නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට රැගෙන ආ බවට වාර්තා කර තිබූ රුපියල් මිලියන 16.6කට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොග තුනක් බලාගාරයට නොලැබීම සම්බන්ධයෙන් පුත්තලම පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධ සමාගමක් වන Electricity Generation Lanka (Pvt) Ltd. කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇති අතර, බලාගාරයේ අභ්‍යන්තර විගණනයකදී සිද්ධිය අනාවරණය වී ඇත.විගණනයේදී 2025 දෙසැම්බර් මාසයේ ඩීසල් බවුසර් දෙකක සහ 2026 ජනවාරි මාසයේ තවත් බවුසරයක තොග බලාගාරයට ලැබී නොමැති බව හෙළි වී තිබේ. එහෙත් එම තොග ලැබුණු බවට ගබඩා භාරකරුගේ ලේඛනවල සටහන් කර තිබූ අතර, බලාගාරයේ ප්‍රධාන දොරටු දෙකේ ආරක්ෂක ලේඛන පරීක්ෂා කිරීමේදී එම බවුසර් බලාගාරයට ඇතුළු වී නොමැති බව අනාවරණය වී ඇත.අදාළ ඩීසල් වෙනුවෙන් බලාගාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුදල් ගෙවා ඇති බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගබඩා භාරකරුගේ වැඩ තහනම් කර ඇති අතර, ඔහු, අදාළ බවුසර් රියැදුරු සහ සහායකයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.මෙය හුදකලා සිද්ධියක්ද නැතහොත් දිගුකාලයක් පැවති ක්රමවේදයක කොටසක්ද යන්න සොයා බැලීම සඳහා විමර්ශන පුළුල් කර ඇති අතර, අභ්‍යන්තර විගණනයේදී තවත් අක්‍රමිකතාද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.මේ අතර, ලක්විජය බලාගාරයේ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම පරීක්ෂණ පවත්වමින් සිටින පසුබිමක මෙම ඩීසල් සිද්ධිය අනාවරණය වීමද විශේෂත්වයකි.