හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩු හතරක් විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (13දා) දින නියම කළේය.මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලබූ අතර 2006 වසරේදී සිදු වූ මෙම සිදුවීමට අදාළ මෙම නඩු සඳහා වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කැඳවා තිබිණි.කෙසේ වුවද මෙම නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ වරද පිළිගෙන මෙම නඩු කෙටියෙන් අවසන් කර ගැනීම සඳහා තමන් කළ දැනුම් දීම ඉවත් කර ගන්නා බවය.ඒ අනුව මෙම නඩු තව දුරටත් විභාගය සඳහා දින නියම කරන ලෙසත් විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ නඩු විභාගය සඳහා නොවැම්බර් මස 19 සහ 25 යන දිනවල කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.