ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එහි ප්‍රථම කාන්තා සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පසුගිය ජූලි 20 වනදා සිට පත් කරනු ලැබ ඇත.ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඇය, මීට වසර තිහකට ආසන්න කාලයකට පෙර කාන්තා බන්ධනාගාර නියාමකවරියක ලෙස බන්ධනාගාර සේවයට එක්වූවාය.එදා සිට අඛණ්ඩව කැපවීමෙන් සේවය කළ ඇය, පැවැත්වූ තරග විභාග සහ සේවා ඇගයීම්වලින් උසස්වීම් ලබමින් දෙවන පන්තියේ ජේලර්වරිය, පළමු පන්තියේ ජේලර්වරිය සහ ප්‍රධාන ජේලර්වරිය ලෙස තනතුරු හොබවා ඇත.එම කාලය තුළ දිවයින පුරා පිහිටි බන්ධනාගාර රැසක මෙන්ම බන්ධනාගාර මූලස්ථානයේ ද ඇය විශිෂ්ට සේවයක් ඉටු කොට තිබේ.අඛණ්ඩ අධ්‍යාපනයට දැඩි ලැදියාවක් දක්වන ඇය, සිය රාජකාරි ජීවිතයට අනුපූරක වන මනෝවිද්‍යාත්මක උපදේශනය, අපරාධ විද්‍යාව සහ සිරකරු පුනරුත්ථාපනය පිළිබඳ උසස් ඩිප්ලෝමා සුදුසුකම් රැසක් සපුරා ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.රාජකාරියේ දී මෙන්ම ක්‍රීඩා පිටියේ ද දක්ෂතාවයන් පෙන්නුම් කළ ඇය, රාජ්‍ය සේවා හා ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරග නියෝජනය කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පදක්කම් රැසක් දිනා දුන් දක්ෂ ක්‍රීඩිකාවක ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි.කාන්තා නිලධාරිනියකට බන්ධනාගාර ක්ෂේත්රය තුළ මෙවැනි ජ්‍යෙෂ්ඨ පරිපාලන තනතුරක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඇයගේ මෙම පත්වීම අනාගත කාන්තා බන්ධනාගාර නිලධාරිනියන්ට මහත් දිරිගැන්වීමක් වනු ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.