ඓතිහාසික යුද විජයග්‍රහණයට අදට වසර 17යි

පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට සමත් වූ ඓතිහාසික විජයග්‍රහණයට අදට (18) වසර 17ක් සපිරේ.2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟ, දශක තුනකට අධික කාලයක් මෙරට වෙළාගෙන තිබූ දරුණු ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය ද නිල වශයෙන් නිමාවට පත් විය. සිවිල් ජනතාව ආරක්ෂා වන පරිදි දියත් කළ, ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමි වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ද ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සපයනු ලැබීය.මෙම විජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි.එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්. බී. කොහොන මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බවයි.මෙම නිල සැමරුම් උත්සවය සඳහා රණවිරු පවුල්වල සාමාජිකයින් ඇතුළු 2,769 දෙනෙකු සහභාගි වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ එල්.එම්. සී. බී. නිශ්ශංක මහතා ප්‍රකාශ කළේය.මේ අතර, යුද බිමේදී දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සුබසාධන කටයුතු වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය මඟින් මෙම වසර සඳහා රුපියල් මිලියන 569 ක මුදලක් වෙන් කර ඇති බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඒ. ජී. භාග්‍ය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පසු කාලීනව විවිධ දේශපාලනික අර්බුද වලට හා චෝදනා වලට ලක් වුව ද පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් එවක සේනාධිනායක වරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නාමය ලක් ඉතිහාසයට එක් වන බව මැදහත් පාර්ශවයන් හි මතය වි තිබේ.

කාලීන පුවත්