එල්-නිනෝ බලපෑම හේතුවෙන් අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොලොන්නරුව, රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්ක හතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට අයත් පවුල් 25628ක පුද්ගලයන් 81865ක් ඊයේ (24) පෙරවරුව වන විට බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තත්ත්ව වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි. එම දිස්ත්‍රික්ක අතරින් අම්පාර, මඩකලපුව, මොනරාගල, පොලොන්නරුව, රත්නපුර දිස්ත්‍රික්ක පහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට අයත් පවුල් 23048ක, පුද්ගලයන් 72153කට පානීය ජලය බෙදා දෙන බවද එහි සඳහන් කරයි.
වියළි කාලගුණය පවතින ප්‍රදේශවල පානීය ජලය හිඟවීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාවට අඛණ්ඩව ජලය බෙදාහැරීම සිදුවන බව සඳහන් කළ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා දිනකට එක් පුද්ගලයකු වෙනුවෙන් ලබා දුන් ජල ලීටර් හයක ප්‍රමාණය මේ වන විට ලිටර් 15 දක්වා වැඩිකර ඇති බවද සඳහන් කරයි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජලය බෙදා හැරීමට අවශ්‍ය මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද පැවසීය. ඉදිරියටත් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එල් නිනෝ තත්ත්වයේ බලපෑමත් සමඟ ඔක්තෝබර්, නොවැම්බර් මාසවල අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැසි වැඩි විය හැකි බව සඳහන් කළ අධ්යක්ෂවරයා මේ දිනවල බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවීමට එල් නිනෝ තත්ත්වයේ යම් බලපෑමක් පවතින බවද ප්‍රකාශ කරයි.
එමෙන්ම මේ වන විට පැසිෆික් සාගරයේ බලපෑම මත ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශකයකින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. එම ඉන්දියන් සාගර ද්විධ්‍රැවය මේ වන විට ක්‍රමයෙන් ධනාත්මක අවස්ථාවට පැමිණෙමින් තිබෙන බවද සඳහන් කළ මෙරිල් මෙන්ඩිස් මහතා එම තත්ත්වයද ඔක්තෝබර්, නොවැම්බර් වැසි තත්ත්වය වැඩිවීමට බලපාන බව වැඩිදුරටත් පවසයි.