
“සරස්වතියයි ලක්ෂ්මියයි එක තැන වාසය කරන්නේ නැහැ” යන්න අප කුඩා කල සිට අසා ඇති ජනප්රවාදයකි. එය තත්කාලීනව ගැඹුරු සංකේතාත්මක අර්ථයක් දරයි.
හින්දු දේව කතාවට අනුව සරස්වතී යනු ප්‍රඥාවට, දැනුමට, කලාවට සහ වාග් ශක්තියට අධිපති දේවතාවියයි. ලක්ෂ්මී යනු ලෞකික සෞභාග්‍යයට, ධනයට සහ ඓශ්චර්යයට අධිපති දේවතාවියයි. මෙම ජනප්රවාදයෙන් කියැවෙන්නේ කලාවේ අරමුණු සහ වාණිජමය අරමුණු යනු සහජයෙන්ම පරස්පර දෙකක් බවයි. එනම්, සැබෑ කලාකරුවා ධනය පසුපස නොයන අතර, ධනය පසුපස හඹා යන්නාට සැබෑ කලාව අහිමි වන බවයි. “කලාකරුවා හිඟන්නෙකි” යන සමාජ සම්මතය ද ඊට බද්ධ වූවකි. කලාකරුවාගේ දිළිඳු බව මෙන්ම සරල, චාම් දිවි පැවැත්ම ද ඉන් සංකේතවත් කෙරේ.
නමුත් වර්තමාන නව ලිබරල්වාදය (Neoliberalism) යටතේ එම පැරණි සංකල්පය මුළුමනින්ම සුන්බුන් වී ගොස් ඇත. ඒ අනුව අද තත්ත්වය අර්ථකථනය කළ යුත්තේ “ලක්ෂ්මී සරස්වතියගේ කර මතම වාඩි වී සිටින” ආකාරයට ය.
එදා “සල්ලි දෙවියන්ගේ මල්ලි” යැයි කියමින් මුදලට වඩා සදාචාරය ඉහළින් තැබූ පැරණි ගැමි සමාජයට මුදල් යනු අසීමිත සමාජීය වටිනාකමක් නොවූවත්, අද වන විට මාතෘත්වය සහ පිතෘත්වය වැනි මානව වටිනාකම් පවා මූල්‍යකරණයට (Monetization) ලක්ව ඇත. මේ වන විට ලෝකයේ ඇති සෑම දෙයකටම මූල්‍ය පදනමක් ගොඩනැගෙමින් පවතින අතර, ඒ මත වාණිජ පදනමක් සහ අලෙවිකරණ පදනමක් එක්වී තිබේ. මේ තත්ත්වය නිසා කලාකෘතිය පිළිබඳ අර්ථකථනය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර, එය භාණ්ඩ හා සේවා ගණයට එක් වෙමින් තිබේ.
අතීතයේ හොඳම කලාකෘතිය මනින ලද්දේ එහි සෞන්දර්යාත්මක ගුණාත්මකභාවය, අන්තර්ගත ගැඹුර සහ රසඥතාවය ආදී සාධක මුල් කර ගනිමිනි. නමුත් අද වැඩිම පිරිසක් කැමති වීම (Mass Popularity) ම කලාවේ ගුණාත්මක බව (Quality) මනින සාධකය බවට පත්ව ඇත. මෙය සිනමාව, සංගීතය, සාහිත්‍යය සහ චිත්‍ර කලාව යන සකලවිධ කලාවන්ටම බලපා ඇති බව රහසක් නොවේ.
වැඩිම දෙනෙක් ඉල්ලුම් කිරීම යනු එම කලාකෘතිය වටා දැවැන්ත මූල්‍ය සංසරණයක් ඇති කිරීමට හැකි ඉහළ අලෙවිකරණ වටිනාකමක් ආරෝපණය වීමකි. ජාතික හෝ ගෝලීය මට්ටමින් විශාල පිරිසක් වැලඳගන්නා කලාකෘති වෙත ආයෝජකයන්ගේ සහ බහුජාතික සමාගම්වල අවධානය යොමු වීමෙන් දැවැන්ත මූල්‍ය සංසරණයක් ගොඩනැගේ. අද කලාව අර්ථකථනය වන්නේ මෙම ගෝලීය ප්‍රවණතාව මතය. ඒ අනුව නූතන කලා ප්රවණතා නව ලිබරල් සංකල්ප මත පැතිර පවතින බව පැහැදිලිය.
මෙම සමකාලීන සංකල්පීය විපර්යාසය දෙස බැලීමේදී, සාම්ප්‍රදායික යුගයේ ප්‍රධාන මිනුම් දණ්ඩ වූ සෞන්දර්යාත්මක වටිනාකම, රසඥතාවය මත පදනම් වූ ග්රාහක පදනම සහ සදාචාරය මත පදනම් වූ ආර්ථික රටාව වෙනුවට, නව ලිබරල් යුගයේදී පිළිවෙළින් අලෙවිකරණ වටිනාකම, ජනප්‍රිය ඉල්ලුම (Popular Demand / Views) සහ ප්රාග්ධනය මත පදනම් වූ (Capital-driven) ආර්ථික රටාවක් ස්ථාපිත වී ඇති බව අතිශය පැහැදිලි ය.
මේ තත්ත්වය පිළිබඳව සමාජ විද්‍යාඥයන් අතර විශාල කතිකාවතක් ඇතිවී තිබේ. එක් පාර්ශ්වයක් මෙය ජනප්‍රිය ප්රජාතන්ත්රවාදයක් (Popular Democracy) ලෙස තාර්කිකව නිවැරදි යැයි තර්ක කරද්දී, අනෙක් පාර්ශ්වය පෙන්වා දෙන්නේ වෙළඳපොළ විසින් වැඩිදෙනාගේ රුචිය නිර්මාණය කිරීම නිසා මිනිසත් බවේ අගය ඉහළ නංවන සැබෑ රසවින්දනය විනාශ වී, සියුම් හා ගැඹුරු කලාකෘති සමාජයෙන් සැඟවී යන බවයි. නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ නොහැකි වුවත් මා පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට අපේ රට තුළ පවා මෙලෙස සැඟවුණු උසස් නිර්මාණ රැසක් පවතී. නමුදු මෙය එක වචනයකින් ධනාත්මකද නිෂේධාත්මකද යැයි කිව නොහැකි විශාල සමාජ පරිණාමයකි. එසේ වුව ද අපට මෙම ගෝලීය ප්‍රවණතාවයෙන් සම්පූර්ණයෙන්ම පිට පැන යා නොහැකි අතර, මෙම රැල්ලට අවනත වීමට සිදුවීම වැළැක්විය නොහැක.
මෙම තත්ත්වය යටතේ වුව උසස් නිර්මාණ පැවතිය හැකි වුවද, ඒවා බෞද්ධ සාහිත්‍යයේ මහා සුපින ජාතක කතාවේ කොසොල් රජුගේ සිහින දහසයේ එන “ගොම රිටි දියේ ගිලී කළුගල් දිය මත පාවීම” වැනි තත්ත්වයකි. ඒ අනුව තමන් කැමති කලාකෘතියක් පෞද්ගලිකව තෝරාගෙන රස විඳීමට හැකි වුවද, කලාකෘතියක උසස් පහත් බව මනින පැරණි නිර්ණායක දිනෙන් දින ගිලිහෙමින් පවතී. ඒ අනුව නොදුරු දිනකදීම ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි වී යාම වැළැක්විය නොහැකි බව ඉතා පැහැදිලි යථාර්ථයකි. එමෙන්ම මෙම තත්ත්වය යටතේ වත්මන් කලාකරුවන් අතුරින් ද නව ධනේශ්වරයක් හෙවත් මුදලාලි පන්තියක් බිහිවීම මේ වන විටත් සිදුවෙමින් පවතී. ලක්ෂ්මිය සරස්වතියගේ කර මතම වාඩි වී සිටින නැතහොත් කරේ නඟින යුගයක් ලෙස මෙය සරලව විග්රහ කළ හැක්කේ එබැවිනි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය