
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහජනතාවට ය. එම බලයේ හදවත බඳු වූ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රජය සහ නිලධාරීන් කටයුතු කළ යුත්තේ “පොදු භාරකාරත්ව” මූලධර්මය (Public Trust Doctrine) මත ය. එහෙත්, මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 800කට ආසන්න මහජන මුදලක්, නිසි සොයා බැලීමකින් තොරව හැකර්වරුන්ගේ ගිණුමකට බැර කර, මාස තුනක් යනතුරුත් එය “රහසක්” ලෙස තබා ගැනීම යනු හුදෙක් පරිපාලන දෝෂයක් නොව, ජාතික අපරාධයකි.
පොදු භාරකාරත්වය සහ අධිකරණ පූර්වාදර්ශ
ශ්‍රී ලංකා නීතියට අනුව රාජ්‍ය නිලධාරීන් යනු මහජන දේපළවල අයිතිකරුවන් නොව එහි භාරකරුවන් ය. මෙම මූලධර්මය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බුලන්කුලම සහ පිරිස එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (2000) 3 SLR 243 හෙවත් ප්‍රසිද්ධ “එප්පාවල නඩුවේදී” ඉතා පැහැදිලිව තහවුරු කරන ලදී. එහිදී ප්‍රකාශ වූයේ රජය සහ නිලධාරීන් මහජන සම්පත්වල භාරකරුවන් (Trustees) වන බැවින්, ඔවුන් එම සම්පත් ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.
ශ්‍රී ලංකා නීතියට අනුව රාජ්‍ය නිලධාරීන් යනු මහජන දේපළවල අයිතිකරුවන් නොව එහි භාරකරුවන් ය. මෙම මූලධර්මය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බුලන්කුලම සහ පිරිස එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (2000) 3 SLR 243 හෙවත් ප්‍රසිද්ධ “එප්පාවල නඩුවේදී” ඉතා පැහැදිලිව තහවුරු කරන ලදී. එහිදී ප්‍රකාශ වූයේ රජය සහ නිලධාරීන් මහජන සම්පත්වල භාරකරුවන් (Trustees) වන බැවින්, ඔවුන් එම සම්පත් ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.
එසේම, ගාමිණී සෙනරත් එදිරිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (SC/TAB/01/2019) නඩුවේදී සාකච්ඡා වූ පරිදි, රජයට අයත් මුදල් වෙනත් පාර්ශ්වයකට වාසි වන අයුරින් යෙදවීම හෝ එසේ වීමට ඉඩ හැරීම අල්ලස් පනත යටතේ “දූෂණය” (Corruption) යන වරදට අදාළ විය හැකිය. කෝටි 800ක් හැකර්වරුන් අතට පත්වීමට සැලැස්වීම මෙම නීතිමය පදනම යටතේ දැඩි දණ්ඩනයට යටත් විය යුතු කරුණකි.
අමාත්‍යාංශ ලේකම්වරයකු සතු ව්‍යවස්ථාපිත වගකීම
අමාත්‍යාංශ ලේකම්වරයා යනු හුදෙක් පරිපාලන නිලධාරියෙකු පමණක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍යාංශයේ පාලනය ලේකම්වරයා සතු වන අතර, ඔහු එම විෂය පථයට අදාළ “ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා” (Chief Accounting Officer) වේ.
විලියම් එදිරිව මුදල් අමාත්‍යාංශයේ ලේකම් [2002] 3 SLR 54 නඩුවේදී තහවුරු වූ පරිදි, රාජ්‍ය නිලධාරියෙකු තම තනතුරේ වගකීම් ඉටු කිරීමේදී ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසිවලට අනුකූලව යුක්තිසහගතව කටයුතු කළ යුතුය. මුදල් රෙගුලාසි FR 124, 125 සහ 128 අනුව, තම අමාත්‍යාංශය යටතේ සිදුවන සෑම මූල්‍ය ගනුදෙනුවකම නිරවද්‍යතාව සහ ආරක්ෂාව පිළිබඳව ඔහු පෞද්ගලිකවම වගකීමට බැඳී සිටී.
වර්තමාන මුදල් ලේකම්වරයා වෘත්තීය දේශපාලකයෙකු ලෙස සිට සෘජුවම මෙම ධූරයට පත් වූ, රාජ්‍ය පරිපාලන අත්දැකීම් නොමැති අයෙකු වුවද, එම “නොදැනුවත්කම” නීතිය හමුවේ නිදහසට කරුණක් කරගත නොහැක. එවැනි සුදුසුකම් නොමැති අයෙකු මෙවැනි තීරණාත්මක තනතුරක රැඳී සිටීමම රාජ්‍ය මූල්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමක් ලෙස සැලකිය හැකිය.

“හැකර්වරුන් පලායාවි” යන බොළඳ තර්කය: නීතිය හමුවේ වලංගුද?
මාස තුනක නිහඬතාවයෙන් පසු, ස්වාධීන නීතිඥ පාර්ශ්වයක් විසින් මෙම වංචාව අනාවරණය කළ විට ලේකම්වරයා පවසන්නේ, “හැකර්වරුන් පලා යාමට හැකි බැවින්” රහසක් ලෙස තබාගත් බවයි. මෙය නීතිය නොදන්නා සාමාන්‍ය වැසියෙකු මුලා කිරීමට කරන බොළඳ ප්‍රකාශයකි.
- පාර්ලිමේන්තු මූල්‍ය පාලනය උල්ලංඝනය: ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පොදු මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුය. ලේකම්වරයාට තනි තීරණයකින් මෙවැනි මහා පරිමාණ පාඩුවක් ව්‍යවස්ථාදායකයෙන් වසන් කිරීමට බලයක් නැත.
- වගකීම පැහැර හැරීම: රවි කරුණානායක එදිරිව නීතිපති (CA/WRIT/156/2020) නඩුවේදී අවධාරණය වූයේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තීරණ ගන්නා නිලධාරීන් මහජනතාවට වගකීමට (Accountability) බැඳී සිටින බවයි. අපරාධයක් සිදුවී ඇති බව දැන දැනත් මාස තුනක් යනතුරු පොලිසියට හෝ අධිකරණයට නොදැන්වීම මඟින් “අපරාධයක් වසන් කිරීමේ” (Concealing an offence) සෘජු වගකීම නිලධාරීන් වෙත පැවරේ.
ජාත්‍යන්තර අත්දැකීම්: පුවර්ටෝ රිකෝ සහ බංග්ලාදේශ මංකොල්ලයන්
මෙවැනි මූල්‍ය වංචා ලෝකයේ වෙනත් රටවල ද සිදුවී ඇති අතර, ඒ හමුවේ එම රටවල් ක්‍රියා කළ ආකාරය අපට මහඟු පාඩමකි:
- පුවර්ටෝ රිකෝ (2020): රජයට සේවාවන් සපයන ආයතනයක් ලෙස පෙනී සිටිමින් හැකර්වරුන් එවූ ව්‍යාජ ඊමේල් පණිවිඩයක් නිසා ඩොලර් මිලියන 2.6ක් වංචාකාරී ගිණුමකට බැර විය. එහිදී සිදු වූයේ ද ලංකාවේ මෙන් නිලධාරීන් විසින්ම මුදල් බැර කිරීමයි. එහෙත් වංචාව හෙළි වූ වහාම FBI ආයතනය මැදිහත් වූ අතර, වගකීම පැහැර හැරීම (Gross Negligence) මත එරට ඉහළ නිලධාරීන්ට ධූර අහිමි විය. ඒ අනුව පුවර්ටෝ රිකෝ හි කාර්මික සංවර්ධන සමාගමේ (PRIDCO) විධායක අධ්යක්ෂ මැනුවෙල් ලැබෝයි (Manuel Laboy) ඇතුළු ඉහළ නිලධාරීන්ට වහාම ඉල්ලා අස්වීමට සිදු විය. එසේම මුදල් බැර කිරීමට අනුමැතිය දුන් නිලධාරීන්ගේ “ව්‍යවස්ථාපිත වගකීම” පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව (Department of Justice) පියවර ගත්තේය.
- බංග්ලාදේශය (2016): හැකර්වරුන් බැංකු පද්ධතියට ඇතුළු වී ඩොලර් මිලියන 81ක් සොරකම් කළහ. සිද්ධිය අනාවරණය වූ වහාම එරට මහ බැංකු අධිපතිවරයා වගකීම භාරගෙන ධූරයෙන් ඉල්ලා අස්විය.
මෙම රටවල් දෙකේදීම කිසිදු නිලධාරියෙකු “හැකර්වරුන් පලා යාවි” යන බොළඳ තර්කය මත නීතියෙන් තොරතුරු වසන් කළේ නැත.
මහජනතාවට ගත හැකි නීතිමය පියවර
නිලධාරීන් වගකීම මගහරින්නේ නම්, පුරවැසියන් ලෙස අපට ඇති බලතල මෙසේය:
- ක්වෝ වොරන්ටෝ (Quo Warranto) රිට් ආඥාව: අදාළ ලේකම්වරයා රාජ්‍ය පරිපාලන පළපුරුද්දක් නොමැතිව පත්වී ඇති බැවින්, ඔහු එම ධූරය දැරීමට ඇති නීත්‍යානුකූල සුදුසුකම ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.
- මැන්ඩාමුස් (Mandamus) රිට් ආඥාව: තම නෛතික වගකීම ඉටු කරන ලෙස (විමර්ශන ඇරඹීමට සහ පොලිස් පැමිණිලි කිරීමට) නිලධාරීන්ට බල කරමින් මෙම රිට් ආඥාව ලබාගත හැකිය.
- මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම: ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය උල්ලංඝනය වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකිය.
නිලධාරීන් මහජනතාවට වගකීමට බැඳී සිටින බවත්, ඔවුන් නීතියට ඉහළින් නොසිටින බවත් පෙන්වා දීමට ජන මාධ්‍ය මඟින් ප්‍රකාශ නිකුත් කරමින් නොසිට, බුද්ධිමත් වගකිවයුතු පුරවැසියන් නීති මඟින් ක්‍රියා කිරීමට කටයුතු කිරීම අවශ්‍යව පවතී. මන්ද, නිහඬව සිටීම යනු අපරාධයට අනුබල දීමකි.
මහජන මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 800ක් බාහිර පුද්ගලයෙකුගේ ගිණුමකට බැර කිරීම පිළිබඳ තොරතුරු වසන් කිරීම ප්රජාතන්ත්රවාදී රටක අනුමත කළ නොහැකි ක්‍රියාවකි. අනාවරණය වූවාට පසු ඒ සම්බන්ධයෙන් විහිළු සහගත ප්‍රකාශ කිරීම මහජනයාගේ බුද්ධියට කරන නිගාවකි. රාජ්‍ය සේවය යනු මහජනතාවගේ විශ්වාසය මත පදනම් වූවකි. නිලධාරීන් මහජනතාවට වගකීමට බැඳී සිටින බවත්, ඔවුන් නීතියට ඉහළින් නොසිටින බවත් පෙන්වා දීමට ජන මාධ්‍ය මඟින් ප්‍රකාශ නිකුත් කරමින් නොසිට, බුද්ධිමත් වගකිවයුතු පුරවැසියන් නීති මඟින් ක්‍රියා කිරීමට කටයුතු කිරීම අවශ්‍යව පවතී. මන්ද, නිහඬව සිටීම යනු අපරාධයට අනුබල දීමකි.
නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ