ගතවූ සතියේ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඊයේ (28) දින වන විට ඩෙංගු රෝගින් 41,324 ක් වාර්තා වී තිබෙන බවත් රෝගීන් 22 දෙනකු මරණයට පත්ව තිබෙන බවත් එම ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පෙන්වා දුන්නාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වෛද්‍යවරිය මේ පිළිබඳව පැවැසුවාය. ඔක්තෝබර් මාසයේ (26 වැනිදා) දක්වා ඩෙංගු ආසාදිතයන් 2176ක් වාර්තා වී ඇත.
මේ දිනයන්හි පවතින වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු ආසාදිතයන් වාර්තා වීමේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවත් ඇය මෙහිදී පවසා සිටියාය.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය, මඩකළපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක 11ක් තුළ ඩෙංගු ආසාදිතයන් වැඩිපුර වාර්තා වීමක් සිදු වන බව ද ඇය මෙහිදී පැවැසුවාය.
කිසියම් අයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු උණ බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් තමා ජීවත් වන අවට පරිසරය තුළ මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසුදුව පවත්වා ගැනීමෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම කරගත හැකි බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මෙහිදී පැවැසුවාය.
ඉදිරියේදී ඩෙංගු රෝග මර්දන වැඩසටහන් සහ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන බවත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 22 කම මදුරු ඝනත්වය වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ඇය මෙහිදී කියා සිටියාය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සිදුකරන කීට විද්‍යා සමීක්ෂණ කටයුතුවලදී මෙම වසරේ පරිශ්‍ර හාරලක්ෂ පන්දහස් අටසිය තිස් අටක් පරික්ෂාවට ලක් කර තිබෙන බවත් මේ අතරින් ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ පාසල් බවත් වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවැසුවාය.
පාසල් 1606 ක් මේ දක්වා නිරීක්ෂණය කර තිබෙන අතර එයින් සියයට 43 ක් මදුරුවන් බෝවෙන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඊට අමතරව ආගමික ස්ථාන, කර්මාන්තශාලා, වැඩබිම් සහ රජයේ ආයතන ද අවදානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
මෙහිදී අදහස් දක්වා සිටි වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරස විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක පැවැසුවේ ඩෙංගු රෝගයේ ප්‍රභේද 04 ක් ඇති බවත් එම ප්‍රභේද 04 න්ම මෙම රෝගය වැළඳිය හැකි බවය.
ඩෙංගු පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇත්තේ මේ හේතුව නිසා බවත් යමකුගේ ජිවිත කාලය තුළ අවස්ථා හතරකදී ඩෙංගු වැළඳිය හැකි බවත් ඇය පවසා සිටියාය.
මේ දිනවල ව්‍යාප්ත වන්නේ 03 වැනි ප්‍රභේදය බවද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවැසුවාය.