අති උතුම් පොසොන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ශ්‍රී ලාංකික බෞද්ධයන්ට වෙසක් පොහොයට පමණක් දෙවැනි වන අති උත්තරීතර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබේ. ක්‍රි.පූ. 3 වන සියවසේදී ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර මෙරටට බුදු දහම හඳුන්වා දීම මෙම දිනයේදී සිහිපත් කෙරේ.

දේශීය වංශකතා මූලාශ්‍ර වන මහාවංශය සහ දීපවංශයට අනුව, අනුරාධපුර මිහින්තලා පර්වත මුදුනේදී මිහිඳු මහ රහතන් වහන්සේට එවකට ලංකාවේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමා මුණගැසුණු අතර, එහිදී රජුගේ ප්‍රඥාව පරීක්ෂා කිරීම සඳහා ‘අඹ පැණ’ ඇතුළු ප්‍රකට ප්‍රශ්න මාලාව ඉදිරිපත් කිරීමෙන් පසු උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වන ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය’ දේශනා කළහ. එම ධර්ම ශ්‍රවණයෙන් පසු රජතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය අතර, ලක්දිව සසුන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් එදින ආරම්භ විය.

2026 රාජ්‍ය පොසොන් උත්සවය ජූනි 26 සිට ජූලි 2 දක්වා අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. පොසොන් උත්සවයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන මිහින්තලාව සහ අනුරාධපුර පුදබිම වෙත දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත සුදු වතින් සැරසුණු සැදැහැවතුන් මේ වන විටත් පැමිණ සිටිති.

බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3,500කට අධික පිරිසක් යොදවා ඇති අතර ජංගම, පාබල, පාපැදි සහ යතුරුපැදි සංචාරක මුර සංචාර ක්‍රියාත්මක වේ. ජලාශ 24ක් ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150ක් සහ නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයින් 120ක් ද යොදවා තිබේ. පොසොන් කලාපය අංශ 10කට බෙදා, පණ්ඩුලාගම, පොතානේගම, ජයන්ති වටරවුම, ලොළුගස්වැව ඇතුළු ප්‍රවේශ මාර්ග නම් කර විකල්ප මාර්ග සකස් කර ඇති බව පොලිසිය පවසයි.මේ අතර අනුරාධපුර කේන්ද්‍ර කොට ගත් දන්සල් හත්සියයකට අධික ප්‍රමාණයක් සංවිධානය කොට ඇති බවකි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසා සිටියේ බැතිමතුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය, විවේක ස්ථාන සහ වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු සියලු පහසුකම් සලසා ඇති බවයි.

මීට අමතරව මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, ලෝවාමහාපාය, අභයගිරිය ඇතුළු අනුරාධපුර අෂ්ට මහා ස්ථානවලට මෙන්ම පොලොන්නරුව, කතරගම, කැලණිය, සේරුවාවිල, මුතියංගණය, මහියංගනය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වෙත ද සැදැහැවතුන් අති විශාල පිරිසක් එක්රොක් ව ඇති බව වාර්තා වේ.

ඒ අතර මෙවර පොසොන් දන්සල් 18,000කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා සංවිධානය කොට ඇති අතර ඊට අමතරව පොසොන් තොරණ, කූඩු හා පොසොන් කලාප ලෙස හැඳින්වෙන ආගමික, සංස්කෘතික හා කලාත්මක අංග සහිත භූමි භාගයන් ද සකසා තිබේ. මිහින්තලයේ ප්‍රධාන පොසොන් ආලෝක පූජාව සහ ‘මිහිඳු පෙරහැර’ අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

සෑම වසරකම ජූනි මස යෙදෙන පොසොන් පොහොය, ලක්වැසි බෞද්ධයාගේ ආගමික ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර, එය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කළ සංස්කෘතික මංගල්‍යයක් ලෙස ද සැලකේ.

සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිසිය සහ සංවිධායක මණ්ඩල ලබා දෙන උපදෙස් පිළිපදිමින්, පරිසරයට හානියක් නොවන අයුරින් පොසොන් වතාවත්වල නිරත වන ලෙසයි.

කාලීන පුවත්