දායක වන්නේ ඉතා කලාතුරකිනි.

වත්මන් නීති පද්ධතිය තුළ සියදිවි නසාගැනීමක මානසික පැතිකඩ සලකා බලන ප්‍රධාන අවස්ථා දෙකක් හඳුනාගත හැකිය.

පළමුවැන්න, සියදිවි නසාගැනීමට අනුබල දීම (Abetment of Suicide) විමර්ශනය කිරීමයි. එහිදී යම් පුද්ගලයෙකුගේ තීරණයට වෙනත් අයෙකුගේ ක්‍රමානුකූල තර්ජනය, බරපතල හිරිහැරය, කප්පම් ගැනීම් (Blackmail) හෝ සයිබර් හිරිහැර කිරීම් (Cyber Harassment) හේතු වී ඇත්දැයි සෙවීමේදී, මියගිය අයගේ සියදිවි නසාගැනීමේ සටහන් (Suicide Notes), කෙටි පණිවිඩ (Text Messages), දිනපොත් සහ සමාජ මාධ්‍ය හැසිරීම් විමර්ශනය කෙරේ. මෙහිදී සාපරාධී චේතනාව (Mens Rea) සොයන්නේ මියගිය අයගෙන් නොව, අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයා වෙතිනි.

දෙවැන්න, මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයයි (Psychological Autopsy). මෙය භෞතික මරණ පරීක්ෂණයකට වඩා වෙනස්, වඩා පුළුල් ක්‍රියාවලියකි. 1950 ගණන්වලදී එඩ්වින් ෂ්නේඩ්මන් (Edwin Shneidman) සහ නෝමන් ෆාබරෝ (Norman Farberow) විසින් ලොස් ඇන්ජලීස් හි හඳුන්වා දුන් මෙම ක්‍රමයේදී, විමර්ශකයින්, මනෝ වෛද්‍යවරුන් සහ පොලීසිය එක්ව මියගිය තැනැත්තාගේ අවසාන සති හෝ මාසවල හැසිරීම් රටාව, මානසික වෛද්‍ය ඉතිහාසය, ප්‍රතිකාර ලබාගැනීමේ ස්වභාවය, පවුලේ ප්‍රකාශ, මූල්‍ය මෙන්ම සබඳතා බිඳවැටීම් ප්‍රතිනිර්මාණය කරයි. එහි අරමුණ වරදකරුවෙකු සෙවීම නොව, “ඇයි මෙය සිදුවුණේ?” යන්න විද්‍යාත්මකව තේරුම් ගැනීම ය. මෙවන් ඛේදවාචක වැළැක්වීම අනිවාර්ය අවශ්‍යතාවකි. නමුත් ශ්‍රී ලංකාවේ තවමත් මෙම ක්‍රමය විධිමත්ව ස්ථාපිත වී නැති අතර අඩුම තරමින් එහි අගය වත් තේරුම් ගෙන නැත.

සියදිවි නසාගැනීම යනු තනි හේතුවක් මත සිදුවන්නක් නොව, එය ජීව-මනෝ-සමාජීය (Bio-Psycho-Social) සාධක ගණනාවක සංකීර්ණ අන්තර්ක්‍රියාවකි. ජීව විද්‍යාත්මක හා මානසික රෝගී තත්ත්වයන් – ජානමය නැඹුරුව, මොළයේ රසායනික වෙනස්කම් සහ දිගුකාලීන විශාදය, මනෝවිද්‍යාත්මක සාධක – අධික කෝපය, පළිගැනීමේ චේතනාව, බලාපොරොත්තු සුන්වීම, තමන් අන් අයට බරක්ය යන හැඟීම (Perceived Burdensomeness) මෙන්ම සමාජ-සංස්කෘතික සාධක – ආගමික වැරදි ව්‍යාඛ්‍යාන, සමාජ අපකීර්තියට ඇති බිය, ණය බර, විභාග පීඩනය සහ ප්‍රේම සබඳතා බිඳවැටීම – මීට බලපායි. එබැවින්, එම කරුණු මත පදනම් වන “මානසික සහ ස්නායු ජීව විද්‍යාත්මක බිඳවැටීම” යන ප්‍රධාන ගාමක බලවේගය නොසලකා, නීතිය සහ සමාජය විසින් භෞතික ක්‍රියාවලිය පමණක් සලකා බලා නිගමනයකට ඒම මුළු යථාර්ථයම අනාවරණය කිරීමක් නොවේ.

මෙම පුද්ගල හා සමාජ ඛේදවාචකය අවම කිරීම සඳහා අප කළ යුත්තේ දිවි නසාගැනීමක් යනු කුතුහලය දනවන පුවතක් වුවත් එය අවිචාරවත් ලෙස පතුරුවා හැරීම බරපතල සමාජමය අගතියක් නිර්මාණය කරන්නකි, එනිසා කළ යුත්තේ, විද්‍යාත්මක මංපෙත් ඔස්සේ ලද විමසුම් ප්‍රතිඵල ජනතාව අතරට ගෙන යාමයි. ඒ සඳහා, මාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිතයේදී WHO මාර්ගෝපදේශ අනුගමනය කරමින් මරණයේ ක්‍රමය හෝ ස්ථානය ආදී මූල සාධක විස්තර නොකිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණ (Psychological Autopsy) වැනි විද්‍යාත්මක ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය පද්ධතියට හඳුන්වා දීම සහ දිවිනසාගැනීම දුර්වලකමක් ලෙස නොව ප්‍රතිකාර කොට වලකා ගත හැකි මානසික සෞඛ්‍ය ගැටලුවක් ලෙස දකින සාක්ෂරතාවක් සමාජය තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

ඒ සඳහා අවශ්‍ය වන්නේ දිවිනසාගැනීම අපරාධයක් හෝ රසාලේපිත පුවතක් ලෙසින් පමණක් නොව, වේදනාව තේරුම් ගන්නා මානවීය සහ විද්‍යාත්මක ඇසකින් ද බැලීමට සමාජය හුරු පුරුදු වීමයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඉරා අදුරුපට