
යාපනයේ සිට කතරගම දක්වා ගමන් ගන්නා ඓතිහාසික වාර්ෂික පාද යාත්‍රාවට එක්ව සිටි හින්දු බැතිමතුන්ගේ මෙන්ම රට පුරා වෙසෙන සුවිසල් පිරිසකගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ‘සුබ්‍රමනියම්’ නමැති සුනඛයාට එම පාද යාත්‍රාව අතරතුර කල්මුණේදී අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 50,000ක ඇප මත මුදාහැරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ. මෙම නඩුව නැවතත් ජූලි 13 වනදා කැඳවීමට නියෝග කරන ලදී. අදාළ සිද්ධියේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ කල්මුණේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පහරදීමේ සිදුවීම වාර්තා වූයේ කල්මුණේ අශ්රෆ් අනුස්මරණ රෝහල අසල ප්‍රධාන මාර්ගයේදීය. එම රෝහල ඉදිරිපිට පළතුරු වෙළඳාමේ යෙදෙමින් සිටි සැකකාර තරුණයා විසින් කිසිදු හේතුවකින් තොරව පිටුපසින් පැමිණ, ඒ අසල සිටි මෙම සත්ත්වයාට උපරිම වෙර යොදා පයින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වනු දුටු සත්ව ලෝලීන්, හින්දු ආගමික සංවිධාන මෙන්ම සාමාන්‍ය මහජනතාවද සිය දැඩි පිළිකුල සහ කෝපය පළ කරමින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම වීඩියෝව කෙරෙහි වහාම අවධානය යොමු කළ අම්පාර දිස්ත්‍රික් උසස් පොලිස් නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ, කල්මුණේ මූලස්ථාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කරන ලදී. කල්මුණේකුඩි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේ ඒ අනුවය. පවතින නීතියට අනුව මෙවැනි වරදකට වරදකරු වන අයෙකුට සිර දඬුවමක් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය. ඒ කෙසේ වුවද වර්තමානයේ පවතින පැරණි සත්ව හිංසන නීති වෙනුවට, සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් වඩාත් දැඩි දඬුවම් ඇතුළත් නව සත්ව සුභසාධන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ක්‍රියාත්මක කරන ලෙස සත්ව හිංසනයට එරෙහි ක්‍රියාකාරීන් මෙරට බලධාරීන්ගෙන් නැවත වරක් දැඩිව ඉල්ලා සිටිති. මෙවර යාපනය – කතරගම පාද යාත්‍රාවේ වඩාත්ම කතාබහට ලක්වූ සහ කාගේත් අවධානය දිනාගත් සුවිශේෂී සාමාජිකයා වූයේ මෙම ‘සුබ්‍රමනියම්’ සුනඛයාය. කතරගම පාද යාත්‍රාවේ මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශය පසුකරමින් සිටියදී කිසිදු අයිතිකරුවෙකු නොමැතිව මහමඟ තනිව සිටි මෙම සුනඛයා ස්වේච්ඡාවෙන්ම පාද යාත්‍රා කණ්ඩායම සමඟ එක්විය. ඉන්පසු ඔහු පාද යාත්‍රා කණ්ඩායමට ආරක්ෂාව සපයමින් ඔවුන් සමඟම ගමන් කිරීම නිසා බැතිමතුන් මෙම සුනඛයාව කතරගම (මුරුගන්) දෙවියන්ගේ හාස්කමක් ලෙස සැලකූහ. පසුව ඔහුගේ ගෙලෙහි රෙදිකඩක් බැඳ, නළලෙහි විභූති සහ කුංකුම තිලක තබා ‘සුබ්‍රමනියම්’ ලෙස නම් කෙරිණි. මේ වන විට සුබ්‍රමනියම් එම පා පහර නොතකා හැර කිලෝමීටර් 450කට වඩා වැඩි දුරක් බැතිමතුන් සමඟ අඛණ්ඩව පාගමනින්ම පැමිණෙමින් සිටියි. මාංශ භක්ෂක සත්වයෙකු වුවද, මෙම ගමන පුරාම බැතිමතුන් ලබාදෙන නිර්මාංශ ආහාර, බිස්කට් සහ කිරි පමණක් ආහාරයට ගැනීමට හුරුවීම සැමගේ පුදුමයට හේතු විය.

නමුත් මෙම සුබ්‍රමනියම් සුනඛයා හින්දු ආගමික සංකේතයක් ලෙස සමාජගතව තිබියදී, කල්මුණේ මුස්ලිම් තරුණයකු ඒ සතාට පා පහරක් එල්ල කිරීම මුල් කොටගෙන මෙය ජාතික සංහිඳියාවට බාධාකාරී ක්‍රියාවක් ලෙසද සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් අර්ථ දක්වා තිබේ. ඒ අනුව අපි එම කරුණ සම්බන්ධයෙන්, ජාතික සංහිඳියාව ගොඩනැංවීම උදෙසා සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරන නිදහස් මාධ්‍යවේදිනියක මෙන්ම සත්ව හිමිකම් ක්‍රියාකාරිනියකද වන ෆාතිමා සුලෙයිමාන්ගෙන් විමසුමක් කළෙමු.

ඉස්ලාම් ධර්මය තුළ සුනඛයන් පිළිබඳව විශේෂිත වූ ආගමික සහ සෞඛ්‍යමය දෘෂ්ටි කෝණ කිහිපයක් තිබේ. නමුත් එමඟින් ඉස්ලාමයේ සුනඛයන් සම්පූර්ණයෙන්ම පිටුදැකීමක් හෝ ඔවුන්ට වෛර කිරීමක් සිදු නොකරන අතර, ප්‍රධාන කරුණු කිහිපයක් මුල් කරගෙන ඇතැම් සීමාවන් සහ නීති පනවා තිබීම සත්‍යයක් බව ඇය පවසයි. ඉස්ලාමයේ දෛනික යාච්ඤා (සලාතය) සඳහා ශරීරය, ඇඳුම් පැළඳුම් සහ යාච්ඤා කරන ස්ථානය ඉතාමත් පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය වේ. බහුතරයක් ඉස්ලාමීය විද්වතුන්ගේ මතය අනුව, සුනඛයෙකුගේ කෙළ සහ තෙතමනය සහිත ශරීර කොටස් අපවිත්‍ර දෑ (‘නජීස්’) ලෙස සැලකේ. එබැවින් නිවසක් ඇතුළත සුනඛයන් ඇති කිරීම යාච්ඤාවලට බාධාවක් විය හැකි නිසා එය සීමා කර තිබේ. ෆාතිමා සුලෙයිමාන් පවසන අන්දමට මෙම ආගමික තහංචිය සඳහා ඓතිහාසික පසුබිමක්ද තිබේ. එනම් ඉස්ලාමය බිහි වූ හත්වන සියවසේ අරාබිකරයේ ජලභීතිකාව (රේබීස්) සහ විවිධ පරපෝෂිත රෝග බහුලව පැතිරී තිබීම හා මානව ජනාවාසවල වැසිකිළි කැසිකිළි ආදී සනීපාරක්ෂක පහසුකම් අද මෙන් දියුණු තත්ත්වයක නොතිබීමය.

එවන් සනීපාරක්ෂක ගැටලු සහ සුනඛයන්ගේ කෙළ සහ සිරුර මඟින් රෝග බෝවීමේ අවදානම වැළැක්වීම සඳහා මිනිසුන් සහ සුනඛයන් නිවස තුළ එකට තබා ගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇත්තේ එබැවිනි. නමුත් ඉස්ලාමය තුළ සුනඛයන් ඇති කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර නැති බව පවසන ෆාතිමා සුලෙයිමාන් පෙන්වා දෙන්නේ, ඉස්ලාමීය නීතියට අනුව පහත සඳහන් අවශ්‍යතා සඳහා සුනඛයන් ඇති කිරීමට පැහැදිලිවම අවසර දී ඇති බවය. ගෙවල්, වතුපිටි හෝ දේපළ ආරක්ෂා කිරීමට, ගවයන් හෝ බැටළුවන් පාලනය කිරීමට හා දඩයම් කිරීමට සුනඛයන් ඇති කිරීමට ඉස්ලාමයෙන් බාධාවක් නැත. ඒ අනුව ඉස්ලාමය මෙම සතුන් නිවසින් පිටත ස්ථානයක තබා ගත යුතු අතර, සුරතලුන් ලෙස නිවසේ නිදන කාමර හෝ සාලය තුළ නිදහසේ හැසිරීමට පමණක් ඉඩ දී නොමැති බවත්, නමුත් නූතනයේ බිහි වී ඇති ප්‍රගතිශීලී සහ ප්‍රතිසංස්කරණවාදී මුස්ලිම් සංවිධාන සුරතල් සතුන් ලෙස සුනඛයන් ඇති කිරීමේ තහනම ඉස්ලාමයට එක් වූ පසුකාලීන මතයක් ලෙස හඳුන්වා දෙන බවත් ඇය අවධාරණය කරයි. ඒ සඳහා වන නිදසුන් ලෙස ඇමරිකාව කේන්ද්‍ර කොට බිහි වී ඇති ‘Muslims for Progressive Values’ (MPV) වැනි සංවිධාන, ශුද්ධ වූ කුරානයේ කිසිදු තැනක සුනඛයන් හා සම්බන්ධ තහංචි පනවා නොමැති අතර ඒවා පසුකාලීනව ඉස්ලාමයට එක් වූ සංස්කෘතිකමය මිථ්‍යාවන් බව පෙන්වා දී ඇතැයි ඇය පවසයි.

ඒ කෙසේ හෝ ඉස්ලාමයට අනුව සුනඛයන්ට වුවද හිංසා කිරීම මහා පාපයකි. ඉස්ලාමීය සාහිත්‍යයේ එන ප්‍රසිද්ධ කතා මඟින් ඒ බව මනාව තහවුරු වන බවද ෆාතිමා සුලෙයිමාන් අවධාරණය කරයි. “බුහාරි හා මුස්ලිම් හදීස් කියන්නේ ඉස්ලාම් ආගමේ හදීස් පොත් දෙකක්. හදීස් කියන්නේ නබි මුහම්මද් තුමාගේ කියමන්, ක්‍රියා සහ අනුමත කිරීම් එකතු කරලා තියෙන වාර්තාවලට. සරලව කිව්වොත්, කුරානයෙන් පස්සේ මුස්ලිම් අයගේ ජීවිතයට මඟ පෙන්වන ප්‍රධානම මූලාශ්‍රය තමයි මේ හදීස් පොත්. සුනඛයෙකුට වතුර දුන්න මනුස්සයාගේ කතාව බුහාරි, මුස්ලිම් දෙකේම තියෙනවා. මිනිහෙක් ගමනක් යද්දී හොඳටම පිපාසය හැදුණා. ළිඳකට බැහැලා වතුර බීලා ගොඩ ආවා. එතකොට පිපාසයෙන් පීඩිත වෙලා දිව එළියට දාගෙන තෙත් පස් කකා ඉන්න සුනඛයෙක් දැක්කා. ‘අනේ මට තිබුණ පිපාසයම තමයි මූටත්’ කියලා හිතලා, ආයෙත් ළිඳට බැහැලා තමන්ගේ මේස් එකට වතුර පුරෝගෙන, කටින් හපාගෙන උඩට ඇවිත් ඒ සුනඛයාට පෙව්වා. අල්ලාහ් ඒ වැඩේට කැමති වෙලා මිනිහට සමාව දුන්නලු. එතකොට සහාබාවරු, ඒ කියන්නේ එතුමන්ගේ අනුගාමිකයෝ ඇහුවා ‘නබිතුමනී, සත්තුන්ට හොඳ කරන එකෙනුත් පින් ලැබෙනවද?’ කියලා. නබිතුමා කිව්වා ‘ජීවයක් තියෙන ඕනෑම සතෙකුට හොඳක් කළොත් පින් තියෙනවා’ කියලා.” එසේ පැවසූ ෆාතිමා සුලෙයිමාන් ඊට තවත් නිදසුන් කතාවක් ඉදිරිපත් කළේ මෙලෙසිනි: “සුනඛයෙකුට වතුර දුන්න ගැහැනු කෙනාගේ කතාවත් බුහාරි, මුස්ලිම් දෙකේම තියෙනවා. ගණිකාවක් වූ ගැහැනු කෙනෙක් දවසක් රස්නෙ දවසක ළිඳක් ගාවින් යද්දී පිපාසයට දිව එළියට දාගෙන ඉන්න සුනඛයෙක් දැක්කා. එයා තමන්ගේ සපත්තුව ගලවලා ඒකෙන් ළිඳෙන් වතුර ඇදලා ඒ සුනඛයාට දුන්නා. අන්න ඒ කරුණාව නිසා අල්ලාහ් එයාට සමාව දීලා ප්‍රශංසා කළාලු. පූසෙක් නිසා නිරයට ගිය ගැහැනු කෙනාගේ කතාවත් සත්තුන්ට වද දෙන එකේ දඬුවම පෙන්වන හදීසයක්. මේකත් බුහාරි, මුස්ලිම් දෙකේම තියෙනවා. ගැහැනු කෙනෙක් පූසෙක්ව හිර කරලා තියලා මරලා දැම්මා. ඒක නිසා එයාට දඬුවම් ලැබිලා නිරයට ගියා. එයා පූසාට කන්න බොන්න දුන්නෙත් නෑ, හිර කරගෙන ඉද්දී බිම ඉන්න කෘමියෙක්වත් කාලා ජීවත් වෙන්න ඉඩ දුන්නෙත් නෑ, අන්තිමේ ඒ කාන්තාව අපායට (ජහන්නම්) ගියා කියලා ඒ හදීස්වල තියෙනවා. සරලවම කිව්වොත් ඉස්ලාම් දහමට අනුව සුනඛයන්ගේ කෙළ අපවිත්‍ර වුණාට, සත්තුන්ට කරුණාව දක්වන එක ලොකු පිනක්. ඒ වගේම සත්තුන්ට හිංසා කරන එක ලොකු පවක්. මේ හදීස් හතරම බුහාරි, මුස්ලිම් කියන හොඳටම පිළිගන්න පොත් දෙකේ තියෙන නිසා මුස්ලිම් අය මේවා තදින්ම පිළිගත යුතුයි” යැයි පැවසූ ෆාතිමා සුලෙයිමාන් අවසන් වරට කියා සිටියේ කවුරුන් කුමන අරමුණකින් එම සුබ්‍රමනියම් සුනඛයාට පහර දුන්නද එය ඉස්ලාමීය ඉගැන්වීම්වලට සපුරාම පටහැනි බවය. මේ අතර සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන රාෆී කලීල් මෙම සුබ්‍රමනියම් සුනඛයා සම්බන්ධයෙන් තැබූ මෙම සටහන මෙම ලිපියේ සමාප්ති වාක්‍යය ලෙස ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි.

“හුඟක් අය අඩක් දුරට විතරයි යන්නේ… නමුත් සුනඛයෙක් කිලෝමීටර් 450ක් ඇවිදලා ඉතිහාසයක් නිර්මාණය කරනවා. කතා කරන්න දන්නේ නැහැ… ප්‍රසිද්ධිය බලාපොරොත්තු වුණේම නැහැ… වාර්තා තියන්න අදහසක්වත් තිබුණේ නැහැ. ඒත් “සුබ්‍රමනියම්” ලෝකයට පෙන්නුවා – විශ්වාසයයි නොපසුබට උත්සාහයයි තියෙනවා නම් ඉතිහාසය ඔබ සොයා එන බව. සමහර වෙලාවට… මිනිස්සුන්ට ලොකු ජීවිත පාඩම් උගන්වන්නේ මිනිස්සුම නෙවෙයි!”

ඒ. ජී. රේණුකා දමයන්ති