අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයට සහාය දුන් ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ උප සභාපති ඉන්දික ජයලත් මහතා, තමන් ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන අද (26) දින සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාපති ලලිත් කුමාරසිංහ වෙත භාර දී ඇති අතර, උප සභාපති ධුරයට අමතරව තමන් දැරූ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවේ මෙන්ම කාර්මික සේවා කාරක සභාවේ සාමාජිකත්වයෙන් ද ඉවත් වන බව තහවුරු කර ඇත. අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී ස්වාධීන කණ්ඩායමේ සහාය තීරණාත්මක වූ අතර, ඉන්දික ජයලත් මහතාගේ මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමඟ සභාවේ බල තුලනය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මේ වනවිට ප්‍රදේශයේ දැඩි අවධානයක් යොමුව තිබේ.තම ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතුව සංවර්ධන යෝජනා අඛණ්ඩව නොසලකා හැරීම බව පවසන ඒ මහතා, ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇත. නගරය ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුම් නොසලකා හැරීම නිසා අගලවත්ත නගර සංවර්ධනය ඇණහිට ඇති බවත්, මතුගම අධිකරණයේ තදබදය අඩු කිරීම සඳහා අගලවත්ත දුල්වෙල්ලෙන් වෙන් කළ අක්කර 2ක භූමියේ අධිකරණ සංකීර්ණයක් සහ නව පොලිස් ස්ථානයක් ඉදිකිරීමේ කටයුතු දේශපාලන බලපෑම් මත නතර කර ඇති බවත් ඔහු පවසයි. එසේම ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් කළ භූමියක හෙළ බොජුන් අවන්හලක් ඇතුළු වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවට සහාය නොලැබීම, රිදීරේඛාගම මාර්ගය නඩත්තුව සඳහා කළ ඉල්ලීම් දේශපාලන හේතු මත මඟ හැරීම සහ මහජනතාවට මෙන්ම පාසල් දරුවන්ට අනතුරුදායක අගලවත්ත මංසන්ධියේ අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දිගින් දිගටම බාධා කිරීම වැනි කරුණු ද ඔහු පෙන්වා දී තිබේ.මීට අමතරව, පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස වියතුන්ගේ ප්‍රසාදයට ලක් වූ වාර්තාවක් තමන් ඉදිරිපත් කළ ද, සභාපතිවරයා ඇතුළු කණ්ඩායම එය කියවා තේරුම් ගැනීමටවත් උත්සාහ නොකර ප්‍රතික්ෂේප කළ බවට ඉන්දික ජයලත් මහතා චෝදනා කරයි. සභාව සතු රුපියල් ලක්ෂ 400කට ආසන්න මුදල, අබලන් පොදු වැසිකිළි වෙනුවට නව වැසිකිළි පද්ධතියක් හැදීමට ප්‍රමුඛතාව නොදී “යෝධ ඉතිරියක්” ලෙස බැංකුවේ තබා ගනිමින් ජනතාව අපහසුතාවයට පත් කර ඇති බව පවසන ඔහු, කොට්ඨාස 11ම ආලෝකමත් කිරීම සඳහා තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සූර්ය කෝෂ සහිත වීථි පහන් පද්ධතියක් සවි කිරීමට ඉල්ලූ බලතල පවා ලබා නොදීමට සභාව කටයුතු කළ බව සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.