සැමට පොදු ගැටලු දෙස දේශපාලනික හා ආගමික කෝණවලින් බැලීම ජාතියම පරාජයට පත් කරවන්නකි


අද සමාජ මාධ්‍ය ශ්‍රී ලංකා සමාජයේ පවතින ගැටලු, මතභේද සහ අර්බුදවල විවෘත ප්‍රකාශන වේදිකාවක් බවට පත්ව තිබේ. එහි සැරිසරන විට නිතර දක්නට ලැබෙන්නේ ආණ්ඩුවට පක්ෂ සහ විපක්ෂ ලෙස බෙදී සිටින කණ්ඩායම් අතර දැඩි මතවාදී ගැටුමකි. තර්කය, සාධක සහ ප්‍රතිපත්තිමය සංවාදය ඉක්මවා නින්දා, අපහාස, චරිත ඝාතන සහ චෝදනා-ප්‍රතිචෝදනා දක්වා දිවෙන මෙම වාද බොහෝවිට ගැටලුවක් විසඳීමට වඩා එකිනෙකාගේ කෝපය අවුළුවන තරගයක් බවට පත්ව තිබේ.

දේශපාලනය සමාජයේ සෑම ගැටලුවකටම බලපාන වැදගත් සාධකයකි. එහෙත්, සෑම ගැටලුවකටම දේශපාලන මූලයක් තිබෙන බව එයින් අදහස් නොවේ. වර්තමාන ශ්‍රී ලංකාව දෙස බැලීමේදී පෙනී යන්නේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික ගැටලු පවා දේශපාලන කෝණයකින් පමණක් විග්‍රහ කිරීමට බොහෝ දෙනකු තුළ ඇති නැඹුරුවයි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලන අවධානය ඉහළ යාම සාධනීය ලක්ෂණයකි. ආණ්ඩුවේ තීරණ, රාජ්‍ය ප්‍රතිපත්ති, දේශපාලන නායකත්වය සහ බලය භාවිත කරන ආකාරය පිළිබඳව පුරවැසියන් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය. පාලකයන්ගෙන් වගවීම ඉල්ලා සිටින, තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් පුරවැසියා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තියකි.

එහෙත් ගැටලුව ඇතිවන්නේ දේශපාලන අවබෝධය සහ දේශපාලන පක්ෂග්‍රාහීත්වය එකිනෙක සමඟ පටලැවුණු විටය.

ආර්ථික අර්බුදයක් සලකා බලමු. එහි සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, නිෂ්පාදන ධාරිතාව, අපනයන හා ආනයන, ඵලදායීතාව, ආයෝජන, ණය සහ ගෝලීය ආර්ථික තත්ත්වය වැනි කරුණු විමසා බැලිය යුතුය. එහෙත් එය “අපේ පක්ෂය” සහ “ඔවුන්ගේ පක්ෂය” යන සරල බෙදීමට සීමා වූ විට ආර්ථිකය පිළිබඳ විද්‍යාත්මක සංවාදයට ඇති අවකාශය හීන වී යයි. අවසානයේ ඉතිරි වන්නේ විසඳුමකට වඩා චෝදනා සහ ප්‍රතිචෝදනාය. ඒ සමඟම නින්දා, අපහාස, චරිත ඝාතන හා මඩ ගැසීම්ය. ඒ අතර එම ප්‍රශ්නය නිරුපද්‍රිතව වර්ධනය වෙමින් පවතී.

අද වන විට මෙවැනි තත්ත්වයක් අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය, කසළ කළමනාකරණය, ජල සම්පත් ආරක්ෂාව, වනාන්තර සංරක්ෂණය සහ නාගරික සැලසුම්කරණය වැනි ක්ෂේත්‍රවලද දැකිය හැකිය.

මෙම ගැටලු සඳහා දේශපාලන පැතිකඩක් නැතැයි කිව නොහැකිය. රාජ්‍ය ප්‍රතිපත්ති, අයවැය සහ පරිපාලන තීරණ ඒවාට සෘජුවම බලපාන බව ඇත්තකි. එහෙත් එයින් අදහස් වන්නේ සෑම ගැටලුවක්ම පක්ෂ දේශපාලන සටනක් බවට පත් කළ යුතු බව නොවේ.

මෙහිදී අප හඳුනාගත යුතු වැදගත් වෙනසක් තිබේ. එනම් දේශපාලන වගවීම සහ දේශපාලනීකරණය අතර වෙනසයි. මෙය අද සමාජයේ බොහෝ දෙනකු වටහා නොගැනීම කණගාටුවට කරුණකි.

ගැටලුවක දේශපාලන වගකීම සොයා බැලීම යනු තීරණ ගත් පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් වගවීම ඉල්ලා සිටීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයකි.

එහෙත් ඒ සඳහා පදනම් වන කරුණු, දත්ත සහ විශේෂඥ දැනුම පසෙකලා පුද්ගලයන් හෝ දේශපාලන කණ්ඩායම් පමණක් ඉලක්ක කරගැනීම දේශපාලනීකරණයකි. එවැනි අවස්ථාවක “ගැටලුව විසඳන්නේ කෙසේද?” යන ප්‍රශ්නය යටපත් වී “කවුද වැරදිකරු?” යන ප්‍රශ්නය පමණක් ඉදිරියට පැමිණේ.

වැරදිකරුවන් හඳුනා ගැනීම වැදගත්ය. නමුත් වැරදිකරුවකු හඳුනා ගැනීමෙන් පමණක් ජනතා ගැටලුවකට විසඳුමක් ලැබෙන්නේ නැත.

වේගය සහ ජනප්‍රියත්වය මත සක්‍රිය වන වර්තමාන තොරතුරු සංස්කෘතිය තුළ සංකීර්ණ ගැටලුවක් සරල දේශපාලන සටන් පාඨයකට පරිවර්තනය කිරීම පහසුය. ඒ ඔස්සේ බහුතරයකගේ හැඟීම් හා ආවේග කුපිත කිරීමද පහසුය.

එහෙත් දැනුවත් පුරවැසියකු බිහි කිරීමට නම් අදාළ විෂය සම්බන්ධ නිවැරදි දත්ත, පසුබිම් තොරතුරු, විශේෂඥ අදහස් සහ විවිධ පාර්ශ්වවල කරුණු ජනතාව හමුවේ තැබිය යුතුය.

එසේ නොවුණහොත් තොරතුරු සොයන පුරවැසියකු වෙනුවට තම මතයට විරුද්ධ මතය පරාජය කිරීම පමණක් අරමුණු කරගත් දේශපාලන ගැති සමාජ මාධ්‍ය පාරිභෝගිකයකු බිහිවනු ඇත.

එබැවින් සමාජ මාධ්‍යයේ වැදගත්ම ප්‍රශ්නය විය යුත්තේ “කවුද මේක කියන්නේ?” යන්න පමණක් නොව, “කියන්නේ කුමක්ද? එයට සාක්ෂි මොනවාද? එය සත්‍යද? එය ක්‍රියාත්මක කළ හැකිද?” යන්නයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය තුළ තවත් අවධානය යොමු කළ යුතු මෙවැනිම කරුණක් වන්නේ ජාතික හා ආගමික අනන්‍යතා දේශපාලන බෙදීම්වල මෙවලම් බවට පත්වීමේ අවදානමයි.

ශ්‍රී ලංකාව විවිධ ජාතීන්, ආගම්, භාෂා සහ සංස්කෘතීන් එකට ජීවත්වන රටකි. එම විවිධත්වය රටේ ශක්තියකි. එහෙත් ජනතාව මුහුණදෙන සෑම ගැටලුවක්ම ජාතිය හෝ ආගම ඔස්සේ විග්‍රහ කිරීමට පුරුදු වීමෙන් ගැටලුවේ සැබෑ තත්ත්වය විකෘති විය හැකිය. එමෙන්ම විවිධ ආගම් අතර පවත්නා විෂමතා සමාජය හමුවේ හඬ නැඟෙන මුත්, එක් එක් ආගම් තුළ පවත්නා අභ්‍යන්තරික අර්බුද එසේ හඬ නොනඟයි. ඇතැම් විට ඒ අර්බුද බාහිර පාර්ශ්වයන් අතර පවත්නා ආගමික විෂමතාද අතික්‍රමණය කරනු ඇත.

එමෙන්ම ජීවන වියදම, රැකියා හිඟය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, සෞඛ්‍ය පහසුකම්, නිවාස, කෘෂිකාර්මික අර්බුද, පොදු ප්‍රවාහනය, පරිසර හානි, දූෂණය සහ රාජ්‍ය සේවාවල අකාර්යක්ෂමතාව කිසිදු එක් ජාතියකට හෝ ආගමකට පමණක් සීමා වූ ගැටලු නොවේ.

රැකියා හිඟයක් ආර්ථික හා ප්‍රතිපත්තිමය ගැටලුවක් නම් එයට ආර්ථික විසඳුම් අවශ්‍යය. පරිපාලන ගැටලුවකට ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍යය. අධ්‍යාපනික ගැටලුවකට අධ්‍යාපන ප්‍රතිපත්ති අවශ්‍යය. පරිසර ගැටලුවකට විද්‍යාත්මක හා පාරිසරික ප්‍රවේශයක් අවශ්‍යය.

සෑම ගැටලුවක්ම අනන්‍යතා දේශපාලනය හරහා විසඳීමට උත්සාහ කිරීමෙන් ගැටලුවේ මූලික හේතුවට පිළියම් යෙදීම අසීරු වේ.

ජාතිය සහ ආගම පුද්ගල අනන්‍යතාවයේ වැදගත් කොටස් විය හැකිය. එහෙත් ඒවා ජනතාව වෙන් කිරීමේ දේශපාලන මෙවලම් බවට පත්වන විට ප්‍රතිවිපාක වෙනස් වේ.

පොදු ගැටලුවක් “අපේ ජනතාව” සහ “අනෙක් ජනතාව” ලෙස බෙදූ විට සාධාරණ විසඳුමක් වෙනුවට තරගකාරී අනන්‍යතා නිර්මාණය විය හැකිය. එවිට ගැටලුව විසඳීම වෙනුවට කවර කණ්ඩායමට වැඩි වාසියක් ලැබිය යුතුද යන්න පිළිබඳ තරගයක් ඇති වේ. එය දිගින් දිගටම පැවතුණහොත් සැකය, අවිශ්වාසය සහ සමාජ අසහනය වර්ධනය වීම නොවැළැක්විය හැකිය.

එබැවින් ඒ වෙනුවට අවශ්‍ය වන්නේ පොදු පුරවැසිභාවය මත ගොඩනැඟුණු ප්‍රතිපත්ති සංස්කෘතියකි.

කිසිදු පුරවැසියකුගේ ජාතිය හෝ ආගම නොසලකා ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, රැකියා අවස්ථා, නීතියේ සමාන ආරක්ෂාව සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාව ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය.

එයින් විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවන් නොසලකා හැරිය යුතු බවක් අදහස් නොවේ. ඉතිහාසගත අසාධාරණතා හෝ වර්තමාන අසමානතා පවතින අවස්ථාවල ඒවා හඳුනාගෙන නිවැරදි කිරීම අත්‍යවශ්‍යය. එහෙත් එවැනි ප්‍රතිපත්තිද සාධාරණත්වය, නීතියේ සමානත්වය සහ සමාජ සහජීවනය ශක්තිමත් කරන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුය.

අද ශ්‍රී ලංකා සමාජයට අවශ්‍ය වන්නේ පුද්ගලයා, පක්ෂය හෝ ආගම මත නොව, කරුණු මත තීරණ ගැනීමේ සංස්කෘතියකි.

හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ කුමන පක්ෂයද යන්න නොසලකා එහි ප්‍රයෝජන සහ අවදානම් විමසිය යුතුය. විද්‍යාත්මකව පිළිගත හැකි පාරිසරික විසඳුමක් ප්‍රතිවිරුද්ධ දේශපාලන මතභේදයක ගොදුරක් නොවිය යුතුය. සමාජ ගැටලුවකට සාර්ථක විසඳුමක් තිබේ නම් එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන පක්ෂ අතර අවම එකඟතාවක් හෝ ගොඩනැඟිය යුතුය.

පරිණත පුරවැසියා දේශපාලනය ගැන උනන්දු වෙයි. නමුත් සෑම දෙයක්ම දේශපාලනයෙන් පමණක් පැහැදිලි කිරීමට උත්සාහ නොකරයි.

ඔහු හෝ ඇය දත්ත විමසයි. විශේෂඥ අදහස් සලකා බලයි. විරුද්ධ මතයට සවන් දෙයි. තමන් සහාය දක්වන දේශපාලන පාර්ශ්වයේ වැරැද්දක් ඇත්නම් එය පිළිගැනීමටද සූදානම් වෙයි.

මෙවැනි පුරවැසි සංස්කෘතියක් ගොඩනැඟීම කිසිදු ආණ්ඩුවක කෙටිකාලීන දේශපාලන වැඩසටහනකට වඩා දිගුකාලීන සමාජ ආයෝජනයකි.

අවසානයේ සිහිපත් කළ යුතු මූලික සත්‍යයක් තිබේ. එනම් දේශපාලනය යනු සමාජයේ එක් බලගතු කොටසක් මිස සමාජයම නොවන බවය.

ආර්ථිකය ආර්ථික විද්‍යාවෙන්ද, පරිසරය පාරිසරික විද්‍යාවෙන්ද, අධ්‍යාපනය අධ්‍යාපන දැනුමෙන්ද, සෞඛ්‍යය වෛද්‍ය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති දැනුමෙන්ද විමසා බැලිය යුතුය. ඒ සියල්ලට දේශපාලන තීරණ බලපාන නමුත් ඒවායේ විසඳුම් සම්පූර්ණයෙන්ම දේශපාලන සටන් පාඨවලින් ලබාගත නොහැකිය.

එබැවින් වර්තමාන ශ්‍රී ලංකාවේ අභියෝගය දේශපාලන අවධානය අඩු කිරීම නොවේ. දේශපාලන අවධානය යථාර්ථවාදී දැනුම සමඟ සම්බන්ධ කිරීමයි.

පක්ෂය වෙනුවට ප්‍රතිපත්තියත්, පුද්ගලයා වෙනුවට සාධකයත්, චෝදනාව වෙනුවට විසඳුමත්, උද්වේගය වෙනුවට විචාරශීලීත්වයත් ඉදිරියට පැමිණිය යුතුය. ජාතිය හා ආගම මත බෙදීම වෙනුවට පොදු පුරවැසිභාවය, සමාන අවස්ථා, නීතියේ ආධිපත්‍යය, වගවීම සහ කාර්යක්ෂම රාජ්‍ය පාලනය මත විසඳුම් ගොඩනැඟිය යුතුය.

විවිධත්වය අපගේ යථාර්ථයයි. එහෙත් අපගේ පොදු ගැටලු විසඳීමට අවශ්‍ය වන්නේ බෙදීම නොව පොදු අරමුණකි.

සමාජයක දේශපාලන අවධානය අවශ්‍යය. අනන්‍යතා පිළිබඳ අවබෝධයද අවශ්‍යය. එහෙත් ඒ දෙකම ගැටලුවේ සැබෑ ස්වභාවය වසන් කරන තරමට ඉදිරියට ගිය විට ප්‍රජාතන්ත්‍රවාදය විසඳුම් සෙවීමේ ක්‍රමයක් වෙනුවට කඳවුරු අතර තරගයක් බවට පත්විය හැකිය.

ඒ නිසා අප ඉදිරියේ ඇති සැබෑ තේරීම දේශපාලනයද, දේශපාලනයෙන් බැහැර වීමද යන්න නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ දේශපාලනය ඇතුළු සියලු බලපෑම් නිවැරදිව හඳුනාගෙන, ගැටලුවේ සැබෑ ස්වභාවය මත පදනම්ව පොදු විසඳුම් සෙවීමට අපට හැකිද යන්නයි.

එය පාලකයන්ගේ පමණක් වගකීමක් නොවේ. මාධ්‍යයේ, බුද්ධිමතුන්ගේ, විශේෂඥයන්ගේ සහ සෑම පුරවැසියකුගේම වගකීමකි.

එම වගකීම නිවැරදිව ඉටු කරන දිනයේදී දේශපාලනය සමාජය බෙදන බලවේගයක් පමණක් නොව, පොදු අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරී වන ප්‍රජාතන්ත්‍රවාදී මෙවලමක් බවට පත් කළ හැකිය. එසේ කළ නොහැකි තාක් කල් අප ජාතියක් වශයෙන් පරාජයට පත්වනු නිසැකය.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර