පලස්තීනයේ සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුද ගැටුම මේ වනවිට මුළු ලෝකයම තිගැස්මට පත් කර ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු ද අතුරුදන්ව ඇති බව සඳුදා වනවිට වාර්තා වී තිබිණි. එදින සවස වෙද්දී මෙම ගැටුමෙන් මිය ගොස් සිටි අයගේ ගණන 1200 ද ඉක්මවා තිබූ බව සඳහන් විය. ඊශ්‍රායලයේ පුද්ගලයන් 700 ක පමණ සංඛ්‍යාවක් ද, පලස්තීනයේ ගාසා තීරයේ 500 කට ආසන්න පිරිසක් ද මියගොස් ඇති බව සඳුදා පළ වූ වාර්තාවල සඳහන්ව තිබිණි.
ඊශ්‍රායලය පලස්තීනුවන්ට අයත් භූමිය අල්ලාගෙන සිටින බව විශ්වාස කරන හමාස් සන්නද්ධ සංවිධානය දැන් කාලයක සිටම ඊශ්‍රායලය සමග ගැටුමක පැටලී සිටියි. ඔවුන්ගේ අවසන් අරමුණ වන්නේ ඊශ්‍රායලය විනාශ කර එහි ද ඉස්ලාමීය රාජ්‍යයක් ඇති කිරීම යි. කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා (07) ඔවුන් එල්ල කළ ප්‍රහාරය මෑත කාලයේ එල්ල කළ දරුණුම ප්‍රහාරයක් ලෙස සැලකේ. එය ආරම්භ වූ පළමු දිනයේ හමාස් සටන්කරුවන් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 5,000 කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කර තිබිණි. එපමණක් නොව ඔවුන් දේශ සීමාව හරහා ඊශ්‍රායල භූමියට ඇතුල් වී වෙඩි ප්‍රහාර මාලාවක් ද එල්ල කර තිබූ අතර ගෙයින් ගෙට යමින් වෙඩි තැබූ බව ඊශ්‍රායල නිලධාරීහු සඳහන් කළෝය. හමාස් සටන්කාමීන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ හමුදා මධ්‍යස්ථාන ය. නමුත් සිවිල් වැසියන් ද ඔවුන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව වාර්තා වේ. ඇමරිකානු සහ බ්‍රීතාන්‍යය ජාතිකයන් ද මේ අතර සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි. ඊශ්‍රායලයේ හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් පිරිසක් හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරය වෙත රැගෙන යනු ලැබ ඇති බවක් ද පැවසිණි.
හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ඊශ්‍රායලය ද ගුවන් ප්‍රහාර මගින් ප්‍රතිචාර දැක්වීමත් සමග ගැටුම වඩාත් උණුසුම් ස්වරූපයක් ගන්නට විය. තට්ටු ගණන් උස් ගොඩනැගිලි මෙම ප්‍රහාර නිසා කඩා වැටෙන ආකාරය දැක්වෙන විඩියෝ ද මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි. මේ වනවිටත් දෙපාර්ශ්වය ප්‍රහාර එල්ල කරගනිමින් සිටින අතර මෙම ගැටුම කොහෙන් කෙළවර වනු ඇත් ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි.
මේ වනවිට ගැටුම පවතින්නේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පමණක් වුවත් ඉදිරියේ දී මෙම ගැටුමට එම මැද පෙරදිග කලාපයේ තවත් රටවල් පැටලේවිද යන සැකය බොහෝ පාර්ශ්ව තුළ යම් නොසන්සුන්තාවක් ජනිත කර තිබෙනු දැකිය හැකි වේ. මෙම ගැටුම පුළුල්ව ගත් කළ අරාබි ජතිකයන් සහ යුදෙව් ජාතිකයන් අතර ගැටුමක් ලෙස සැලකිය හැකිය. හමාස් සංවිධානය අරාබි ජාතිකයන්ගේ සංවිධානයක් වන අතර ඊශ්‍රායලය යුදෙව් ජාතිකයන් ජීවත්වන රාජ්‍යයකි. හමාස් සංවිධානය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයට ඉරානය සහය දී ඇති බවක් මේ වනවිටත් ප්‍රකාශ වී තිබේ. හමාස් සංවිධානයේ ප්‍රකාශකයකු මේ බව මාධ්‍ය සමග පවසා තිබිණි. මේ ආකාරයෙන් මෙම ගැටුමට තවත් රටවල් පැටලුනහොත් ලෝකයටම එහි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවන ඇත.
මෙම ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් තෙල් මිල ඉහළ යාමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. ඒ ඉදිරියේ දී තෙල් සැපයුමට බාධා එල්ල විය හැකිය යන සැක සංකා නිසා ය. ඉරානය, සෞදි අරාබිය වැනි තෙල් නිශ්පාදනය කරන රටවල් මෙම ගැටුමට පැටලුනහොත් එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබේ. මෙම කලාපයේ පිහිටි හෝර්මුස් සමුද්‍ර සන්ධිය ද තෙල් ප්‍රවාහනයේ දී ඉතා වැදගත් වන තැනකි. මෙම සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන තෙල් ප්‍රවාහනයට යම් බාධා ඇති වුවහොත් ඉතා බරපතල තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. ලෝකයේ තෙල් සැපයුමෙන් සියයට 20 කට පමණ එයින් බලපෑමක් එල්ල විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
පසුගිය වසරේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ ද තෙල් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර බොහෝ රටවලට දැඩි ආර්ථික බලපෑමක් කිරීමට ඊට හැකි විය. මෙවර ද එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවට අදහස් පළ වෙමින් තිබේ. එසේ වුවහොත් බොහෝ රටවල උද්ධමනය ඉහල යාම වැනි ගැටලු නැවත උත්සන්න වනු ඇත. දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත්ව කෙඳිරි ගාමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටවල් තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත් වනු නිසැක ය.
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ද මෙම ගැටුම ගැන සිටින්නේ දැඩි අවධානයෙනි. ඊශ්‍රායලය යනු එම කලාපය තුළ බටහිර බලවතුන්ට සිටින ලොකුම මිතුරෙකි. මෙම පසුබිම තුළ ඊශ්‍රායලයට එල්ල වී ඇති අනතුර නිසා මෙම බලවතුන් ද නොසන්සුන්ව සිටිනු දැකිය හැකි වේ. ඇමරිකාව මේ වනවිටත් ඔවුන්ගේ යුද නැව් කිහිපයක් මෙම කලාපය වෙත පිටත් කර යවා ඇත.
නිහාල් පීරිස්