
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාව ඓතිහාසික, සංස්කෘතික හා ශිෂ්ටාචාරමය බැඳීමක් ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. නමුත් රාජ්‍යයන් අතර සබඳතා විග්‍රහ කිරීමේදී භූදේශපාලනය අමතක කළ නොහැකිය. ඉන්දියානු සාගරයේ මධ්‍යයට ආසන්නව පිහිටි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ආරක්ෂක ගණනය කිරීම් ඉතා ගැඹුරු ය. 2026 සැප්තැම්බර් 9 වැනිදා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය මෙම සන්දර්භය තුළ විශේෂ වැදගත්කමක් ගනී. වසර 38කට පසු සිදුවූ මෙම නිල සංචාරයේදී ආරක්ෂක, ආර්ථික, සමුද්‍රීය සහ කලාපීය හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා වී තිබේ. එහිදී ශ්‍රී ලංකාව තම භූමිය ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට අහිතකර කිසිදු කටයුත්තකට භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත අවධාරණය කොට ඇත. මෙහිදී L-70 ගුවන් ආරක්ෂක තුවක්කු හයක් නවීකරණය කිරීම, ජාතික ආරක්ෂක විද්‍යාල සහ ශිෂ්‍ය භට බලකා අතර අධ්‍යයන සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් ද හුවමාරු වී තිබේ.

නමුත් මෙය සාමාන්‍ය අසල්වැසි සහයෝගීතාවක් ද, නැතහොත් ශ්‍රී ලංකාවේ විදේශ, ආරක්ෂක සහ ආර්ථික තීරණ ගැනීමේ අවකාශය ක්‍රමයෙන් ඉන්දියාවට සමීප කරවන ව්‍යුහයක් ද යන්න අප ද ඉතා හොඳින් විමසා බැලිය යුතුය. 1987 ජූලි 29 අත්සන් කළ ඉන්දු–ලංකා ගිවිසුම නූතන භූදේශපාලනික හැරවුම් ලක්ෂ්‍යය වූ අතර, ඉන්දීය සාම සාධක හමුදාව පැමිණීම, එල්.ටී.ටී.ඊ.ය සමඟ ගැටුම් සහ IPKF ඉවත් කිරීම දක්වා වූ සිදුවීම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නය සංකීර්ණ කළ බව නොරහසකි. එමඟින් ලැබෙන පාඩම නම්, විදේශීය බලවතකු සමඟ අත්සන් කරන ආරක්ෂක ගිවිසුමක් දේශපාලන හා ආරක්ෂක තත්ත්වයන් තත්කාලීනව වෙනස් වන විට මුල් අරමුණට වඩා වෙනස් අර්ථ ලබාගත හැකි බවයි.
2026 වන විට අද ඉන්දියාව ශ්‍රී ලංකාවට හමුදා එවීමක් ගැන කතා නොකරයි. නමුත් ඒ වෙනුවට සමුද්‍රීය වසම් දැනුවත්භාවය, බුද්ධි හා තොරතුරු හුවමාරුව, නාවික සහ වෙරළාරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ අභ්‍යාස, හමුදා පුහුණුව, ඩෝනියර් ගුවන් යානා මඟින් නිරීක්ෂණය, සාගර සෙවීම් හා ගලවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre) පිහිටුවීම, ආපදා සහන, සයිබර් ආරක්ෂාව, මත්ද්‍රව්‍ය මර්දනය, වරාය සහ බලශක්ති යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර හරහා සම්බන්ධතාව ගැඹුරු කරයි. 2025 අප්‍රේල් මාසයේදී ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද හුවමාරු විය. ශ්‍රී ලංකාව වැනි සම්පත් සීමිත රටකට මෙම සහාය අතිශය වැදගත් වන මුත්, ආරක්ෂක පද්ධතිය ක්‍රමයෙන් වෙනත් රටක තාක්ෂණය, පුහුණුව, තොරතුරු සහ උපකරණ මත රඳා පවතින විට “ආරක්ෂක ස්වාධීනත්වය” පිළිබඳ ප්‍රශ්නයක් ද මතුවේ.
ඉන්දියාවට ශ්‍රී ලංකාව වැදගත් වන්නේ භූගෝලීය පිහිටීම නිසා ය. ඉන්දියානු සාගරයේ ප්‍රධාන නාවික මාර්ග ශ්‍රී ලංකාව අවටින් ගමන් කරන අතර, චීනය ඉන්දියානු සාගර කලාපයේ ව්‍යාප්ත වන පසුබිම තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂක ගණනය කිරීම්වල වැදගත් කොටසක් වේ. 2025 දෙසැම්බරයේ සහ අප්‍රේල් මාසයේදී ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලි කළේ ශ්‍රී ලංකා භූමිය හෝ ඒ අවට මුහුද ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර කටයුත්තකට භාවිත කිරීමට ඉඩ නොදෙන බවයි. රෝහණ විජේවීරගේ දේශපාලන ඉගැන්වීම්වල සඳහන් “ඉන්දියානු ව්‍යාප්තවාදය” යන්නෙහි මූලික අදහස වූයේ කුඩා රාජ්‍යයකට විශාල කලාපීය බලවතකුගේ බලපෑම්වලට මුහුණ දීමට සිදුවන බවයි. අද ප්‍රශ්නය විය යුත්තේ මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ තීරණ ගැනීමේ ස්වාධීනත්වය වැඩි කරනවා ද, නැතහොත් අඩු කරනවා ද යන්නයි.
වර්තමානයේ ආරක්ෂක සහයෝගීතාවට අමතරව බලශක්ති, ඩිජිටල්කරණය, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම, HVDC interconnection විදුලි ව්‍යාපෘතිය, UPI ඉන්දීය ඩිජිටල් මුදල් හුවමාරු පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය වැනි එකිනෙක සම්බන්ධ වූ උපායමාර්ගික පද්ධතියක් නිර්මාණය වෙමින් පවතී. එමෙන්ම චීන ආයෝජන සහ නාවික ක්‍රියාකාරකම් නොසලකා මෙම සම්බන්ධතාව තේරුම් ගත නොහැකි අතර, ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය අතර තම ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටී. කොළඹ ආරක්ෂක සමුළුව (Colombo Security Conclave) වැනි කලාපීය සහයෝගීතා මඟින් ශ්‍රී ලංකාවට වැදගත් ප්‍රතිලාභ හිමිවන බැවින්, ගැටලුව ඉන්දියාව සමඟ සහයෝගී වීම නොව, සහයෝගී වන අතරම ස්වාධීනව සිටින්නේ කෙසේද යන්නයි.
ඒ අනුව සැබෑ අවදානම ගිවිසුම නොව “යැපීම” යි. ආරක්ෂක උපකරණ, පුහුණුව, නඩත්තුව, බුද්ධි තොරතුරු, සන්නිවේදනය, බලශක්තිය, ඩිජිටල් පද්ධති සහ වරාය සම්බන්ධතා සියල්ල එකම බාහිර බලවතකු මත ක්‍රමයෙන් රඳා පවතින තත්ත්වයක් ඇති වීම ය. එසේ වුවහොත් එය උපායමාර්ගික යැපීමක් බවට පත්වී තීරණ ගැනීමේ ප්‍රායෝගික අවකාශය සීමා විය හැකිය. මෙහි සැබෑ අවසන් ප්‍රතිඵලය හැකියාවන් 3ක් ඔස්සේ දැකිය හැකිය: (1) ඉන්දියාවේ ආර්ථික හා ආරක්ෂක ශක්තිය තමන්ගේම ධාරිතාව වර්ධනය කර ගැනීමට භාවිත කරමින් සැබෑ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීම, (2) ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට නොහැකි වන තරමට ඉන්දියානු ආරක්ෂක ජාලයට සම්බන්ධ වී එහි කොටසක් බවට පත්වීම, හෝ (3) ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් බලවතුන් අතර ස්වාධීන හවුල්කරුවකු වීමයි.
එබැවින් ඉන්දු–ලංකා ගිවිසුම් පිළිබඳ ඉදිරි පියවරවලදී දත්ත ස්වෛරීත්වය, ආරක්ෂක උපකරණ නඩත්තු යැපීම සහ ගිවිසුම්වල කොන්දේසි පිළිබඳ විනිවිදභාවය පැහැදිලිව තිබිය යුතුම ය. ඉන්දියාව විශාල බලවතකු බැවින් ගැටුමක් තෝරාගැනීම හෝ සියලු ඉල්ලීම්වලට එකඟ වීම ප්‍රායෝගික නොවන අතර, සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකත්වය ඇත්තේ මේ දෙක අතර ය.

21 වැනි සියවසේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අතීත පුරාණෝක්තියක රාම කුමරු එන්නාක් මෙන් දුනු හී තල රැගෙන නොවේ. තාක්ෂණය, ණය, බලශක්තිය, ඩිජිටල් පද්ධති, වරාය, පුහුණුව සහ බුද්ධි තොරතුරු සමඟ ය. එබැවින්, ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ අභියෝගය වන්නේ තීරණ ගැනීමේ හැකියාව තමන් සතුව තබාගැනීමයි. අවසන් වශයෙන් කිව හැක්කේ ඉන්දු–ලංකා ගිවිසුම්වල සැබෑ අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ශ්‍රී ලංකාව තමන්ගේම ජාතික අවශ්‍යතා නිර්වචනය කර, ඒවා වෙනුවෙන් කොන්දේසි සහිතව, විනිවිදභාවයෙන් සහ බහුපාර්ශ්වීය සමතුලිතතාවකින් යුතුව කටයුතු කිරීමට සමත් විය යුතු බව ය.
මනෝජ් එන්. ප්‍රනාන්දු