“යුද්ධය තවත් එපා” ඊශ්‍රායල ජනයා හඬ නඟති

“යුද්ධය තවත් එපා” ඊශ්‍රායල ජනයා හඬ නඟති

ඉරානය සමඟ පවතින යුද්ධයට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කිහිපයක මෑතකදී දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ. “යුද්ධය තවත් එපා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම විරෝධතා සඳහා තෙල් අවිව් සහ හයිෆා නගර කේන්ද්‍ර කරගනිමින් විශාල ජනතාවක් වීදි බැස සිටිති. ඔවුන් එහිදී ඉල්ලා සිටින්නේ වහාම සටන් විරාමයකට එළැඹෙන ලෙසයි.

පසුගිය සෙනසුරාදා තෙල් අවිව් නුවර පැවති විරෝධතා අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකුත්, හයිෆා නගරයේදී තවත් 5 දෙනෙකුත් ලෙස අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති අතර, මහජන සාමය කඩ කිරීම සහ පොලිස් උපදෙස් නොසලකා හැරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

ඊශ්‍රායල රජයට පැහැදිලි උපාය මාර්ගයක් නොමැති බවට එරට විපක්ෂ නායකයින් චෝදනා කරන අතර, යුද්ධය හේතුවෙන් හමුදාව අභ්‍යන්තරිකව බිඳවැටීමේ අවදානමක් පවතින බවට හමුදා මාණ්ඩලික ප්‍රධානියා ද අනතුරු අඟවා ඇත. මෙම විරෝධතා මාලාව සිදුවන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර දිගින් දිගටම එල්ල වන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මධ්‍යයේ වීම ද විශේෂත්වයකි.

Uncategorized