ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම සේවාවන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව සිදු කරන බවද අමාත්‍යාංශය කියා සිටියි.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අනුරාධපුරය දක්වා ගමන් කරන බස් රථවල ගමන් වාර වැඩිකර ඇති බවත් අවශ්‍ය අවස්ථාවක සේවයට එක්කිරීමට අමර බස් රථ 359 ඇණියක් සූදානම් කර ඇතැයි ලංගම සභාපති සජීව නන්දන කනකරත්න මහතා ‘දිනමිණ’ට පැවැසීය. අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථ 400ක් ධාවන කටයුතු සඳහා එක්කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
“මහනුවර සහ කුරුණෑගල ඩිපෝවලට අයත් මිකැනික්වරුන්ගේ සංචිතයක් අනුරාධපුරයට කැඳවා තිබේ. අවශ්‍ය අලුත්වැඩියා සිදු කිරීමට. ලංගමට අයත් නවාතැන්පොළ කිහිපයක් රියැදුරන්, කොන්දොස්තරවරුන්ට නවාතැන් සඳහා වෙන්කර තිබේ. පසුගිය 14දා අපි එහි විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා මේ කටයුත්ත වෙනුවෙන්” යැයිද හෙතෙම වැඩිදුරටත් පවසයි.
එසේම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවද විශේෂ බස් රථ ඇණියක් මේ සඳහා අනුයුක්ත කර තිබේ. ජාතික පොසොන් උත්සවයට යන මගීන් සඳහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ ඇතුළු දුම්රිය ගමනාන්තවල සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක දෛනික දුම්රියන්ට අමතරව ක්‍රියාත්මක කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ධාවන කාලසටහන ඉදිරියේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.