ආපදා කළමනාකරණය යනු සිදු වූ ආපදාවන් ගැන විස්තර ජනතාව හමුවේ තැබීම නොවේ


ස්වාභාවික ආපදා යන්න මේ වන විට අපට බෙහෙවින් හුරුපුරුදුය. ආපදා සම්බන්ධයෙන් අප ජන සමාජය මෙතරම් සංවේදී වූයේ 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් පසුව විය යුතුය. ශ්‍රී ලංකාව තුළ ආපදා අවදානම් පාලනය සඳහා වන නීතිමය සහ ආයතනික පදනම ප්‍රථමයෙන් සකස් වූයේ 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත (Disaster Management Act No. 13 of 2005) හඳුන්වා දීමත් සමඟය. මෙහි අග්‍රඵලය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (Disaster Management Centre – DMC) පිහිටුවනු ලැබූ අතර, එමඟින් ජාතික මෙන්ම රාජ්‍ය ආයතනික මට්ටමින් ආපදා ප්‍රතිචාර සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සලසන ලදී. කෙසේ වෙතත්, සැබෑ ගැටලුව වන්නේ ආපදා අවදානම් පාලනය සඳහා නීතිමය සහ ආයතනික ව්‍යුහයක් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවීමයි.

ඒ අනුව නව ගෝලීය දේශගුණික යථාර්ථයන්ට සහ සංකීර්ණතාවන්ට ගැළපෙන පරිදි පවතින ආපදා ප්‍රතිචාර පද්ධතිය ජාතික අවදානම් පාලන හා දේශගුණික ඔරොත්තු දීමේ පද්ධතියක් බවට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය වේ. එහිදී මූලික ප්‍රමුඛතාව මේ වන විට ප්‍රමුඛත්වය දී තිබෙන “ආපදාවෙන් පසු සහන සැපයීම” සිට “ආපදාවට පෙර සිදුකරන ආයෝජනය” වෙත මාරු විය යුතුව ඇත. ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන නව ප්‍රවේශය වන්නේ ආපදා අවදානම අවම කිරීමයි (DRR – Disaster Risk Reduction). මෙම නව ප්‍රවේශය සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන පියවර පහක් ඔස්සේ සකස් විය යුතුව ඇත.

පළමුවෙන්ම, ENSO (El Niño–Southern Oscillation) වැනි දේශගුණික දර්ශක මත පදනම් වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නවීකරණය කරමින් “පූර්ව ක්‍රියාමාර්ග” (Anticipatory Action) ගැනීමේ හැකියාව වැඩිදියුණු කළ යුතුය. දෙවනුව, කාලගුණික තොරතුරු මත පදනම් වූ වගා ක්‍රමවේද සහ ජල සංරක්ෂණය ඇතුළත් දේශගුණික බුද්ධිමත් කෘෂිකර්මාන්තය (Climate-Smart Agriculture) ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියේ මූලික කොටසක් කරගත යුතුය. තෙවනුව, ජලාශ කළමනාකරණය සහ විදුලිබල සැලසුම් කිරීම දීර්ඝ කාලගුණික පුරෝකථන සමඟ එකම අවදානම් රාමුවක් තුළ ඒකාබද්ධ කරමින් ජල සම්පත් සහ බලශක්ති ඒකාබද්ධ සැලසුම්කරණයක් ඇති කළ යුතුය. සිව්වනුව, ආපදාවලින් හානි නොවන පරිදි යටිතල පහසුකම් මුල සිටම සැලසුම් කරන දේශගුණික අවදානම් මත පදනම් වූ නාගරික සැලසුම්කරණයකට පිවිසිය යුතුය. අවසාන වශයෙන්, සෑම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතියක්ම පූර්ව අවදානම් ඇගයීමකට (Risk Assessment) ලක් කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට දේශගුණික අවදානම් ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම සංකල්පීය මාරුව මඟින් ආපදා කළමනාකරණය යන්න හදිසි සහන ලබාදෙන හුදකලා ආයතනික කාර්යයකින් ඔබ්බට යාමකි. ඒ සමඟම එය ජාතික සංවර්ධන සැලසුම්කරණයේ ප්‍රධාන අංගයක් බවට පත්වේ. සාම්ප්‍රදායික ආකෘතිය (Reactive Approach) යටතේ “උපද්‍රවය → ආපදාව → සහන → ප්‍රතිසංස්කරණය” යන ක්‍රියාවලිය ඔස්සේ ආපදාව සිදු වූ පසු සහන සැපයීම කෙරෙහි පමණක් අවධානය යොමු කෙරුණි. ටයි පටි පැළඳ ජන මාධ්‍ය හමුවට එන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් කුඩා දරුවන් පාසල් පෙළ පොත් කියවන්නාක් මෙන් සිදු වූ ආපදාවන් පිළිබඳ විස්තර ජනතාව හමුවේ තබනුයේ ඒ අනුවය. එහෙත් මෙය ඇතැමුන්ගේ නොරිස්සුමට ද හේතු වී තිබේ. නමුත් නව සංවර්ධන ආකෘතිය (Proactive / Risk-Informed Approach) මඟින් මෙම තත්ත්වය වෙනස් වීම කාලීන අවශ්‍යතාවකි. “අවදානම් හඳුනාගැනීම → පුරෝකථනය → පූර්ව අනතුරු ඇඟවීම → පූර්ව ක්‍රියාමාර්ග → අවදානම් අවම කිරීම → දේශගුණික අනුවර්තනය → ඔරොත්තු දීම → වේගවත් ප්‍රතිසාධනය” යන පුළුල් ක්‍රියාවලිය ඔස්සේ සංවර්ධන සැලසුම්කරණය තුළදීම අවදානම් පූර්වයෙන් සලකා බලා යටිතල පහසුකම් ගොඩනැගීමට මගපාදයි. ඒ සම්බන්ධයෙන් රජය මේ වන විට ජාතික මට්ටමේ වැඩසටහනකට පිවිස තිබීම පැසසුම් කටයුතුය.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර