ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එමෙන්ම එම ගුරුවරුන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගෙන් ද නිදහසට කරුණු විමසීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
අමාත්‍යාංශය මෙම තීරණ ගෙන ඇත්තේ එම ගුරුවරුන් ස්ථාන මාරු නොකිරීම පිළිබඳව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙනි. එම ගුරුවරුන් ස්ථාන මාරු කරනතෙක් ලබන වසරට අදාළ ගුරු මාරු ක්‍රියාවලියෙන් ද ඉවත් වූ වෘත්තිය සමිති නියෝජිතයෝ අමාත්‍යාංශයේ ඉහත තීරණ මත යළිත් එම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටිති. පසුගිය වසරේ දී නිර්දේශ කරන ලද එම ස්ථාන මාරු පිළිනොගත් ප්‍රධාන පෙළේ පාසල්වල ගුරුවරුන් තවදුරටත් එම පාසල්වල රැඳී සිටින්නේ ඒ සම්බන්ධයෙන් ගුරු මාරු මණ්ඩලවලට ඉදිරිපත් කළ අභියාචනා ද ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් පැවැතියදීය.
එලෙස අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඇතැම් ගුරුවරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද අභියාචනා ඉදිරිපත් කරමින් තවදුරටත් එම පාසල්වල රැඳී සිටීමට උත්සාහ දරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.
ලබන වසරට අදාළ ගුරු මාරු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලසීමාව ද ඉකුත් වී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අභියාචනා සම්බන්ධ නිර්දේශ මෙතෙක් ලබා දී නොමැති බව ද කී හෙතෙම එම කොමිෂන් සභාව අදාළ නිර්දේශ ප්‍රමාද කරන්නේ අභියාචනා යොමු කළ ගුරුවරුන්ට තවදුරටත් එම පාසල්වලම කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට ද යන සැකය පවතින බවද වැඩිදුරටත් පැවසුවේය.