ඉන්ධන මිල පහළ දැමීමේ ගෞරවය ආණ්ඩුවට හිමි නොවන්නේ ඇයි?


ඉකුත් 29 දා මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414ක් ලෙස සටහන් වේ. එසේම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 25කින් අඩු කර ඇති බැවින් එහි නව අලෙවි මිල රුපියල් 382ක් වේ. කෙසේ වෙතත්, අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යූරෝ 4 ලීටරයක් රුපියල් 495කටත්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 478කටත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 285කටත් පෙර පැවති මිල ගණන් යටතේම තවදුරටත් අලෙවි කෙරෙන බව සඳහන් වේ. නමුත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙද්දීත්, ශ්‍රී ලංකාවේ දේශීය ඉන්ධන මිල ඊට සාපේක්ෂව අඩු නොවීම වර්තමාන සමාජය තුළ දැඩි කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. ලොව බොහෝ රටවල් ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය සෘජුවම තම ජනතාව වෙත දැනෙන අයුරින් ලබා දෙද්දී, මෙරට පාරිභෝගිකයන්ට එම සහනය මෙතෙක් නිසි ලෙස ලැබී නොමැත. විශේෂයෙන්ම, බලයට පත්වීමට පෙර මාධ්‍ය මඟින් ඉන්ධන මිල සූත්‍ර සහ බදු සම්බන්ධයෙන් විද්‍යාත්මක හා තර්කානුකූල කරුණු ඉදිරිපත් කරමින් ජන හදවත් දිනාගත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ඉන්ධන මිල ප්‍රමාණවත් ලෙස සංශෝධනය කිරීමට අපොහොසත් වීම තුළ අසමර්ථයකු වී ඇති බවට මහජනතාව අතර දැඩි මතයක් ගොඩනැඟෙමින් පවතී. වත්මන් ආණ්ඩුව සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 42ක පමණ ප්‍රතිශතයක් ලබා ගනිමින් බලය තහවුරු කරගෙන සිටින පසුබිමක, මෙවැනි සංවේදී ආර්ථික කරුණු මුල් කරගනිමින් රජයට එරෙහි විවේචන සමාජ කරළියට පැමිණීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. එමෙන්ම මෙම තත්ත්වය වත්මන් ආණ්ඩුවේ ඉදිරි යහපැවැත්ම පිළිබඳ සාධනීය ලෙස බල නොපාන බව අතිශය පැහැදිලි ය.

මෙලෙස ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුවද දේශීය මිල අඩු නොවීමට බලපා ඇති ප්‍රධානතම තාක්ෂණික හේතුවක් ලෙස ප්‍රකාශ වන්නේ ලංකාවේ ඉන්ධන මිලදී ගැනීමේ චක්‍රය සහ පවතින පැරණි තොගයි. ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය කරනු ලබන්නේ මාසික ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් යටතේ බැවින්, අද දින ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුවද වර්තමානයේ පාරිභෝගිකයා වෙත නිකුත් කරනු ලබන්නේ මීට මාස එකකට හෝ දෙකකට පෙර වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග වේ. මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙරට පවතින ගබඩා ධාරිතාව ඉතා සීමිත මට්ටමක පවතින බවයි. මේ හේතුවෙන්, අලුතින් මිල අඩු වූ ඉන්ධන තොග මෙරටට පැමිණ ඒවා වෙළෙඳපොළට නිකුත් කරන තෙක් පාරිභෝගිකයාට ලෝක මිල අඩුවීමේ වාසිය ලබා ගැනීමට සෑහෙන කාලයක් බලා සිටීමට සිදු වේ. නමුත් පසුගිය මැතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයා එවක රජය කෙරෙහි දැඩි උපහාසයක් එල්ල කරමින් එකහෙළාම පවසා සිටියේ තම රජයක් බලයට පත් වූ වහාම ඉන්ධන තොග ගබඩා සංචිත විධිමත් ලෙස සකසා, විශාල ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවකි.

මීට අමතරව, දේශීය ඉන්ධන මිල කෙරෙහි විදේශ විනිමය අනුපාතිකය හෙවත් ඩොලරයේ අගය සෘජුවම බලපෑම් කරයි. ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගනු ලබන්නේ ඇමෙරිකානු ඩොලර්වලිනි. කෙසේ වුවද, 2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.4කින් අවප්‍රමාණ වී ඇත. මෙම තත්ත්වය යටතේ ලෝක වෙළෙඳපොළේ… බොරතෙල්… බැරලයක මිල ඩොලර් 1කින් අඩු වුවද, රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් දේශීය වශයෙන් ගණනය කිරීමේදී ඉන්ධන බැරලයක මිල රුපියල් 2කින් පමණ ඉහළ යන බව පැවසේ. මේ අනුව, රුපියලේ අගය කඩා වැටීම හේතුවෙන් ජාත්‍යන්තර මිල අඩුවීමේ වාසිය දේශීය වෙළෙඳපොළ තුළදී අහෝසි වී යයි.

එමෙන්ම, ඉන්ධන මත පනවා ඇති බදු සහ අධිභාර ද මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හේතු වී ඇත. ලංකාවේ ඉන්ධන මිල තීරණය වීමේදී රජයේ බදු, වරාය ගාස්තු, රක්ෂණ සහ ප්‍රවාහන වියදම් විශාල වශයෙන් එකතු වේ. දත්ත වාර්තාවලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඩීසල් බැරලයකට අමතරව එකතු වන මෙකී වියදම් ප්‍රමාණය ඩොලර් 5 සිට ඩොලර් 60 දක්වා අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන්, පිරිපහදු කළ ඩීසල් වෙනුවෙන් මෙරටට දැරීමට සිදුවන සැබෑ ගොඩබෑමේ වියදම (Landing Cost) මේ වන විට බැරලයකට ඩොලර් 350කට අඩු නොවන අගයක් ගෙන තිබේ.

වත්මන් ආණ්ඩුව පුන පුනාම පවසන්නේ තමන් තවමත් ඉන්ධන සඳහා සැලකිය යුතු සහනාධාරයක් ලබා දෙන බවයි. පවතින මිල සූත්‍රයට අනුව රජය තවමත් ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබා දෙන අතර, එය 2026 සැප්තැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පැවසෙයි. ආණ්ඩුව පවසන්නේ මෙම සහනාධාරය ඉවත් කළහොත් මිල තවත් ඉහළ යා හැකි බවයි. කෙසේ වෙතත් 2026 ජූනි වාර්තාවකට අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29ක් බැගින් පාඩු ලබමින් සිටී.

කෙසේ වුවද, වත්මන් ආණ්ඩුව පුන පුනාම පවසන්නේ තමන් තවමත් ඉන්ධන සඳහා සැලකිය යුතු සහනාධාරයක් ලබා දෙන බවයි. පවතින මිල සූත්‍රයට අනුව රජය තවමත් ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබා දෙන අතර, එය 2026 සැප්තැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පැවසෙයි. ආණ්ඩුව පවසන්නේ මෙම සහනාධාරය ඉවත් කළහොත් මිල තවත් ඉහළ යා හැකි බවයි. කෙසේ වෙතත් 2026 ජූනි වාර්තාවකට අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29ක් බැගින් පාඩු ලබමින් සිටී. මෙම තත්ත්වයට අමතරව, සංස්ථාව සතු පැරණි ණය සහ පාඩු පියවීම ද ලෝක මිල අඩු වුවද දේශීය මිල එකපාර අඩු නොකිරීමට රජය ඉදිරිපත් කරන තවත් ප්‍රධාන කරුණකි. මෙහිදී පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් බාල ගල්අඟුරු අර්බුදය නිසා හටගත් බලශක්ති අර්බුදය පියවීමට අමතර ඩීසල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීම මත, එය ද ඉන්ධන පාරිභෝගිකයා වෙත පැටවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවක් බොහෝ දෙනෙක් පවසති.

ඒ කෙසේ වුවත්, ජාත්‍යන්තර යුදමය වටපිටාව සහ සැපයුම් දාමයන්හි පවතින අවදානම ද මෙරට මිල කෙරෙහි බලපා ඇත. 2026 පෙබරවාරි මාසයේ සිට ආරම්භ වූ ඇමෙරිකා – ඊශ්‍රායල – ඉරාන යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක අවදානම දැඩි ලෙස ඉහළ ගියේය. ශ්‍රී ලංකාව සියයට සියයක්ම ඉන්ධන ආනයනය මත යැපෙන රටක් බැවින්, සැපයුමට බාධා පැමිණේ යැයි පවතින බිය නිසා වැඩි මිලට හෝ තොග පවත්වාගෙන යාමට රජයට සිදු විය. මේ හේතුවෙන් 2026 මාර්තු මාසයේදී පමණක් මෙරට ඉන්ධන ආනයන වියදම සියයට 74.7කින් ඉහළ ගොස් ඇති අතර, එය මසකට ඩොලර් මිලියන 630ක් තරම් අතිවිශාල අගයකි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයන්හි හා සමාජ මාධ්‍ය පිටුවල ජනතාව අදහස් දක්වමින් රජය කෙරෙහි පවතින දැඩි කලකිරීම ප්‍රකාශ කර සිටින්නේ, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය තමන්ට නොලැබීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව “පරණ තොග” පිළිබඳ සාම්ප්‍රදායික තර්කයම තවදුරටත් ඉදිරිපත් කරන බව පවසමිනි. කෙටියෙන් කිවහොත්, ලෝක මිල + ඩොලරය + බදු + සහනාධාරය + පරණ තොග + සැපයුම් අවදානම යන සියල්ලේ එකතුවක් ලෙස අවසාන පොම්ප මිල තීරණය වන බැවින්, ජාත්‍යන්තර මිල අඩුවීමේ සැබෑ වාසිය ශ්‍රී ලාංකික පාරිභෝගිකයා වෙත ළඟා වීමට තවදුරටත් බාධා එල්ල වෙමින් පවතී.

මේ අතර මෙම සටහනේ අපර අර්ධය ලෙස සටහන් කළ යුතු විශේෂ කරුණක් ද තිබේ. නොපිළිගැනීම / හඳුනා නොගැනීම (Unrecognition) යන්නෙන් සරලවම අදහස් වන්නේ යම් පුද්ගලයකු, සංකල්පයක්, රාජ්‍යයක් හෝ ක්‍රියාවක් සඳහා නිල වශයෙන්, නීතිමය වශයෙන් හෝ සමාජයීය වශයෙන් ලැබිය යුතු පිළිගැනීම (Recognition) අහිමි වීම හෝ නොලැබී යාමයි. අප හට වැටහෙන අන්දමට අද වන විට වත්මන් ආණ්ඩුව ද ශීඝ්‍රයෙන් එම අවනතියට බඳුන් වෙමින් තිබේ.

ජාත්‍යන්තර දේශපාලනයේදී පවා යම් ස්වෛරී රාජ්‍යයක් හෝ ආණ්ඩුවක් ලෝකයේ සෙසු රටවල් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නිල වශයෙන් පිළි නොගැනීම මෙයින් අදහස් වේ. උදාහරණ ලෙස තායිවානය හෝ සෝමාලිලන්තය වැනි කලාප, ස්වාධීන පාලනයක් පැවතුණ ද ජාත්‍යන්තර වශයෙන් බොහෝ රටවල් විසින් රාජ්‍ය තාන්ත්‍රිකව “නොපිළිගැනීමේ” තත්ත්වයක පවතී. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතමයන් වෙත කාරුණිකව මතක් කොට දිය යුත්තක් තිබේ. එනම් බලයට පත් වීමට පෙර සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන එන, තම මතය පමණක් නිවැරදි වන අතර සෙසු මත සියල්ල වැරදි ය යන ආධානග්‍රාහී (Dogmatic) මුරණ්ඩු ස්ථාවරයෙන් මිදී, ගත වූ යුගය තුළ ගනු ලැබූ සාධනීය දේශපාලනමය තීන්දු තීරණ දෙස විවෘත හා මධ්‍යස්ථ ලෙස බලා වඩාත් නිවැරදි ගමන් මඟකට පිවිසෙන ලෙස ය. එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන බෙහෙවින් අඩාල වී අතරමඟ බිඳ වැටීමට ද බැරි නැත.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර