ශ්‍රී ලංකාව සහ විදේශ රැකියා අතර සම්බන්ධතාව පිළිබඳ කතා කරද්දී සිහිපත් වන විදෙස් රටවල් අතරින් මුල්ම තැනකට වැටෙන රටක් වන්නේ කුවේටයය. අප රටේ කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවිකා රැකියා සඳහා බහුල වශයෙන් තෝරා ගන්නේ කුවේටයය. එබැවින් දශක ගණනාවක සිටම විදෙස් ගෘහ සේවිකා රැකියාවන් පිළිබඳ කතා කිරීමේ දී එය අමතක නොවන රටක් බවට පත්ව තිබේ. ඒ නිසාම අප රට සහ කුවේටය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ද ඉහළ මට්ටමක පවතී. කුවේටය අපට වැදගත් වන්නේත් දෙසැම්බර් 16 වැනිදා මිය ගිය එහි එමීර්වරයා වූ ෂෙයික් නවාෆ් අල්-අහ්මඩ් අල්-ජබෙර් අල්-සහාබ් පිළිබඳ කතා කිරීම ද අපට වැදගත් වන්නේත් එබැවිනි.
‘එමීර්’ යනු මුස්ලිම් ලෝකය තුළ රජු, පාලකයා, හමුදා ප්‍රධානියා, රාජ්‍ය නායකයා වැනි තේරුම් ඇති වදනකි. අරාබි ලෝකය, නැගෙනහිර අප්‍රිකාව, බටහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඉන්දීය උප මහද්වීපය යන කලාපවල එමීර්වරයකු සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තිබේ. වර්තමානයේ මෙය භාවිත වන්නේ මුස්ලිම් රටක පාරම්පරික ව රාජ්‍ය පාලනය හිමි ‘කුමාරයා’ යනු අරුතිනි. කෙසේ නමුත් අරාබි ලෝකය තුළ දැනට ‘එමීර්’ යන තනතුර දකින්නට ඇත්තේ කුවේටය සහ කටාරය තුළ පමණි. අතීතයේ දී බහරේනයේ ද මේ තනතුර පැවතිය ද 2002 දී එරට එම තනතුර එමීර් ගේ සිට රජු ලෙස වෙනස් කළේය.
අප යලි කුවේටය දෙසට හැරුණොත් එහි එමීර් ඉතිහාසයට දීර්ඝ ඉතිහාසයකට හිමි කම් කීව ද නිල වශයෙන් මෙය වාර්තා ගත ව ඇත්තේ 1752 වසරේ සිටය. ඒ අනුව දෙසැම්බර් 16 වැනිදා මිය ගිය ෂෙයික් නවාෆ් එමීර්වරයා එහි 17 වැනියා වේ. 1937 ජූනි 25 වැනිදා කුවේටය තුළ උපන් ඔහු මිය යද්දී වයස අවුරුදු 86 කි. මේ මරණයෙන් පසු කුවේටය තුළ දින 40 ක ශෝක කාලයක් සහ රාජ්‍ය ආයතන දින 3ක් වසා තැබීම එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මිය ගය එමීර්වරයාගේ අඩ සහෝදරයකු වූ 83 හැවිරිදි ෂෙයික් මෙෂාල් අල්-අහ්මඩ් අල්-ජබෙර් අල්-සහාබ් මීළඟ එමීර්වරයා ලෙස පත් කරනු ලැබිණි. මිය ගිය එමීර්වරයා මේ තනතුරට පත් වූයේ මේ තනතුරේ සිටි සිය අඩ සහෝදරයකු වූ ෂෙයික් සබාහ් අල්-අහ්මඩ් අල්-ජබෙර් අල්-සබාහ් වයස අවුරුදු 91 දී මරණයට පත් වීමෙන් පසුවය. මේ සඳහන් කළ එමීර්වරු තිදෙනාම එකම එමීර්වරයකුගේ දරුවන්ය.
කුවේට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වන බඩෙර් අල්-සායිෆ් පවසන්නේ මිය ගිය එමීර්වරයාගේ පාලන කාලය ඉතා කෙටි වුව ද කැපී පෙනෙන බවය. කුවේට ඉතිහාසය තුළ කෙටිම පාලන කාලයක් සහිත එමීර්වරයා මොහු වේ.
මිය ගිය එමීර්වරයා වූ ෂෙයික් අල්-අහ්මඩ්, එමීර් තත්ත්වයට පත් වන්නට පෙර, වයස අවුරුදු 25 සිටම රජයේ ඉහළ තනතුරු ගණනාවක්ම හොබවා තිබේ. මෙයින් වඩාත්ම කැපී පෙනෙන තනතුරක් වන්නේ 1990 වසරේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරද්දී ඔහු දැරූ ආරක්ෂක අමාත්‍ය තනතුරය. ආරක්ෂක ඇමතිවරයා ලෙස ඔහු කුවේටය සහ එහි වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා නිවැරදි තීරණ ගත් අයකු ලෙස සැලකේ.
කුවේට එමීර්වරුන්ගේ ඉතිහාස තුළ මේ එමීර්වරයා අයත්වන අල්-සබාහ් පවුල තුළ ජනප්‍රියත්වය පසුපස හඹා යාම ඉතා අවම වශයෙන් කළ එමීර්වරයා මොහු ලෙස සැලකේ. ඔහු ‘සමාව දීමේ එමීර්වරයා’ ලෙස වාර්තාගත ව තිබේ. “සමාව දීම්, සිරකරුවන් නිදහස් කිරීම්, පුරවැසිභාවය ලබා දීම් වැනි ආදී කාරණා සම්බන්ධව කුවේට ඉතිහාසය තුළ විශාලම සංහිදියාවක් ඇති කළ එමීර්වරයා ලෙස මොහු ඉතිහාස ගත වන බව මහාචාර්ය අල්-සායිෆ් පවසයි. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ විපක්ෂය වෙනුවෙන් වැඩි අවස්ථාවක් වෙන් කිරීම, සියලුම අදහස් සඳහා පාර්ලිමේන්තුව තුළ ඉඩ සැලසීම මෙන්ම පාර්ලිමේන්තුව තුළ කතානායක තනතුරට රජයේ බලපෑම ඉවත් කිරීම ද මොහුගේ කාලය තුළ ගත් වැදගත් මෙන්ම ජනතාවගේ පැත්තෙන් ගත් තීරණාත්මක පියවර වේ.
2020 වසරේ තෙල් මිල පහළ යාම, කොවිඩ් අර්බුදය ආදී තත්ත්වයන් තුළ කුවේටය ආර්ථික වශයෙන් ස්ථාවර කර ගනිමින් ඉදිරියට ගමන් කරවන්නට මිය ගිය එමීර්වරයා දැඩි උත්සාහයක් ගත් බව පැවසේ. මේ කාලය තුළ දෙගුණයක් වූ රාජ්‍ය ණය යම්කිසි සහනදායී තත්ත්වයකට පත් කරන්නට ඔහු ගත් තීරණාත්මක පියවර බොහෝ බව වාර්තා වේ.
පසුගිය නොවැම්බර් මාසයේ හේතුවක් සඳහන් නොවන හදිසි තත්ත්වයක් මත මොහු රෝහල් ගත කොට තිබේ. කෙසේ නමුත් මෙය බරපතළ රෝගී තත්ත්වයක් බව ජනතාව අතරට පැතිර ගොස් තිබූ බව සඳහන් කළ හැක්කේ කුමන මොහොතක හෝ සිදුවිය හැකි මොහුගේ මරණය පිළිබඳ පුවත ජනතාව අපේක්ෂා කරමින් සිටි බව දැනගන්නට ලැබෙන බැවිනි. මේ අසනීප තත්ත්වය නිසා ඔහු ඇමරිකා එක්සත් ජනපදයට පවා ප්‍රතිකාර සඳහා ගිය බව වාර්තා වෙයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක