පසුගිය ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් වේදිකාවන්හිදී ආණ්ඩු පාර්ශ්වය විසින් අධිකරණ පද්ධතිය සහ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ජාතික නිදහස් පෙරමුණ දැඩි ලෙස හෙළා දකී. නිවේදනයක් නිකුත් කරමින් එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රජයේ වගකිවයුතු පාර්ශවයන් විසින් අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි බලවත් සැකයක් හා අවිශ්වාසයක් මතු වන අන්දමේ ප්‍රකාශ රැසක් එදින සිදුකර ඇති බවයි.
විශේෂයෙන්ම, ඉදිරියේදී අධිකරණය මගින් ලබා දීමට නියමිත තීන්දු සහ ඒවා ප්‍රකාශයට පත් කරන දින වකවානු පවා ප්‍රසිද්ධියේ සඳහන් කරමින්, එම තීන්දු අත්පොළසන් දී පිළිගැනීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා ජනතාවට ඇරයුම් කිරීම බරපතළ තත්ත්වයක් බව වීරවංශ මහතා අවධාරණය කරයි. මෙවැනි ප්‍රකාශ මගින් මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවට සාධාරණ සැකයක් මතු නොවනවාදැයි ප්‍රශ්න කරන ඒ මහතා, ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිදුකළ මෙම ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නකාරී වාතාවරණයක් නිර්මාණය කරන බවද පෙන්වා දෙයි.
මෙරට අධිකරණ පද්ධතියේ සහ විනිසුරුවරුන්ගේ ගෞරවනීය භාවිතය පිළිබඳව මහජනතාව තුළ අනියත බියක් සහ සැකයක් ඇති කිරීමට මෙවැනි දේශපාලන ප්‍රකාශ හේතු වන බවත්, එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බවත් ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.