ඉන්දියාවේ දෙවැනි ලොකුම ධනපතියා ගෞතම් අදානි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඉන්දියාවේ දෙවැනි ලොකුම ධනපතියා වන ගෞතම් අදානි මේ වනවිට ලොකු අමාරුවක වැටී සිටින ආකාරයක් දැකිය හැකි වේ. ඒ අල්ලස් සහ වෙනත් වංචා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇමරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයක චෝදනා ගොනු කිරීමට එරට නීති අංශ පියවර ගෙන ඇති නිසා ය. මෙසේ චෝදනා ගොනු කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගෙන තිබේ.

අදානි සමාගම් සමූහයට අයත් පුනර්ජනනීය බලශක්ති සමාගමකට රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට ඩොලර් මිලියන ගණනක අල්ලස් ගෙවීමට එකඟ වී ඇති බවට අදානිට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 265 කට ආසන්න අල්ලස් මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද මෙහි දී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මෙය ලංකා රුපියල් බිලියන 77 කට ආසන්න මුදල් ප්‍රමාණයකි.

ගෞතම් අදානිට අමතරව ඔහුගේ සමාගම්වල තවත් විධායක නිලධාරීන් සත් දෙනෙකුට එරෙහිව ද චෝදනා ගොනු කර තිබේ. අදානිගේ බෑනා කෙනෙකු වන සාගර් අදානි ද ඒ අතර වෙයි. ඔහු ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඉහත කී අල්ලස් මුදල් ගෙවීමට එකඟ වී ඇතැයි පැවසෙන්නේ 2020 සහ 2024 අතර කාලය තුළ ය. මෙම කොන්ත්‍රත් හරහා මෙම සමාගම වසර 20 ක කාලයක් තුළ ඇ. ඩොලර් බිලියන 2 ක ( ලංකා රුපියල් බිලියන 580 ක) පමණ ලාභ ලැබීමට සැලසුම් කර තිබූ බවක් ද චෝදනා පත්‍රවල සඳහන් වේ.

මේ ආකාරයේ අල්ලස් ක්‍රියාදාමයක් ඉදිරියට ගෙන යමින් සිටිය දී ඒ ගැන වසන් කරමින් ඇමරිකානු බැංකුවලින් සහ වෙනත් ආයෝජකයන්ගෙන් ආයෝජන ලබාගෙන තිබීම ද අදානි ඇතුළු පිරිසට එරෙහිව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නගා ඇති තවත් චෝදනාවකි. ඇ.ඩොලර් බිලියන ගණනක ආයෝජන මේ ආකාරයෙන් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

ඉහත කී ආකාරයෙන් චෝදනා ගොනු කරමින් අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ ඇති දූෂණ මුලිනුපුටා දැමීම සහ ආයෝජකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම තම ආයතනයේ එක් අරමුණක් බව යි.

එම දෙපාර්තමේන්තුව අදානි සමාගමට අදාළව මුලින්ම විමර්ශණ ආරම්භ කර තිබුණේ 2022 වසරේ යි. එම විමර්ශණවලට එල්ල වූ යම් බාධාවන් ගැන ද ඔවුන් සඳහන් කර තිබේ.

ගෞතම් අදානි පසුගිය කාලයේ ලංකාවේ ද මාතෘකාවක් බවට පත් වූ චරිතයකි. ඔහු ගේ පුනර්ජනනීය බලශක්ති සමාගම ලංකාවේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා අයෝජනය කිරීමට සූදානමින් සිටියි. නමුත් මෙම ව්‍යාපෘතිවලට පසුගිය කාලයේ නොයෙක් විරෝධතා ද එල්ල විය. මාලිමා ආණ්ඩුව ද සිටින්නේ ඒවාට විරුද්ධ ස්ථාවරයක ය. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ සෛ්වරීභාවයට ඒවායින් තර්ජනයක් එල්ල වන බව ජාතික ජන බලවේගයේ අදහස යි. ඒ නිසා ඔවුන් පසුගිය කාලයේ පවසා සිටියේ තමුන් බලයට පත් වුවහොත් මෙම ගිවිසුම් අවලංගු කරන බවයි. මෙම ගිවිසුම්වලට අදාළ කටයුතු සිදුව තිබුණේ නිසි විනිවිදභාවයකින් තොරව බවට ද චෝදනා එල්ල විය.

මේ වනවිට 62 වැනි වියෙහි පසුවන අදානි ඉන්දියාවේ දෙවැනි ලොකුම ධනවතා ය. ඔහුගේ වත්කම ඇ.ඩොලර් බිලියන 85 ක් පමණ වන බව සඳහන් වේ. අදානිට ඉහළින් සිටින්නේ තවත් ප්‍රකට ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි පමණි.

ඇමරිකාව ඉහත කී චෝදනා ගොනු කිරීම අදානි ගේ සහ ඔහුගේ සමාගම්වල කීර්ති නාමයට, විශ්වසනීයත්වයට බරපතල තර්ජනයක් එල්ල කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. අදානි සමාගම් සමූහය ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ රටවල් රැසක විශාල වශයෙන් ආයෝජනය කර ඇති සමූහයකි. වරාය, ගුවන් තොටුපල, පුනර්ජනනීය බලශක්ති, ගල් අඟුරු වැනි ක්‍ෂේත්‍ර රැසක ඔවුහු කටයුතු කරමින් සිටිති.

මෙම තත්ත්වය තුළ අදානි සමාගම්වලට එල්ලවන තර්ජනය ඉන්දියානු ආර්ථිකයට ද බලපෑමක් එල්ල කරනු ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස යි.

ඇමරිකාව ඉහත කී චෝදනා ගොනු කළ දිනයේ අදානි සමාගම්වල කොටස් මිල විශාල වශයෙන් පහත වැටී තිබිණි. ඇතැම් සමාගම්වල කොටස් මිල සියයට 20 කින් පමණ පහත වැටී තිබූ බව ද සදහන් විය.
කෙන්යා රජය අදානි සමාගමක් සමග එළැඹ තිබූ ගිවිසුම් දෙකක් අවලංගු කිරීමටද තීරණය කර තිබිණි.

ගෞතම් අදානි සැලකෙන්නේ ඉන්දියානු අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ සමීප හිතවතකු හැටියට ය. ඔවුන් දෙදෙනාම ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ උපන් අය යි. අදානිගේ මෙම දේශපාලන සම්බන්ධතාවලින් ඔහුගේ ව්‍යාපාරවලට වාසි ලැබී ඇති බවට ඉන්දියාවේ විරුද්ධ පක්‍ෂ චෝදනා කරමින් සිටියි. ඇමරිකාව අදානිට එරෙහිව චෝදනා ගොනු කිරීමත් සමග ඉන්දියාවේ විරුද්ධ පක්‍ෂ ද වඩාත් උද්යෝගිමත් ලෙස ඔහුට එරෙහිව හඬ නගන්නට පටන් ගෙන තිබේ.

අදානිගේ ව්‍යාපාරික ගණුදෙනු ගැන විමර්ශණය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතු බවක් විරුද්ධ පක්‍ෂ මෙයට පෙර ද පවසමින් සිටියෝය. අගමැති මෝදි ගේ දේශපාලන ප්‍රතිවාදීන් වන රහුල් ගාන්ධි වැනි නායකයන් අයත් වන කොංග්‍රස් පක්‍ෂය දැන් නැවතත් මෙම ඉල්ලීම කරළියට ගෙනැවිත් තිබේ. කොංග්‍රස් පක්‍ෂය යනු ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය යි. අදානි අත්අඩංගුවට ගත යුතු බවක් ද පසුගිය දිනවල එරට විපක්‍ෂ නායක රහුල් ගාන්ධි පවසා තිබිණි.

ඇමරිකාව නගා ඇති චෝදනා අදානි සමාගම් සමූහය ප්‍රතික්‍ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ එම චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර