විරෝධතා නොතකා අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දිගු කිරීමට ආණ්ඩුවේ සූදානමක්

විපක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ ඇතැම් සිවිල් සංවිධාන කුමන ස්ථාවරයක පසුවුවද අගවිනිසුරුගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.වාර්තා වන ආකාරයට ඊට අදාළ සංකල්ප පත්‍රිකාව අවසන් වරට පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබූ බවක් දැනගන්නට තිබේ. විපක්ෂය මේ සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දැක්වුවද, ආණ්ඩුව කලින් තීන්දු කොට තිබූ ආකාරයටම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් එය සම්මත කරගැනීමට තීරණය කොට ඇති බව ද එම වාර්තාවල සඳහන්ය.මේ යෝජනාව සම්බන්ධයෙන් රජය තුළින් නිල වශයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කොට නොමැති නමුත්, පසුගිය සතිවල මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය.මුලින්ම ආණ්ඩුව යෝජනා කර තිබුණේ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පමණක් වසර දෙකකින් දීර්ඝ කිරීමටයි.පසුව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ විනිසුරුවරුන්ගේ හිඟය සහ නඩු කල්යාම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්, දිසා සහ මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා වී ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර, අනෙකුත් විනිසුරුවරුන් සඳහා අදාළ පනත් සංශෝධනය කිරීම ප්‍රමාණවත් වන බව සඳහන් වේ.
මෙය සම්මත වුවහොත්, එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ලෙස එක්වනු ඇතැයි අනිද්දා පුවත්පත ඇතුළු මාධ්‍ය වාර්තා කොට තිබුණි. වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට තවත් වසර දෙකක් ධූරයේ රැඳී සිටීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇතැයි එම වාර්තාවල සඳහන් විය.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කිරීමේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති බවයි. වෘත්තීය සමිති කිහිපයකින් ඉල්ලීම් ලැබී ඇති අතර ඒවා සලකා බලමින් සිටින බව ඔහු එහිදී සඳහන් කළේය.මෙම යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි විරෝධය පළ කර ඇත. BASL පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් වැඩි කිරීමෙන් පසු, වැඩ බර සැලකූ විට විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් නොමැති බවයි.ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) ද අනතුරු අඟවා ඇත්තේ මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට හානියක් විය හැකි බවයි.ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය (CPA) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, තනතුරේ සිටින අයෙකුට වාසි සැලසෙන පරිදි විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයේ මූලික කුළුණක් වන ධූරයේ සුරක්ෂිතභාවයට තර්ජනයක් බවයි.අධිකරණ සේවා සංගමය (JSA) ද පසුගියදා කඩුවෙලදී පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමකදී රහස් ඡන්දයකින් මෙම යෝජනාවට සිය විරෝධය ඒකමතිකව ප්‍රකාශ කොට ඇත.කෙසේ වෙතත්, පළවන තොරතුරු අනුව ආණ්ඩුව මෙම විරෝධතා නොතකා ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කාලීන පුවත්