
බන්ධනාගාර තුළ හටගන්නා ගැටුම් සහ අර්බුද පිළිබඳව යළිත් අසන්නට ලැබෙමින් පවතී. එහෙත් මේවා නූතන සමාජයට අරුම හෝ ආගන්තුක දෙයක් නොවේ. මානව ඉතිහාසයේ ආදිතම යුගවල සිටම සිරකුටි, සිරමැදිරි සහ සිර කඳවුරු තුළ රඳවා සිටින පුද්ගලයන් විවිධ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට යොමුවීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කර ඇත. ඓතිහාසිකව බලන කල, බන්ධනාගාරය පුද්ගලයෙකු සමාජයට යහපත් ලෙස බද්ධ කරන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නොවේ. එය පාලකයන්ගේ හෝ බලධාරීන්ගේ පළිගැනීමේ සහ මර්දනයේ උපකරණයක් ලෙස පැවති බවට තොරතුරු ලැබී තිබේ. පුරාණ රෝමයේ කැපිටොලීන් කඳු වැටිය පාමුල තිබූ අති අමානුෂික වධ බන්ධන සහිත ‘මැමර්ටයින්’ (Mamertine) සිරගෙයි සිට මධ්‍යකාලීන යුරෝපයේ දිය යට පිහිටි හිරකුටි දක්වා රැඳවියන් කුසගින්නේ සහ දැඩි අන්ධකාරයේ තැබීම සාමාන්‍ය දණ්ඩන ක්‍රමවේදයක් විය. පසුව 18 වන සියවසේ අගභාගයේදී ජෙරමි බෙන්තම් (Jeremy Bentham) විසින් ඉදිරිපත් කරන ලද ‘පැනොප්ටිකන්’ (Panopticon) නම් සංකල්පය මගින් නිරන්තර නිරීක්ෂණය සහ රැඳවියන් බියගැන්වීම මූලික කරගත් වටකුරු ගොඩනැඟිලි සහිත බන්ධනාගාර සංස්කෘතියක් ලෝකයට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ බෝගම්බර සහ වැලිකඩ වැනි පැරණි බන්ධනාගාර නිර්මාණය වූයේ ද මෙම දර්ශනය පදනම් කරගෙනය. එවන් අර්බුදකාරී අවස්ථාවලදී රැඳවියන් පාලනය කිරීම පිණිස බන්ධනාගාර පාලකයන් අතීතයේ සිටම යොදා ගත් මූලික උපක්‍රමය වූයේ දැඩි කායික හා මානසික වධහිංසා පැමිණවීමයි. එහෙත්, මෙමගින් ලැබුණේ තාවකාලික නිහඬතාවයක් පමණක් වූ අතර, රැඳවියන් තුළ පැවති අභ්‍යන්තර වෛරය සහ ප්රචණ්ඩත්වය දෙගුණ තෙගුණ වීමට එය හේතු විය. එමගින් පැහැදිලි වන්නේ බලය සහ ප්රචණ්ඩත්වය යොදාගනිමින් ප්රචණ්ඩත්වය යටපත් කිරීමට දැරූ ඓතිහාසික උත්සාහයන් මුළුමනින්ම අසාර්ථක වූ බවයි.

වත්මන් බන්ධනාගාර අර්බුදය කිසියම් බාහිර කණ්ඩායමක් විසින් සූක්ෂමව සැලසුම් කරන බවට පැවසෙන කතා වලට වඩා ඒ සම්බන්ධ මනෝ විද්‍යාත්මක මූල සාධක කොතෙකුත් තිබේ. සිරගතව සිටින පුද්ගලයන්ගේ මෙවන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් සඳහා මූලිකම සාධකය ලෙස නූතන විද්‍යාව හඳුනාගන්නේ පුද්ගලයෙකුගේ නිදහස අහිමිවීම සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වන අසාමාන්‍ය පරිසරය තුළ ඔවුන් අත්විඳින දැඩි මානසික පීඩනයයි. ඒ අනුව එය එක් බන්ධනාගාරයකින් තවත් බන්ධනාගාර වෙත සන්නිවේදනය වීමත් සමඟ අනුකාරක ප්රචණ්ඩත්වයක් මතු විය හැකිය. 1958 දී ඇමරිකානු සමාජ විද්‍යාඥ ග්රෙෂම් සයික්ස් (Gresham Sykes) විසින් ඉදිරිපත් කරන ලද ‘සිරගතවීමේ අහිමිවීම් පහ’ (Pains of Imprisonment) සංකල්පයට අනුව, නිදහස, භාණ්ඩ හා සේවා, ස්වයංක්‍රීය ලිංගික සබඳතා, ස්වාධීනත්වය සහ පෞද්ගලික ආරක්ෂාව යන මානුෂීය අවශ්‍යතා එකවර අහිමි වීම පුද්ගලයා තුළ දැඩි කාංසාවක් සහ අනන්‍යතාවය බිඳවැටීමක් ඇති කරයි. එසේම, 1971 දී මනෝවිද්‍යාඥ පිලිප් සිම්බාඩෝ (Philip Zimbardo) විසින් සිදුකරන ලද ප්‍රසිද්ධ ‘ස්ටැන්ෆර්ඩ් සිරගෙදර පරීක්ෂණය’ (Stanford Prison Experiment) මගින් තහවුරු වූයේ සාමාන්‍ය මානසික මට්ටමක සිටි ශිෂ්‍යයන් පවා බන්ධනාගාර පරිසරයක ආරක්ෂකයින් ලෙස බලය ලැබූ විට අතිශය කෲර වූ අතර, සිරකරුවන් ලෙස රඟපෑ අය දැඩි මානසික බිඳවැටීමට ලක්වූ බවයි. ස්නායු-ජීව විද්‍යාත්මක (Neurobiological) කෝණයකින් බලන කල, තදබදය, ශබ්දය, අඳුර සහ නින්ද නොමැතිකම වැනි සාධක නිසා සිරකරුවන්ගේ මොළයේ ආතති හෝමෝනයක් වන කෝටිසෝල් (Cortisol) මට්ටම සීඝ්රයෙන් ඉහළ යයි. මෙය මොළයේ තර්කානුකූල තීරණ ගන්නා ‘ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස්’ (Prefrontal Cortex) කොටස අඩපණ කර, කෝපය සහ රෝෂය පාලනය කරන ‘ඇමිග්ඩලා’ (Amygdala) කොටස අධි-ක්‍රියාකාරී තත්ත්වයට පත් කරයි. මෙයින් පැහැදිලි වන්නේ බන්ධනාගාර අර්බුද යනු “නරක මිනිසුන්ගේ නරක හැසිරීමක්” පමණක් නොව, අසාමාන්‍ය පරිසරයකට මිනිස් මනස සහ ශරීරය දක්වන ස්වාභාවික ප්‍රතිචාරයක් බවයි. මෙය අප ඉතා හොඳින් වටහා ගත යුතු විද්‍යාත්මක යථාර්ථයකි.

මෙකී විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක යථාර්ථයන් හමුවේ, බන්ධනාගාර රැඳවියෙකුට අධිකරණය මගින් නියම කර ඇති දණ්ඩනයට (එනම් නිදහස අහිමි කිරීමට) අමතරව වෙනත් කිසිදු ආකාරයක කායික හෝ මානසික දණ්ඩනයක් ලබාදීමට නීත්‍යානුකූල හෝ සදාචාරාත්මක හිමිකමක් නැත. මෙම මතය අද වන විට ලෝක සම්මතයක් බවට පත්ව තිබේ. 1984 එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි සම්මුතිය (CAT) සහ 2015 දී යාවත්කාලීන කරන ලද ‘නෙල්සන් මැන්ඩෙලා නීතිමාලාව’ (Nelson Mandela Rules) වැනි ජාත්‍යන්තර ප්රඥප්ති බිහිවූයේ මෙම මානව හිමිකම් පදනම මත පිහිටා ය. නෙල්සන් මැන්ඩෙලා නීතිමාලාවේ පළමු රීතියෙන්ම අවධාරණය කරන්නේ සියලුම රැඳවියන්ට ඔවුන්ගේ සහජ ගෞරවයට හා වටිනාකමට ගරු කරමින් සැලකිය යුතු බවත්, ඔවුන්ට ලැබෙන දඬුවම නිදහස සීමාවීම පමණක් බැවින් අමතර වධහිංසා සම්පූර්ණයෙන්ම තහනම් වන බවත්ය. එබැවින්, බන්ධනාගාර තුළ ඇතිවන අර්බුද පාලනයට පළමු විකල්පය ලෙස පොලීසිය හෝ හමුදාව යොදවා කඳුළු ගෑස් සහ වෙඩි තැබීම් වැනි බලපෑම්කාරී ක්‍රමවේද භාවිත කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට පටහැනි වන අතර, එය භාවිත කළ යුත්තේ වෙනත් කිසිදු මාවතක් නොමැති අවසාන විකල්පය ලෙස පමණි.

බන්ධනාගාර අධිකාරීන් සහ ආරක්ෂක අංශ විසින් ප්රචණ්ඩත්වය මර්දනය කිරීමට අමතරව, විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක උපායමාර්ග ඔස්සේ රැඳවියන් පුනරුත්ථාපනය කිරීම විධිමත් ලෙස සිදුකිරීම අර්බුද සඳහා දීර්ඝකාලීන විසඳුම වේ. ලෝකයේ සාර්ථක බන්ධනාගාර පද්ධති අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන මනෝවිද්‍යාත්මක උපායමාර්ග කිහිපයක් හඳුනාගත හැක. පළමුවැන්න නම්, නෝර්වේ හි ‘හල්ඩන්’ (Halden) බන්ධනාගාරය වැනි ආකෘති අනුගමනය කරමින් රැඳවියන්ගේ අපරාධ විද්‍යාත්මක අවදානම් සහ මානසික තත්ත්වයන් අනුව ඔවුන් වර්ගීකරණය කිරීමයි. දෙවැන්න, සංජානන-චර්යා ප්‍රතිකාර (Cognitive Behavioral Therapy – CBT) සහ කෝප කළමනාකරණ වැඩසටහන් හරහා රැඳවියන් තුළ පවතින සදොස් චින්තන රටාවන් වෙනස් කිරීමයි. තෙවැන්න, රැඳවියන්ටම තමුන්ගේ එදිනෙදා ගැටලු සාකච්ඡා කර තීරණ ගැනීමට ඉඩ සලසන ‘චිකිත්සක ප්‍රජා’ (Therapeutic Communities) ආකෘතිය භාවිත කිරීමෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය අහිමිවීමේ මානසික පීඩනය අවම කිරීමයි. අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද යම් මට්ටමකින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්මාන්තය, වඩු කර්මාන්තය සහ වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් වැනි අර්ථවත් කාර්යයන්හි රැඳවියන් යෙදවීමයි. හිස් මනස ප්රචණ්ඩත්වයේ තෝතැන්නක් වන අතර, ක්‍රියාකාරී දෑත් පුනරුත්ථාපනයේ ප්‍රධාන මාවත බවට පත්වේ. මෙය ද බලධාරීන් විසින් තරයේම වටහා ගත යුත්තකි.

බන්ධනාගාර අර්බුදයක් යනු හුදෙක් බන්ධනාගාර තාප්පයෙන් ඇතුළත පවතින ආරක්ෂක ගැටලුවක් පමණක් නොවේ, එය මානව හිමිකම්, මහජන සෞඛ්‍යය සහ සමාජ විද්‍යාව හා බැඳුණු සංකීර්ණ මානුෂීය අර්බුදයකි. අතීත මානව සමාජය යකඩින් සහ ගින්නෙන් මිනිසා පාලනය කිරීමට උත්සාහ කළද, නූතන විද්‍යාව සහ මනෝවිද්‍යාව අපට පෙන්වා දෙන්නේ මිනිස් හැසිරීම් පාලනය කළ යුත්තේ අවබෝධයෙන් සහ මනෝවිද්‍යාත්මක ප්රවේශයන්ගෙන් බවයි. රැඳවියෙකුට අධිකරණයෙන් නියම වී ඇත්තේ සිරදඬුවම මිස, මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ නොහැකියාව හෝ අඳුරේ, කුසගින්නේ හෝ වධහිංසාවේ දඬුවම නොවන බව වටහා ගැනීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමකි. එබැවින්, බන්ධනාගාරය තුළ යොදවන රයිෆලයට සහ කඳුළු ගෑස් උණ්ඩයට වඩා, මනෝවිද්‍යාඥයාගේ ඇහුම්කන් දීම, උපදේශකයාගේ මඟපෙන්වීම සහ සමාජ සේවකයාගේ කරුණාව වඩා විධිමත් මෙන්ම ප්‍රායෝගිකව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව අප පිළිගත යුතුය. බන්ධනාගාරය යනු පලිගන්නා දඬුවම් කඳවුරක් නොව, යහපත් හා නිවැරදි වූ පුරවැසියෙකු නැවත සමාජයට දායාද කරන සැබෑ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන තුරු මෙම ගැටලුවට විසඳුමක් නොලැබෙනු නියතය.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්