
අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති.
මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ හැකි, සමාජවිද්යාත්මකව නොගැඹුරු නිගමනයකි. පාස්කු ප්‍රහාරය මුල් කොට ඇති වූයේ තාවකාලික දේශපාලනික සංසිද්ධියකි. නමුත් අද පවතින පල්ලියෙන් දුරස්ථභාවය දශක ගණනාවක් තිස්සේ ක්‍රමිකව ගොඩනැගුණු ව්‍යුහාත්මක පරිවර්තනයකි. එය තේරුම් ගැනීමට අප පල්ලියේ සමාජීය භූමිකාවේ ඓතිහාසික පරිණාමය දෙස බැලිය යුතු ය.
මෙම සටහනේ අරමුණ වන්නේ, අප විසින් කරන ලද නිරීක්ෂණයන් පදනම් කරගෙන, සමාජවිද්‍යාත්මක සහ දේවධර්මීය දත්තයන්ගෙන් විග්රහ කරමින් මෙම දුරස්ථභාවයේ සැබෑ ස්වභාවය අනාවරණය කිරීමයි.
අතීතයේ දේවස්ථානය සම්පූර්ණ සමාජ ආයතනයක් ලෙස ගොඩනැඟී තිබූ බව ඒකාන්ත සත්‍යයකි. ඇමරිකානු සමාජවිද්‍යාඥ අර්වින් ගොෆ්මාන් (Erving Goffman) හඳුන්වන පූර්ණ ආයතන (Total Institution) යන සංකල්පය ශ්‍රී ලංකාවේ වෙරළබඩ කතෝලික ගම්මානයට අතිශයින්ම ගැලපේ. පූර්ණ ආයතනයක් යනු පුද්ගලයන් විශාල පිරිසක් පුළුල් සමාජයෙන් හුදකලා වී, එක්තරා නිශ්චිත ස්ථානයක, එක් මධ්‍යම අධිකාරියක් යටතේ දිගු කලක් ජීවත් වන සහ වැඩ කරන සංවෘත සමාජ පද්ධතියකි.

පෘතුගීසි යුගයේ; එනම් 1505 න් පසු, විශේෂයෙන් 1543 න් පසු මීගමුවේ සිට පුත්තලම දක්වාත්, යාපනයේ සිට මාතර දක්වාත් කතෝලිකකරණය වේගවත් වූ යුගයේ සිට – 20 වන සියවසේ මැද භාගය දක්වාම ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් වෙරළබඩ කතෝලික ගම්මානවල, දේවස්ථානය යනු හුදෙක් ඉරිදා දිව්‍ය පූජාවට සීමා වූ ස්ථානයක් නොවීය. නිසැක ලෙසම එය පූර්ණ ආයතනයක් විය.
ඒ සම්බන්ධ නිදර්ශන කිහිපයක් මෙසේය:
අතීත කතෝලික සමාජයේ පුද්ගල හා පවුල්මය තීරණ ගැනීම ද පල්ලිය විසින් සිදු කරන ලදී. විවාහයන් තීරණය කිරීම, විවාහයට පෙර පවුල් පොතේ සටහන පරීක්ෂා කිරීම, මංගල යෝජනා අනුමත හෝ ප්‍රතික්ෂේප කිරීම පවා පල්ලිය හරහා සිදු විය. පවුල් පොත නොමැතිව කිසිදු ශුද්ධ වූ සක්‍රමේන්තුවක් නොලැබුණි. එමෙන්ම පවුල් ආරවුල්, ඉඩම් ආරවුල්, ධීවර වාඩි වැනි සමාජ ගැටුම් විසඳූ අවසන් සමාජ නීතියේ විනිශ්චයකාරයා වූයේ ගමේ පියතුමාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී නීතිය ගමට පැමිණීමට පෙර, ඕලන්ද සමයේ කතෝලිකයන්ට රාජ්‍ය නීතිය අහිමිව තිබූ යුගයේ මෙම භූමිකාව තවත් තීව්ර විය. පියතුමාගේ හෝ සභාවේ අදහසට එරෙහි වීම හෝ අභියෝග කිරීම යනු දෙවියන්ට එරෙහි වීමක් පමණක් නොව, මුළු ගමෙන්ම කොන්වීමක් සේ සැලකුණි.
මෙම ක්‍රමය තුළ කතෝලික අනන්‍යතාව ආරක්ෂා විය. රෙපරමාදු ආගම ප්‍රවර්ධනය වූ ඕලන්ද පාලනයෙන් ලත් පීඩනය හමුවේ සභාව බිඳවැටීමෙන් තොරව පැවතියේ මෙම ගම් පල්ලිය කේන්ද්‍ර කරගත් දැඩි සමාජ පාලනය නිසාය. එමෙන්ම මෙම යාන්ත්‍රණය පවත්වාගෙන යාම පිණිස ගමේ පියතුමාගේ පෞරුෂය ඉතා වැදගත් වූ බැවින් ඒ ඔස්සේ පූජක පැලැන්තියේ විනය හා සංවරය ද බොහෝ දුරට ස්ථාපිත විය.
අතීතයේ කතෝලික දේවස්ථානයන්හි දේව මෙහෙයන් නිවැරදිව හා පිළිවෙලට පවත්වාගෙන යාම සඳහා කැපවන ප්‍රධාන ගිහි සේවකයන් දෙදෙනා වන ඇන්නැවි තැන සහ සංක්රිස්තියානි තැන කතෝලික ජනතාව අතරේ ගෞරවනීය චරිත දෙකක් විය.

“ඇන්නැවී” යන වචනය නිර්මාණය වී ඇත්තේ පෘතුගීසි භාෂාවේ එන මෙස්ත්රෙ කපේලා (Mestre de Capela) යන වචනයෙනි. එය අප රටේ පැරණිම කතෝලික ජන වහරක් බව නිසැකය. ඇන්නැවි තැන යනු දේවස්ථානයේ සංගීතය හා ගායනා මෙහෙයවන ප්‍රධාන නායකයාය. අතීතයේ ග්‍රාමීය දේවස්ථානයන්හි ඇන්නැවි තැන යනු ගමේ අතිශය ගෞරවනීය චරිතයක් වූ බැවින් ඇතැම් පවුල්වල මෙම තනතුර පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවක් ලෙස ද පැවතිණි. පාස්කු සමයේ දේව දුක් ප්‍රාසාදිය, පසම්, කන්තාරු සහ නත්තලේ කැරොල් වැනි ජන කතෝලික සංස්කෘතිය හා සාහිත්‍යය රැකුණේ ඔවුන්ගෙනි.
සංක්රිස්තියානි (Sacristão) යන්න ද අප රටේ පැරණිම කතෝලික වහරකි. “සංක්රිස්තිය” (Sacristia) යනු දේවස්ථානයේ පූජකවරුන් පූජා ඇඳුම් මාරු කරන සහ දේව මෙහෙයන්ට අවශ්‍ය ශුද්ධ වූ භාණ්ඩ තැන්පත් කර තබන කාමරයයි. සංක්රිස්තියානි තැන යනු එම සංක්රිස්තියේ මෙන්ම සමස්ත දේවස්ථානයේම භාරකරුය. දේව මෙහෙයන්හි පසුපස සිටින ප්‍රධාන ගිහි සේවකයා වන්නේ ද මොහුය.
දේවස්ථානය නඩත්තු කිරීම, උදෑසන දේවස්ථානය විවෘත කිරීම, රාත්‍රියට වසා දැමීම, පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීම සහ මල් සැකසීමට සහාය වීම, දේව මෙහෙයන්ට සූදානම් වීම, දේවස්ථාන සීනුව නාද කිරීම, මෙන්ම දේව මෙහෙය අතරතුර පූජකතුමාට සහාය වීම සහ ප්‍රතිචාරාත්මක යාච්ඤා සඳහා පිළිතුරු දීම මොහුට අයත් විය.
මෙම දෙදෙනාම ගිහි අපෝස්තලිකයන් ලෙස සේවය කළ අතර, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මොවුන් මෙම කාර්යභාරය ඉටු කරන ලද්දේ වැටුපකට වඩා දේවස්ථානයට සහ ගමට කරනු ලබන ආගමික කැපවීමක් හා සේවයක් වශයෙනි. නමුත් අද වන විට මෙම ආගමික සේවාවන් දෙකම අඩාල වී හෝ බිඳවැටී තිබේ. මෙවන් තත්ත්වයන් යටතේ පල්ලියේ ගිහි-පූජක සම්බන්ධයේ මුල්ම පාලම ද බිඳවැටී ඇත.

එකල කතෝලිකයන් තුළ පල්ලිය කෙරෙහි බිය මුසු ගෞරවයක් තිබූ අතර ගමේ පියතුමා සතුව ඒ මත පදනම් වූ නොනිල ආධිපත්‍යයක් (Informal Hegemony) තිබූ බව අප දන්නා කරුණකි. ඉතාලි දාර්ශනික ඇන්ටෝනියෝ ග්රාම්ෂි (Antonio Gramsci) විස්තර කරන ආධිපත්‍යය මෙන්, මෙය හමුදා බලයෙන් නොව, සංස්කෘතික හා ආගමික පිළිගැනීමෙන් පවත්වාගෙන ගිය පාලනයකි.
නමුත් අද එම ආධිපත්‍යය බොහෝ දුරට බිඳවැටී ඇත. මෙයට ප්‍රධාන හේතු තුනකි:
නූතන අධ්‍යාපනය, විදේශ රැකියා (විශේෂයෙන් ඉතාලිය සහ මැදපෙරදිග වෙත සංක්‍රමණය වීම), තොරතුරු තාක්ෂණය සහ මානව හිමිකම් පිළිබඳ දැනුවත්භාවය නිසා මිනිසා තම ජීවිතයේ මූලික තීරණ (විවාහය, රැකියාව, ඇඳුම, ජීවන රටාව) තමන් විසින්ම තීරණය කිරීමට පටන්ගෙන ඇත. පියතුමාගෙන් අවසර ගැනීමේ සංස්කෘතිය වෙනුවට දැන් ඇත්තේ පියතුමා දැනුවත් කිරීමේ සංස්කෘතියකි. මෙය පීටර් බර්ගර් (Peter Berger) හඳුන්වන නූතනීකරණයේ ප්රතිඵලයකි.
ගමේ පල්ලිය කේන්ද්‍ර කරගත් ජීවිතය වෙනුවට, කොළඹ, මීගමුව, කටුනායක කාර්මික කලාප ආශ්‍රිතව ජීවත් වන කතෝලිකයාට පල්ලිය සමඟ ඇත්තේ සති අන්ත හෝරා කිහිපයක ආධ්‍යාත්මික සබඳතාවකි. 1977 විවෘත ආර්ථිකයෙන් පසු ඇති වූ නිදහස් වෙළඳ කලාප, විදේශ රැකියා ආර්ථිකය, උගත් තරුණියන් ගම්මානවලින් නගරවලට සංක්‍රමණය වීම නිසා ගම් පල්ලියේ දෛනික පාලනයට භෞතික ඉඩක් නැති විය. කතෝලික දරුවා ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලකය; ඔහුගේ රැකියාව බහුවිධ සංස්කෘතික පරිසරයකය. එහිදී පල්ලියේ දෛනික මැදිහත්වීමට ඉඩක් නැති අතර, එසේ වන්නේ නම් එය ඔවුන්ගේ ජීවිතවලට අනවශ්‍ය බලපෑමක් වීමට ද ඉඩ තිබේ.
අද බොහෝ දෙනා දේවස්ථානය දකින්නේ තම ජීවිතය පාලනය කරන ආයතනයක් ලෙස නොව, තම මනසට සහ ආත්මයට සැනසීම ලබාදෙන ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් (Spiritual Center) ලෙස පමණි. වත්මන් කතෝලික බහුතරයකට අවශ්‍ය ඇවතුම් පාලනයක් නොව, යාච්ඤාවක්, දේශනාවක් හෝ නිශ්ශබ්දතාවක් පමණි. ඇතැම්හු එය විවේකය ගත කිරීමේ අවස්ථාවක් (Leisure Time Part) සේ ද සිතති. එබැවින් පල්ලිය සහ බැතිමතා අතර සම්බන්ධය ආධිපත්‍යයකින් ඔබ්බට ගොස්, පෞද්ගලික විශ්වාසය සහ කැමැත්ත මත පදනම් වූ ගිවිසුමක් තෙක් වෙනස් වී ආධ්යාත්මිකකරණය (Spiritualization) යන සීමාව තුළ නතර වී තිබේ. මෙය ලෝකයේම දක්නට ලැබෙන “අයිති නොවී විශ්වාස කිරීම” (Believing Without Belonging) යන සංසිද්ධියේ ශ්‍රී ලාංකික ප්රකාශනයයි.
මෙම වෙනස 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු හදිසියේ ඇති වූවක් සේ සිතීම ඉතිහාසය විකෘති කිරීමකි. එහි මූලික න්‍යායික හා දේවධර්මීය පදනම වැටෙන්නේ 1962-1965 දක්වා රෝමයේ වතිකානුවේ පැවති දෙවන වතිකානු මහා මන්ත්‍රණ සභාව (Second Vatican Council) තුළිනි. 23 වන ජුවාම් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් කැඳවන ලද, 6 වන පාවුළු ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් අවසන් කරන ලද මෙම මන්ත්‍රණ සභාව කතෝලික සභාවේ ඉතිහාසයේ විශාලතම ප්රතිසංස්කරණයයි.
එහිදී සම්මත වූ ලේඛන 16 තුළින් කතෝලික සභාව ස්වයං-ලිබරල්කරණයකට ලක් විය. එම ලිබරල්කරණයේ මූලිකාංග කිහිපයක් මෙසේය:
සභාව පිළිබඳ ආඥා ප්රකාශනය (Lumen Gentium): සභාව යනු පූජකයන්ගේ පමණක් පිරමීඩයක් නොව, “දෙවියන්ගේ සමස්ත ජනතාව” බව ප්‍රකාශ කළේය. එතෙක් පැවති පූජක කේන්ද්‍රීය ආධිපත්‍යය බිඳ දමමින් ගිහියාගේ භූමිකාව දේවධර්මීයව පිළිගත්තේය.
නූතන ලෝකයේ සභාව පිළිබඳ ප්රඥප්තිය (Gaudium et Spes): සභාව ලෝකයෙන් හුදකලා බලකොටුවක් නොව, නූතන මිනිසාගේ ප්‍රීතිය, ශෝකය, අභියෝග සමඟ සංවාද කළ යුතු බව ප්‍රකාශ විය. මෙය සභාව ලෞකික ජීවිතයට බලහත්කාරයෙන් මැදිහත් වීම වෙනුවට සංවාදයට යොමු කිරීමකි.
ආගමික නිදහස පිළිබඳ නිවේදනය (Dignitatis Humanae): පුද්ගලයාගේ හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස මූලික මානව හිමිකමක් බව ප්‍රකාශ විය. බලහත්කාරයෙන් ආගම ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කෙරිණි.
දිව්‍ය පූජාව පිළිබඳ ආඥා ප්රකාශනය (Sacrosanctum Concilium): දිව්‍ය පූජාව ලතින් භාෂාවෙන් පූජකයා පමණක් කරන රහස්‍ය යාගයක් වෙනුවට, ජනතාවට තේරෙන භාෂාවෙන්, ජනතාවගේ සහභාගීත්වයෙන් කරන විවෘත සැමරුමක් බවට පත් කරන ලදී.

සරලව කිවහොත්, දෙවන වතිකානු මන්ත්‍රණය තුළින් සභාව විසින්ම තමන් සතුව තිබූ මධ්‍යකාලීන “නොනිල ආධිපත්‍යය” ස්වේච්ඡාවෙන්ම අත්හැර, විශ්වාසය මත පදනම් වූ නූතන ආයතනයක් බවට පත්වීමට තීරණය කරන ලදී.
මෙම විශ්වීය වෙනස ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස ස්ථානගත කිරීමේ සමාරම්භය ඊට බොහෝ කලෙකට පෙර ඇරඹුණකි. එහි සමාරම්භය හිටපු හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන් (1897-1989) විසින් සනිටුහන් කරන ලද බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි කොතෙකුත් තිබේ. එතුමන්ගේ පූර්වාදර්ශ ද සමඟ එය සමාජ කතිකාවතක් ලෙස ගොඩනැඟූ එඩිතර පූජක ප්‍රජාවක් ද අප රටේ සිටියහ. ඒ හා මුසු වූ දෙවන වතිකානුවේ සමාජ ඉගැන්වීම් ශ්‍රී ලංකාවේ දිළිඳු ධීවරයාට, වතු කම්කරුවාට, දෙමළ සහ සිංහල ගැටුම මැද සිටින මිනිසාට අදාළ කරවමින් ගොඩනැගූ දේවධර්මීය සංවාදය අතිශය වැදගත්ය. අර්නස්ට් පෝරුතොට පියතුමා (1931-2020) සහ ඇලෝසියස් පීරිස් පියතුමා (1934-2006) දක්වා වරින් වර හඬ නැංවුණු ඒ අභීත කාහල නාදය – එනම් විමුක්ති දේවධර්මය, ජන දේවධර්මය පිළිබඳ සංවාදය මේ වන විට මුළුමනින්ම නිහඬ වී හෝ “නිහඬ කොට” තිබේ.
මෙම නිහැඬියාව තුළ, පල්ලියෙන් බලාපොරොත්තු වූ සංවාදාත්මක, ලිබරල්වාදී ආකෘතිය වෙනුවට පල්ලිය දිළිඳුන්ගෙන් දුරස්ව ධනවතුන් හා සහජීවනයෙන් යුතු ආකෘතියක් වෙත යෑමට දරන උත්සාහයක් ඇතැම් තැන්වල දක්නට ලැබීම ද බැතිමතුන්ගේ දුරස්ථභාවයට තවත් එක් හේතුවකි.
ඒ කෙසේ වුවද වර්තමාන ශ්‍රී ලාංකික කිතුනුවා ආගමින් දුරස් වී ඇතැයි යන සමාජ මතය අර්ධ සත්‍යයකි. ඔවුන් දුරස් වී ඇත්තේ ආගමෙන් නොව, ආගමේ පැරණි සමාජ පාලන ආකෘතියෙනි. පාස්කු ප්‍රහාරයේ දේශපාලනීකරණය යනු මෙම දීර්ඝකාලීන ව්‍යුහාත්මක දුරස්ථභාවය මත අතුරා ඇති තාවකාලික දේශපාලනික තිමිර පටලයකි.
අද කතෝලිකයාට අවශ්‍ය තම විවාහය තීරණය කරන පියතුමෙකු නොව, තම විවාහ ජීවිතයේ අර්බුදයකදී සවන් දෙන පියතුමෙකි; තම දරුවාට තරවටු කරන ඇන්නැවි රාල කෙනකු නොව, තම දරුවාට ආධ්‍යාත්මික මගපෙන්වීමක් දෙන සභාවකි.
මෙම වෙනස පරිහානියක් ලෙස දැකීම වැරදි ය. එය දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ සිට පැමිණි, නොවැළැක්විය හැකි නූතනීකරණයේ පරිණතභාවයයි. එබැවින් සභාව කළ යුත්තේ අහිමි වූ ආධිපත්‍යය ගැන වැලපීම නොව, මෙම නව “ගිවිසුම්ගත” බැතිමතා සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන ආකාරය ඉගෙන ගැනීමයි. නමුත් මෙම යථාර්ථයේ අග මුල නොදැන අල්තාරය, ලැගුම්ගෙය සහ ජංගම දුරකථනය අතරට මැදි වූ නූතන පූජක පරපුර “පිය” පදවියෙන් “පුත්” තත්ත්වය තෙක් පහළ බැස ඇති ආකාරය පෙන්නුම් කෙරෙන සිදුවීම් ද වර්තමානයේ අතිශයින් සුලබය.
රීටා ජෙනට් පෙරේරා