ඇමෙරිකානු නාවික හමුදාවේ විශේෂ ගුවන් යානයක් කටුනායකට

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් විශේෂිත MV-22B ඔස්ප්‍රේ (Osprey) වර්ගයේ ගුවන් යානයක් ඊයේ (07) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.බෝයිං (Boeing) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය ඊයේ දහවල් 12.05ට පමණ කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බව වාර්තා වේ.මෙම යානයේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගුවන් යානයක් මෙන් ඉදිරියට පියාසර කිරීමටත්, හෙලිකොප්ටරයක් මෙන් සිරස් අතට ගුවන්ගත වීමට සහ ගොඩබෑමටත් ඇති හැකියාවයි.එහි දෙපස සවි කර ඇති විශේෂ අවර පෙති (Rotors) හෙලිකොප්ටරයක මෙන් ඉහළට යොමු කර සිරස් අතට ගුවන්ගත වීමට හැකි අතර, පියාසර කිරීමේදී ඒවා ඉදිරියට හැරවීමෙන් සාමාන්‍ය ගුවන් යානයක් මෙන් වේගයෙන් ගමන් කළ හැකිය.මේ නිසා සාමාන්‍ය ගුවන් යානා මෙන් දිගු ධාවන පථයක වේගය ලබාගෙන ගුවන්ගත වීමේ අවශ්‍යතාවක් මෙම යානයට නොමැත. එමෙන්ම ගුවන් යානා ගොඩබැස්වීමට පහසුකම් නොමැති නෞකාවල සිට මෙහෙයුම් සිදුකිරීමට ද මෙයට හැකියාව තිබේ.වාර්තා වන අන්දමට මෙම යානය ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දියන් සාගරයේ නාවික සැතපුම් 50ක් පමණ දුරින් නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.එදිනම පස්වරුවේ යළිත් කටුනායකින් පිටත්ව අදාළ නෞකාව වෙත යාමට එය නියමිතව තිබූ බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමේ නිශ්චිත අරමුණ, එය රැගෙන ආ පුද්ගලයන් හෝ භාණ්ඩ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැත. එබැවින් මෙම ගමන කිසියම් විශේෂ හමුදා මෙහෙයුමකට හෝ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සම්බන්ධ බවට නිගමනය කළ නොහැකිය.

MV-22B ඔස්ප්‍රේ යානය සිරස් ගුවන්ගතවීමේ හැකියාව සහ සාමාන්‍ය ගුවන් යානයක වේගය හා දුර පියාසර කිරීමේ හැකියාව එකට සංකලනය කළ නවීන ටිල්ට්රොටර් (Tiltrotor) ගුවන් යානා විශේෂයකි. ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වලදී නෞකා සහ ගොඩබිම් අතර භට පිරිස් හා උපකරණ ප්‍රවාහනය සඳහා මෙවැනි යානා භාවිත කෙරේ.

කාලීන පුවත්